Quantcast
Channel: අනිත් කොන - a doctor's heart sutra
Viewing all 239 articles
Browse latest View live

අපෙත් නැවෙන මහපට ඇඟිලි, බාලගිරි දෝස සහ බඩ කැසීම්

$
0
0

මෑතක රූපවාහිනි තරු වැඩසටහනක, ඇඟිල්ලක් නැමෙන්නේ තමන්ගේ පියාට වූ අනතුරක් නිසා යැයි කියන පුද්ගලයෙකු අල්ලා ගෙන ෆෙස්බුක් සටහන් ලියැවෙනු පෙනේ. ඒ සඳහන් කළ වීඩියෝ ව මම ද නැරඹුවෙමි. ඇත්තටම බොහෝ දෙනෙක් ඒ කෙනාට අවමාන කරන්නට ලියා තිබුනා ට මට ඒ කතාව ගැන පුදුමයක් නොවන්නේ. ඊට වඩා දේවල් මම මේ රැකියා කළ කාලයේ සමාජයෙන් අසා තිබෙන නිසා. අපි නොදන්නා දේ ගැන කවුරුන් හෝ අපිට කියලා දුන්නු දෙයක් හෝ සමාජයේ මුල් බැසගෙන තිබෙනා දෙයක් අපි විශ්වාස කළ නිසා. ඒ දෙය වැරදි හෝ බොරුවක් හෝ පදනම් විරහිත බව වෙනත් කෙනෙකු අපට කියා දෙනකම්, අපි ඉගෙන ගන්නකම්, පරීක්ෂණ මඟින් ඔප්පු කරනකම් අපි කොයි තරම් නම් කාලයක් ඒවා විශ්වාස කළාද කියන එකයි.

ඒ කෙනා වුනත් වැඩිහිටියන් විසින් පෙන්වා කියා දුන් දෙය විශ්වාස කරන්නට ඇති, එය ඇත්ත නොවේ කියා සමාජ මාධ්ය ජාල ඔස්සේ පෙන්වා දෙනකම්. ඒ කෙනා දැනන් හිටියා නම් ඇඟිල්ලක් නැවෙන එකේ පදනම එය නොවන බව සහ එම hyperflexibility තත්ත්වය ඒ කෙනාට ක්රියාකාරකම් කිරීමට අපහසුවක් නොවන බව. ඒ කෙනා දැනගෙන උන්නා නම් සමහර විට එසේ නොකියන්නට පුලුූවන්. මේ තත්ත්වය ජාන මඟින් සම්ප්රේෂනය වන තත්ත්වයක්. එය රෝගයක්ම කියා කියන්න නොහැකියි, මොකද සමහර සින්ඩ්රෝම් තත්ත්ව වලදී වගේම කිසිම ගැටළුවක් ඇති නොකරන ලෙස මෙසේ අධි නැවීමක් සහිත ඇඟිලි පිහිටන්න පුළුවන්. මේ ගැන වැඩිදුර කියවන්න පුළුවන් ලින්ක් මම මේ සටහනේ අවසානයේ අමුණන්නම්.
ඒවගේ තවත් අදහස්/ කතා තියෙනවා කවුරුත් හොයන්නෙ නැති....
"බාලගිරි අද නොවේ හෙට"අපි කොච්චරවත් දොර උළුවහුවල ලියනවා දැකලා තියෙනව නේද ? ඒකට ඇත්තම හේතුව මොකක්ද කියන එක දන්නේ කීයෙන් කීදෙනා ද ?
මම ළමා රෝග වාට්ටුවේ වැඩ කරන කාලයේ, රෝහලේ ප්රාජා වෛද්ය අංශයේ කටයුතු කළ හෙදිය රුක්ෂානි මිස් ඇවිත් ඇවිටිලි කළා ගර්භනී මව්වරුන් වෙනුවෙන් නව ජන්මයා හෙවත් අලුත උපන් බිළිඳුන් ගැන උපදෙස් දෙන්න එයාලා ගෙන යන වැඩසටහනට මසකට වරක් සහභාගි වෙන්න කතා කරන්න කියලා. ඒ කාලයේ මම පොත් ගැන කොහොමත් කතා පවත්වන නිසා අපේ එවකට ළමා රෝග විශේෂඥ වෛද්යවරයා ගෙන් ඇවිත් ඉල්ලා සිටියා, අවසර දෙන්න කියා. නිකම් වෛද්යවරයෙක් කොහොමද එහෙම කතා පවත්වන්නෙ, මම කියන්නම් ඕනෑ දේවල් කියා ඔහු වාට්ටුවෙන් මාරුවී යන තෙක් දැනුවත් කිරීම ඔහු පිට පවරා ගත්තා.
ඔහු මාරුවෙලා ගිය පසු විශේෂඥ වෛද්යවරියක අප වාට්ටුවට ආවා. ඇයට මේ වැඩේ ගැන රුක්ෂානි මිස් කියද්දීම ඇය කීවේ “මේ ඉන්නේ කතා කරන්න පුළුවන් අය…මම කරන්න ඕනේ නෑ. මෙන්න මෙයාට පුළුවන්” එහෙම කියද්දී මට පුදුම හිතුනා. සමහර ගුරුවරු /අපේ ප්රධානීන් අපගේ හැකියා හඳුනාගෙන අපව වැඩි දියුණු කරනවා. එහෙම කෙනෙක් තමා උත්තරා හිදැල්ලාරච්චි විශේෂඥ වෛද්යතුමිය. ඇය මට මෙලෙස සායනවලදී ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ කාර්යය බාර කළා. බටහිර වෙදකමේ, කොලික් කියා හඳුන්වන ලංකාවේ බාලගිරි කියා හඳුන්වන, ඒ විස්තරේ අලුත් අම්මලා තාත්තලාට කියා දෙන්න මට හැකි වෙන්නේ ඒ අනුව.
මොකක්ද එහෙනම් බාලගිරි දෝසේ…
ඉංග්රිසියෙන් මෙහෙමයි විස්තර කරන්නේ “Colic occurs when a healthy baby cries for more than 3 hours a day at least 3 days per week for more than 3 weeks. Colic can start a few weeks after birth (familydoctor.org
)
කොලික් නම් මේ තත්ත්වය පටන් ගන්නේ ඉපදිලා මාසයක් වගේ යද්දී… ඒකට හේතු මේ මේ යැයි පෙන්වන්න නැහැ. හැබැයි යම් යම් පැහැදිලි කිරීම් තියෙනවා. ඇතැම් හේතු ලෙස පෙන්වා දෙන්නේ දවස පුරා තමන් අලුත් පරිසරයක ශබ්ද සංවේදනා දැනෙන්න ගන්නා කාලය එද්දී ඒ කියන්නේ ඉපදිලා සති කිහිපයක් යද්දී දරුවාට ඒ දැනෙන වෙහෙස, සංඥා සංවේදනා ශබ්ද එක්ක ඒ දැනෙන වෙහෙස මෙහෙම අඬලා කෑ ගහලා පිට කරන බව, තවත් අදහසක් තමා හරියට තවම නොවැඩුණු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන අපහසුතාවය, වාතය පිරීම වගේ දේවල්, ළදරු කිරි, ආහාර දෙනවානම් ඒ නිසා ඇතිවන අපහසුතා. දරුවෙක් පිළිසිඳ ගත් දවසේ ඉඳන් කුස තුළ වැඩෙන්නේ වතුර පිරුණු පරිසරයක. ඇහෙන ශබ්ද මේ අපි කතා කරන ඒවා නොවෙයි. රුධිර වාහිනීවල රුධිර පොම්ප කරන ශබ්ද ෂ් ෂ් ෂුෂ් වගේ, හෘදය ගැහෙන ශබ්ද, එවා තමා ඇහෙන්නේ. දරුවා එළියට ඇවිත් අමුතු ශබ්ද ගොඩක්, සහ දැනෙන අපහසුතා එක්ක මෙහෙම හවසට හැඬීමෙන් ඒ සියලු අපහසුතා පිට කරන බව. මෙවෙලෙට කොච්චර කිරි දුන්නත් නැලවෙන්නෙ නැති බවත් ඔබට මතක ඇති. බටහිර ක්රමවේද වල වයිට් නොයිස් white noise කියලා සංගීතයක් පාවිච්චි කරනවා මෙහෙම අඬන බබාලව නළවන්න. එය හරියට දූවිලි පිසින යන්ත්රයක ෂුෂ් හඬට සමානයි. ඒ නිසා සමහර අම්මලා ෂ්…. හඬින් දරුවෝ නළවනවා බටහිර රටවල ප්රචලිතයි. ලංකාවේ නම් ළමයා එහෙට මෙහෙට හොළවමින් උඩ පනිමින්… දොයි දොයි දොයි… කියමින් තොවිලයක් නටන වැඩිහිටියන් මට මුණ ගැසී තිබේ. අපේ වාට්ටුවේදි වුනත් එසේමයි.
මේ කොලික් හෙවත් බාලගිරි නිසා දිගුකාලීන අපහසුතා දරුවාට ඇතිවෙන්නෙ නෑ. ඒත් වෛද්ය තොරතුරු සටහන් පෙන්වා දෙනවා අම්මලාට මේ නිසා විශාදිය හෙවත් depression තත්ත්වය, ඉක්මනින් දරුවා කිරි වැරීම, සහ වැඩිහිටියන් අතර හිත් අමනාපකම් ඇති විය හැකි බව.
අඬන බිළිඳුන් එහෙ මෙහෙ අතට හොළවා නැළවීම තුළින් ළදරුවන්ගේ මොළය හෙල්ලීම හෙවත් shaken baby syndrome කියන තත්ත්වය පවා ඇති විය හැකියි. මේ තත්ත්වය ඔබට ගූගල් කර බැලිය හැකියි.
ඔව් ඔබ නොදන්නා අත්භූත යමක් ඔබට ඇසුනොත් ඒ ගැන සිංහලෙන් හෝ ඉංග්රීසියෙන් ඔබට ගූගල් වෙබ් අඩවියේ සෙවුමෙන් එහි ඇත්ත නැත්ත වටහා ගත හැකියි.
ඉතින් අපි වටහා ගත්තා මෙහෙම දේවල් ගැන අම්මලා තාත්තලා දැනුවත් කළොත් අපිට පුළුවන් යම් තරමකට ඔවුන් කම්පා වෙන එක, බාලගිරි කියල යක්ෂයෙක් එනව හෝ දෝසයක් එනව කියලා බය වෙන එකෙන් ඔවුන්ව මුදවා ගන්න. ගොඩක් අය ඉන් පසු යූටියුබ් එකෙන් වයිට් නොයිස් ගැන හොයා බලා තිබුනා. ඒ බව කීවා ස්තූති කළා. මම රෝහලින් යනකම්ම ඒ ගර්භණී සායනවල දී අපේ දැනුවත් කිරීමේ වැඩේ කරගෙන ගියා. එහිදී කිරි දීම වගේම නොයෙකුත් රෝගාබාද ගැනත් දැනුවත් කළා
ඉතින් අපිට වැරදෙනවා. එහෙම වෙන්නේ අපිට වැරදි උගන්වලා හෝ දීර්ඝ කාලීනව සමාජගත වූ වැරදි මතයක් අපි කරපින්නාගෙන යෑමෙන්. හරියට මේ දවස්වල අපේ රටේ සිදුවෙන සිදුවීම් වගේ. රටට අගතියක් වෙන දේවල් ගැන අපිට කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ මේ නිසා.
මම එලෙස නොයෙක් කාලයන්වල අත් දුටු කතා කිහිපයක් මෙතන ලියන්නේ ඔබේ දැනුවත් වීමට.
"ඩොක්ටර්.."
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
"ඇයි අම්මා"
"පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?"
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
"ඇයි අම්මාට එහෙම හිතෙන්නේ"
"නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ"ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි. ඇයට ඇඳ පැහැදිලි කළාම ඇය ඒ ගැන පිළිගත්තා.
ඒත් ඇයි අපි කුඩා කාලයේ ඉගෙන ගන්නා විද්යාව පාඩම් මේ තරම් ඉක්මනට අමතක කරන්නේ?
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් "ඩොක්ටර් .........මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ මූණු ඇඳලා... ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?"කියා අසයි.
මේවගේ අමුතු කතා අඩුවක් නැත
.....................
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා... ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට, ඇගේ කුසේ සීරිම් පහරවල් තිබුනා.
“අම්මේ බඩ කසනවා ද?” මම ඇසුවා
"නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි"
ඇය මට කියනවා.
දැන් මට වෛද්ය ශිෂ්ය සමයේ උගත් human anatomy පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.
අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
"මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා . අම්මේ ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් වැඩිම හේතුව හෝමෝන වෙනස්කම් තමා."මම ඇයට පැහැදිලි කරමි. යන්තම් ඇතිවන මේ කැසීම් තත්ත්වය බරපතල නෑ. එහෙත් ගර්භණී සමයේ අක්මාව සම්බන්දයෙන් ඇතිවන රෝග තත්ත්වයේදීත් කැසීම රෝග ලක්ෂණයක් නිසා අපි ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්නෙමු.
"ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. "කියමින් ඇය නිහඬ වෙයි. අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
එහෙත් අපි වඩාත් විමසිලිමත් වෙමු. සමාජය විසින් මුල්බැසගත් කාරණාවල ඇත්ත නැත්ත සොයා බලමු. හැම විටම පර් යෙෂණ පත්රිකා වගේ ඒවා කියවා කරුණු කාරණා සොයා බලමු
මහපට ඇඟිල්ල අනිත් පැත්තට නැවෙන එක ගැන ... බාලගිරි සහ බඩ කැසීම මගේ සත දෙක ඔයාලට ලිව්වේ දැනුවත් කරන්න.
ඔව් අරගලය අස්සේ මේවාත් ලියන්න වෙලා මොකද මේවගේ දැනුම හොයාගෙන යන්නේ නැති මිත්යා විශ්වාස රැඳුණු සමාජයක් රවට්ටන්න හරි ලේසියි.
චේ ගුවේරා... එ ක අවස්ථාවක කියනවා විප්ලවයක අවශ්යම කාරණාව දැනුමෙන් සන්නද්ධ වීමයි කියලා ...
ඉතින් මම මතක ඇති කාලෙක ඉඳන් කරන්නේ ඔයාලව දැනුමෙන් සන්නද්ධ කරන එක...
....................................
වෛද්ය බෝධිනී සමරතුංග
අධි නැවෙන සුළු ඇඟිලි - https://www.nhs.uk/conditions/joint-hypermobility-syndrome/
බාලගිරි අද නොවේ හෙට ගැන https://www.mayoclinic.org/.../symptoms-causes/syc-20371074
📷පින්තූර, එසේ මව්වරුන් දැනුවත් කරන්න සායනයේ කතා පවත්වන මම....පින්තූර ගත් රුක්ෂානී මිස් වෙත ස්තුතිය.

2021 හෙවත් ගිය අවුරුද්දේ අද වගේ දවසක

$
0
0
අප්පච්චී  ඇප් එකකට රෙජිස්ටර් වෙමින් සිටී...
"ලොකු දුව...මෙන්න පාස්වර්ඩ් ඉල්ලනවා මගේ ඊමේල් පස්වර්ඩ් මොකටද මේකට..."

"නෑ නෑ අප්පච්චි මේ අකවුන්ට් එකටලොග් වෙන්න කැමැති පාස්වර්ඩ් එකක් දා ගන්න."

ටිකකින් ආයෙත් 

"මෙන්න terms and conditions වලට agree වෙන්නලු. කෝ කොහෙද තියෙන්නේ ඒවා කියවන්න."

"ආ ඒක කියවන්න ඕනෙ නෑ...ඔන්න ඔතන ක්ලික් කරලා accept කරන්න"

"එහෙම කොහොමද agree වෙන්නේ. ඒවා මොනවද කියලා බලන්න ඕනේ.කොහොමද ඒ ටික කියවන්නේ... කෝ මට ඒක කියවන්න ඕනේ... "

මම ...නිරුත්තරව....😯

"මේ තියෙන්නේ මේක උඩ ක්ලික් කරාම terms and conditions එනවා අප්පච්චී."

"කෝ ඉන්න මම කියවලා බලන්න ඕනේ. කවුද දන්නේ අපෙන් මොනවා අරගන්නවද කියලා"

දැන් මිනිත්තු 10කුත් ගිහින් අප්පච්චී තාම කියවනවා.... 

ටක්ගාලා මෙලෝ මළදානයක් කියවන්නේනැතුව i agree i accept කියා රෙජිස්ටර්වන...අපි ගැන හිතමින් මම කල්පනා කළා .😕 
මම ඕවා කියවන කෙනෙක් දැක්කමයි !

සාමාන්‍යයෙන් අප්පච්චී එක්ක නිතරම සමපාත නොවන මගේ දේශපාලනික සාමාජීය මතිමතාන්තර... එක්ක වාද විතරමයි. 
අවසානේ මේ දවස්වල මම කියපු සේරම සනාතවුණු අප්පච්චිලා විශ්වාස කළ දේශපාලනික වෙනස නොවුන එකේ ඉඳලා වැක්සීන් එකට එනකම්ම වාද විවාද තමා...
ඒත් තවම එයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා...
අද මේ සටහන මතක් වුණේ... අවුරුද්දකට කලින් ඉඳන් මේ දේශපාලන අවුල මිනිසුන් දැනන් හිටියා. 
ඒත් තමන්ට අපහසු වෙනකම්ම ඉවසන් හිටියා. තවත් ඉවසුවා. ගෑස් පුපුරද්දි ත්, පෝලිමේ වල ජීවිතේ දියවේද් දිත් ඉවසන් හිටියා. අවසානේ මේ විදිහට හරි සමාජය ම නැගී සිටියා. 


ගිනි වැදුණු විශ්වයක තොරතුරු

$
0
0
පුස්තකාලයක් කියන්නේ මට විශ්වයක් !
මම දන්නා කාලෙක ඉඳන් මට පාසැල් පුස්තකාලයත් ඉන්පසු මහජන පුස්තකාලයත් කියන්නේ හිත පුරා මහා ආශ්වාදජනක හුස්ම පුරවන තැන්. පොත් මල්ලක අරන් එන්නේ කියවමින් අපූර්ව ලෝකයක අතරමං වෙන්න තියෙන ආශාවට.
අපි මේ තරම් දිගු දුරක් එන්න අපිට පාර කීවේ පොත්. මම, ගෙදරට කඩෙන් බඩු ඔතන් එන පත්තර කොළය පවා කියවන්නේ යැයි වැඩිහිටියන් කියන ජාතියේ ළමයෙක් විමි.

මගේ උතුරු සේවය කාලේ කිලිනොච්චි වැඩ භාරගත් දවසේ අපි ඔක්කොමල යාපනය සෞඛ්‍ය කාර්යාලයට රිපෝට් කරන්න ගිහින් එද්දී අහම්බෙන් මහජන පුස්තකාලය පසු කරගෙන යද්දි ඒ දැනුණු සතුට වචන වලට හරවන්න අපහසුයි.
මෙතන ට ගොඩ වැදී යමු කියා බැස්සාට එතන ඒ වෙද්දී යම් ගොඩනැගීම් නිසා වහලා ඇතුලට යන්න බැරි බව කීවම ඒ පාර මම එතන හිටගෙන පින්තූරයක් අරගත්තා මගේ මතකය වෙනුවෙන්. එහි ගිය අනිත් කිසි දිනක ජායාරුපයක් නොමැත. මන්ද එකල කැමරා සහිත ජංගම දුරකථන අප වෙත නොතිබුණු නිසා ය.

පුස්තකාලයක් ගිනි වැදී දැවෙද්දි දැවෙන්නේ මහා විශ්වයක් ! ඒ විශ්වයක වගතුක සාරවත් ලෙස ලියා සකසා ඇති Sandaresee Sudusinghe රචිත "ගිනි වැදුණු පියාපත්"පොත එළදැක්වීම මට මඟ හැරුණේ අතිශය කලබල කාලයක් වූ නිසා ය.
මේ පොත කියවන ඒ අතරතුර තවත් පොත් ගින්නක් ගැන කතා ඇති වුණා. අවුරුදු ගණනාවකට කලින් මේ වැඩිහිටි පරම්පරාව වගකිවයුතු ආරවුල් ගණනාවක් නිසා ඇවිළුණු උල්පතේ කතාව කවි ම, ඔව් කවි 110කින් අපූරුවට ගෙත්තම් කරලා. ඒ කවි අතරේ ලියන්නියගේ නෙතින් වට කඳුළු බිඳු හීනියට දිලිසෙමින් තිබුණා.

දැනුම සොයා නොගිය මිනිසුන්ගේ හැසිරීම්, අපහාස, අවමාන නිසා සහවේදනයක් නැති මිනිසුන් බිහිවීම නිසා කරදරයට කම්පාවට පත් සමාජයක් දකිමින්, වඩා සුවිශාල හිත් ඇති වගකීමක් සහිත මිනිසුන් ලෙස හැසිරෙන්නට නොදත් සංයමයක් නොවූ සමාජයක් දකිමින් ඒ වේදනා එක්ක මේ පොත කියනවා.

මුළු රටක් ඇවිළුණු ගිනි දශක ගණනාවක් අපි දැක්කා අත් වින්දා. එහෙත් ඒ හිත් ගිනි අපි නොදැක්කා. ජූලි කලබල අපි නොදැක්කා ඒත් ඒ ගිනි රස්නය මුළු රටම කාබාසිනියා කළා. ජාතිය සොයා සොයා කාබාසිනියා කළා. සුළු ජාතිකයෙක් නොවුණු අප එය වෙනස් ව අත් වින්දා. මම ඒ ගැන කොතෙකුත් අකුරු කළා.

පුස්තකාලයක් කියන්නේ විශ්වයක් ! ඒ මහා විශ්වයේ ඇවිද ගිය මිනිසුන් මේ පොතේ මතුවෙලා මහත් වූ අපූර්ව කතාවක් කියනවා.
ඇයගේ මේ වියමන් බොහෝ සාරවත් වි ඇත්තේ ඇය හුදෙක් තමාගේ හැඟීම් වචනයට පෙරළන්න නැතුව මේ ඉතිහාසය දැනුම හොයාගෙන ගිහින් ඒ කරුණු කාරණා සියල්ල බොහොම සංයමයෙන් ලියා දක්වන නිසා.
ඇය සොයා ගිය ඒ මාවත දිගේ හෙමි හෙමින් පියමනිමි. නැවත නැවතත් ඒවා කියවමි.
පුස්තකාලාධිපතිනිය රූපවතී නඩරාජා සොයා ගිය ඇයගේ කතාව මා මුහුණුපොතේ කියෙව්වේ විස්මයෙනි. දැන් මා හමුවේ, 1981 දී ඇවිලෙන විශ්වය අභියස කම්පිතව බලා ඉන්නා ඇගේ සේයාරුව පිටු අතරින් මතුවේ.

දැනුමෙන් මොටවු ජාතියකට නැණ පහන් දල්වන්න හදනවාට සඳරැසී නංගි ඔබට බොහෝ ස්තූතියි.

ඔබේ කවි මෙහි සටහන් නොකරන නමුදු මතු පොත ගෙන කියවන්නට ඉන්නා හිත් අවුස්සන රිසියෙන් ඇතැම් කවි ගැන මෙසේ යම් සටහනක් තබමි.

3 කවියේ චෙල්ලප්පා මහතා වෙත මගේ ගෞරවය ලියා තබමි. පුස්තකාලය ගොඩ නැගූ මිනිසුන්, එහි අභාෂය ලැබූ මිනිසුන් ඒ ගිනි ගන්නා විට ගිනිගත් සිත් ඇතිව කම්පාවුණු රටක මිනිසුන් මේ පොතෙන් විටින් විට එළියට ඇවිත් මහාර්ඝ කතන්දරයක් කීයා දෙයි. මහජන මුදල් කෝටි ගණන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා පාලකයින් ඉන්නා රටක සෑම් ඒ. සභාපති හෙවත් නගරාධිපතිගේ විකුම් කෙතරම් අගනේ දැයි සිතමින් එහෙව් විරුවන් සිතින් වන්දනා කරමි.

කොට්ට කිලන්ඟු තල් හකුරු රස , මතකයෙන් විඳිමින් 43 කවිය කියවීම්. අඳුරු වන්නි අහස පුරා ලියැවුණු එවන් වේදනා බොහෝ දෑසින් දුටු බව ලියා තබමි
98 කවියෙන් මා ද නොදැන සිටි ඒ මන්තරය ලියුවාට ස්තුති බව කියමි. මේ පොත ගැන කියවන ලියන මිනිසුන් අඩු වෙන්ට කාරණා විමසමි. යළිඳු පොතේ අකුරු අතර කිමිදෙමි. මහා දැනුම ගබඩාවක් මවෙත ළඟා වූ හැගීමක් දැනේ.

කවි පොතකින් කළ හැකි දේට එහා ගොස් ඔබ අපට ඉතිහාසය උගන්වා ඇත. ඒ ඉතිහාසය පිරමින් මම පොත කියවන්නෙමි.

109 කවිය හිත මත දෝංකාර දෙද්දී.. සත්සමුදුරෙන් එපිට හිඳගෙන මගේ මව් බිම දෙස බලා ඉමි. විදා පිල් නටනු නොහැකිව උපන් බිමින් පිටමන්ව නොරට විත් මහත් විස්කම් පෙන්වන උතුරු සහෝදරයින් සහෝදරියන් අදත් මූණ ගැසේ.
එහෙත් අද රටේ හැම දෙසකම දරුවන් අඳුරේ ය. එන්න අපි එළි දල්වමු.

ස්තූතියි සඳරැසී නංගි, කවියක දවටා මේ තරම් දැනුමක් බෙදනවා ට, මහා පොළොවේ මේ ඉතිහාස හුස්ම දරණවාට, අවුරුදු හතළිහකට පසු මේ සියල්ල ස්මරණය කරන්නට ඉඩ සකස්කර දුන්නාට.
ස්තූතියි පොත් ප්‍රකාශක ජනක ඉනිමංකඩ සහෝදරයා මේ තරම් අගනා ලෙස පල කරාට.

ගිනි වැදුණු පියාපත්
සඳරැසී සුදුසිංහ
මිල රු500
ප්‍රකාශනය - විදර්ශන ප්‍රකාශන

(පොත ගැන විචාරයක් නොවේ පොත කියවන අතර සිතින් වට සිතුවිලි මෙසේ ගොනු කළෙමි.

📷මුදු හතක් එහා දුරු රටට ආ ගිනි වැදුණු පියාපත්, සාරියකින් සැරසී සිටින්නේ ගත් කතුවරිය සඳරැසී සුදුසිංහ නංගි.
යුද්ධයක අවසානයෙන් පසු උතුරට ගිය මං යාපනය මහජන පුස්තකාලය ඉදිරියේ  ගත් පින්තූරය මෙහි දකුණු පස ඉහළ)

By Bodhini Samaratunga
2022 ජූලි

සිස්ටම් චේන්ජ්....

$
0
0

 අද උදෑසන මගේ හිතවත් වෛද්ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ.

"On my way home there was so much litter in the roads where people were parked and staying for petrol. The sides of the roads where smelly(you know why) beetle spit on the sidewalks.I think this should be done right now. Very urgently along side the aragalaya
If grass root level is not adjusted things will go haywire. Media people should do this. It's a good point to enforce orderHow can this be done?U can do something from there. That's why i am telling u !"
"මම ගෙදර ඇවිදන් එද්දී (පෙට්රල් නැති නිසා ඇය පයින් ඇවිදන් ගෙදර යන්නේ) පාර දෙපැත්තේ තිබෙන කෑලි කසළ පෙනෙනවා. ඒවා පෙට්රල් පෝලිම තියෙද්දී තිබුණා ඒවා. පාර පුරා බුලත් කෙල ගහලා ගඳ ගහනවා. සමාජයක හිත් වෙනස් වීමක් මුල ඉඳලා නොකරන්න, මේ නිසා ලොකු විනාශයක් වෙනවා. ජන මාධ්ය ට පුළුවන් ලොකු දෙයක් කරන්න මිනිසුන්ගේ ඔළු හැදීම වෙනුවෙන්. ස්වයං විනය ඇති කරන්න ඕනේ. ඔබටවත් මොකුත් කරන්න බැරි ද?"
ඇය මට ලියා තිබ්බා. අපිට මොනවද කළ හැක්කේ ?
මිනිස්සු තනි තනිව හිතලා වෙනස් වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නේ. තාක්ෂණික මෙවලම් එක්ක දැනුම ඕනේ තරම්. තියෙනවා එක හොයාගන්න ඕනේ එක තමන් වෙත ලබා ගන්න ඕනේ.
Google search වත් නොකර හිතළු කියවන වැඩිහිටියන් වගේම තරුණ පිරිස් අපි දකිනවා. මම මේ ගැන ළඟදීත් ලීවා.
තමන්ගේ චින්තන පරාසය වැඩි කරගන්න කියවන්න ඕනේ. ඒවගේම තමන්ගේ හිතේ සහවේදනය ඇතිවීම පිණිස මානුෂවාදී අදහස් කියවන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ.
දරුවන්ට කුඩා කාලයේ ඉඳන් ලෝකේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වූ හැටි, දර්ශනවාදය Philosophy පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඕනේ. ඒ තුළින් හැඟීම් එක්ක ක්රියාත්මක වෙන මනුස්සයෙක් වෙනුවට වඩා වැඩි වපසරියක් තුළ බුද්ධිය සහ මානුෂීය බව එක්ක හිතන්න හැකි මනුස්සයෙක් බිහිවෙයි.
දැනුමෙන් සන්නද්ධ වෙනවිට මනුස්සයෙක් තුළ සංයමය වැඩෙනවා.
එතකොට කොයි තරම් අපහසු කාල තුලදී වුණත් මිනිස්සු අනෙකාව පෙලන්නට, කරදර කරන්නට, විනාශයක් කරන්නට පෙළඹෙන්නේ නෑ. හැම විටම තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගන්නවා.
බෝ 2022ජූලි
📷මේ නොරට ඇවිදිද්දි මා විසින් ගත් පින්තූරයක් පාර අසල වැටක එතුණු පිපුණු මල..



මකරා ගල ...( dragon rock )

$
0
0

 මකරා ගල ..( dragon rock )

මේ මෑතක අපි කළ සංචාරයකින් පසුව ගත් පින්තූර සමග ලියන්නේ ඒ ගමන ගැන ලියන්න ය කියන ඉල්ලීම් නිසා
මේ ජර්මනියේ බොන් නගරයේ පිහිටි මකරා කන්ද එහෙම නැත්නම් Drachenfels යන නමින් හඳුන්වන කඳුගැටය ගැන යි. එය මීටර 321 පමණ උසකින් පිහිටා තිබෙන්නේ.
කන්ද ඉහලට යන්න ක්රම කිහිපයක් තිබෙනවා. එකක් පයින් යන්න හදා තිබෙන පා ගමන් මාර්ගය. එහිම වාහන වලින්ද යා හැකි බව දුටුවා. ඊට අමතරව යුරෝ 12, වගේ ගෙවලා කුඩා කෝච්චියක යන්න හැකියි. අපි ගියේ ආවේ කෝච්චියේ මොකද අපි එක්ක ගියා පොඩි නෝනා බැරි බැරියාව දැම්මොත් අපිට උස්සන් යන්න වෙන නිසා. සාමාන්යයෙන් ඇවිදින්න කැමති මම නම් පයින් යමූ කියා යෝජනා කළ ද සියල්ලන් එයට එකඟ වුණේ නෑ.මෙහෙ පොදු ප්රවාහන භාවිතයේදී මාස්ක් දැමීම අනිවාර්යයි.
මේ කන්ද හැදිලා තියෙන්නේ ගිනි කන්දක මැග්මා ඝනිභාවනය වෙලා කියලයි කියන්නේ.
ඉහළට යන මාර්ගයෙන් තුනෙන් එකක 1913 දී ඉදිකරන ලද Nibelungenhalle වේ, චිත්ර ශිල්පී හර්මන් හෙන්ඩ්රිච් අඳින ලද රිචඩ් වැග්නර්ගේ ඔපෙරා වල දර්ශන නිරූපණය සිතුවම් තියෙනවා එහෙත් අපි එහි ගියේ නෑ.
Drachenfels වටා ජනප්රවාද කිහිපයක් තියෙනවා, වඩාත් ප්රචලිත වන්නේ Siegfried – Nibelungenlied හි වීරයා - කඳුකරයේ ගුහාවක ජීවත් වූ Fafnir මකරව මරා දමා, පසුව අමරණීයවීමට උගේ ලේවලින් ස්නානය කළා කියන එක. එනිසා, කන්ද "ඩ්රැගන්ස් රොක්", ඩ්රැචෙන්ෆෙල්ස් ලෙස නම් කරා කියලා.
තවත් පුරාවෘත්තයක සිරකරුවන් මකරෙකුට බිලි දුන්නාය කියලත් කියනවා. ඔවුන්ගෙන් එක් කෙනෙක් ක්රිස්තියානි කන්යාවක් නිසා, ඇය බියෙන් කුඩා කුරුසයක් ඔසවාගෙන ඉන්නකොට කුරුසයට බියෙන් මකරා රයින් ගඟට පැන අතුරුදන් වුණා ලු.
තවත් කතාවක් කියනවා මකරා රයින් ගඟේ වෙඩි බෙහෙත් පිරවූ බෝට්ටුවකට ප්රහාරයක් එල්ල කළාම ඒ පිපිරීමෙන් මකරාත් බෝට්ටුවට විනාශ වුණු බව.
කොහොම නමුත් කන්ද මුදුනට නැග්ගම වටේම හොඳට පේනවා. මේ ගැන බලකොටුවක් ඉදිකරලා ඔත්තු බලන්න යොදා ගත් බව ඇසෙනවා. කන්ද උඩ නටබුන් වුණු ගල් බලකොටුවේ ඉතිරි කොටස් තිබෙනවා.
හැබැයි වැඩේ කියන්නේ අමාරුවෙන් නැගලා ඇවිදලා යන්න වගේම ලේසියෙන් ඇවිද යන්න පහසුකම් තියෙනවා. ආබාධ සහිත කෙනෙක්ට වුණත් මේ තැනට රෝද පුටුවේ යන්න පුළුවන්. ඉහළම තැනට යද්දිත් රෝද පුටු යා හැකි ලෙස පඩි පෙළවල් පවා සකස් කර තිබෙනවා දුටුවා. මිනිස්සු ගැන හිතන රටවල් !
©Bodhini Samaratunga
පින්තූර ටික පිටුව වෙනුවෙන් එකලස් කරන ලදී...

වැහෙන කතා

$
0
0

බිත්තරයක් රු 50ක් නේද ? අල්ල උඩ තබා බිත්තර කෙලින් කරලා පෙන්වන රූපවාහිනි වැඩසටහන දැක්කම මට මතක් වුනේ ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීම සහ ප්රෝටීන් ඌණතා ඇති දරුවන් වෙනුවෙන් බිත්තරයක් ලබා දීම අපහසු බවට පල වූ ප්රවෘත්ති ය.

පොල් ගෙඩි කෙලින් කරනවා බිත්තර කෙළින් කරනවා… අනික කතා කරන්නෙම මෙලෝ තේරුමක් නැතිව. බොහොම ලේසියෙන් සියලු ප්රශ්න මග හරිනව. මොනවද මේ විහිළු වැඩ ? මට හිතෙන්නෙම මේ මිත්යාවේ බොරුව විහිළුව සමාජය තුළ පෙන්වන්න කරපු වැඩ සටහනක් කියලා. මිනිස්සු රූපවාහිනී වැඩසටහනට බැන්නට ඇත්තටම මෙවැනි මිත්යා විජ්ජා කරුවන්ගේ බොරුව හෙලි කිරීම ගැන රූපවාහිනී නිශ්පාදකට ස්තූති වන්ත වෙන්න ඕනෙ. මේ වගේම වැහෙන වැහිලා ලෙඩ හොඳකරවනවා කියනා ස්ථාන සහ පුද්ගලයින් බොහෝ ඉන්නවා. මට තේරෙන්නෙ නෑ හැබැයි එසේ ලොකු බලයක් තිබෙන අයත් අනුන්ගේ ලෙඩ හොඳ කරන බලගතු දෙවි දේවතාවුන් එක්ක ගනු දෙනු කරන අයත් ලෙඩ වුණාම තමන්ගේ ලෙඩ වලට ඉස්පිරිතාලේ එන්නේ ඇයි කියල.
ඉස්සර මම මනෝ වෛද්ය අංශයේ වැඩ කරද්දී වැහිච්ච අය ගෙන එනවා.
සූනියම් අප්පච්චි...කඩවර දෙයියෝ... පත්තිනි මෑණියෝ... තව ගොඩක් ගොඩක් කට්ටිය ...
ඒ කතා මම ලියා තියෙනවා අනිත් කොන පොතේ...මේ සටහනේ අන්තිමට අනිත් කොන පොතේ කතාවකින් කොටසක් එකතු කරලා තියෙනවා.
එක දවසක් කොණ්ඩෙ හැඩ පළු ගෙතිච්ච ආච්චි අම්මා කෙනෙක් එව්වා වෛද්ය වාට්ටුවෙන් එයා කායික රෝග වලට ඇඩ්මිට් වෙලා තිබුනේ. මේ ප්රශ්නෙ එතනදි මතුවෙලා මනෝ වෛද වාට්ටුවට එව්වා ඒ ගැන බලන්න.
මේවා Dissociative disorders කියලා හඳුන්වන්නේ... මට මතකයි කවි කියාගෙන ඔලුව කරකවද්දීම මම කීවා "මෙතන නැටුවොත් නම් ආච්චි ඇඩ්මිට කරනවා ඉන්ජෙක්ෂන් එකක් දීලා"කියලා.
"හරි හරි දුවේ... අම්මා ගියා"කිව්වා.
ඒකම තමා වේවැල් අරගෙන කෑ ගහලා යකැදුරෝ කරන්නේ.
ඒ කාලේ mass hysteria තත්ත්වයක් යම් පිරිසක් අතර සිදුවුණා. ඒකත් එයාලා යුද්දෙන් පස්සේ පත්වුණු මනෝ ව්යාකූල දුක්බර තත්ත්ව එක්ක ජීවත් වෙද්දී. පසු කාලෙක උතුරු මැද උතුරේ පාසැල් ළමුන් අතර එක්තරා ක්රීඩාවක් නිසා දිවි නහගන්න සිදුවීමක් සඳහා රේඩියෝ ප්රෝග්රෑම් එකකින් අපේ ලොකු සර් ට කතා කරලා මට පරිවර්තන වැඩේ කරන්න උනා.
“ මීට ටික කලකට කලින් මහසෝනා වැහී මෙහි ආ අනෝමා මට සිහිවේ. මුලින් ඇය කායික රෝග වාට්ටුවට ඇතුලත් කරද්දී තනියම දොඩවන එකට අමතරව කෑ ගසමින් හූ තියමින් වාට්ටුව වටේ සහ අනෙක් වාට්ටු වලට දිවීමද, කෙස් බුරුතු පිටින් කඩා ඇද දත්මිටි කෑවායි ඒ වාට්ටුවල මිස්ලා මා හා කියුවා මතකය. ඇඳට බැඳ තබා තිබුනු ඇය අප වාට්ටුවට ගෙනාවේද අත් පා බැඳ සතෙකු විලසිනි. ඇයට නිතර නිතර වැහෙන්නේ මහසෝනා බවට ගමේ කට්ටඬි මහතා හඳුනාගෙන තිබුනාලූ තොවිල්ද නැටුවාලූ, කොහොම හරි අල්ලපු වැටේ ඉඩම් පරශ්නෙකට ගුරුකම් කරගෙන නඩු කියාගෙන කරදර විඳගෙන හිටිය ඇය එකපාරට මෙහෙම වෙද්දී ගමේ අයෙක් මෙහි ගෙන ඒමට කටයුතු කර තිබුණි.
මෙහි ගෙන එද්දී දත කට තද කර පියාගෙන අමුතු භයංකාර බැල්මෙන් අප දෙස බල බලා දිව එළියට දමමින් හූ තියමින් වෙව්ලමින් සිටි ඇයද සන්සුන් කිරීමට ඉන්ජෙක්ෂන් එකකින් බෙහෙත් ශරීර ගත කරන්නට සිදු විය. එක බෙහෙත් වඩියකින් පසු සිහි ගන්වා ගත් ඈ අත් වැඳගෙන පැවසූවේ. ”අනේ මට දැන් හොඳයි සහනයයි නෝනා මේ වාට්ටුවේ දවස් දෙකක් තුනක් ඉන්න දෙන්න” කියාය.
ඇගේ කතාවද ඉහත මා ලියූ කතා වගේමය. ඇයත් කර තිබෙන්නේ දේවාල කිහිපයකට ගොස් මුදල් සම්භාරයක් වියදම් කර තමන්ගේ හතුරු අය වෙත ගුරුකම් කිරීමයි. මෛතරී, උපේක්ෂා වැනි ගුණාංග වෙනුවට ඔවුන්ගේ හිත්වල පැලපදියම් වී ඇත්තේ අනුන් තමන් වෙනුවෙන් නරක කරද්දී තමුන්ද එකටෙක කිරීම කල යුතුය යන තමන්ගේම විනාශයට අගතියට මුල පුරන වැරදි දෑය.
දින කිහිපයක් නොකඩවා බෙහෙත් ගත් අතර මහසෝනා ආයෙත් ඇය සොයා ආවේද නැත. අප උපදේශන සේවයේ උපදේශිකාවන් විසින් මොවුන්ට නිසි උපදෙස් දී හරි මගට යොමු කරන්නේ හිත් වල ඇති වැරදි වැටහීම් තේරුම් බේරුම් කර දෙමිනි. ගෙදර ගිය විටක මේ විස්තර කියද්දී මගේ අම්මා පවා බිය වී ” අනේ පුතේ බලාගෙන ඔය යක්කු වැහෙන අය ළඟට යන්නේ හොඳට බුදු ගුණ සිහි කරගන්න ”කියා කීවාය.
මහ රෑ දොළහට, පාන්දර, එකට දෙකට වාට්ටූවේ සිට අපේ නිල නිවාස වෙත තනියම යන අපිට නම් තවම කිසිම යකෙක් මූණට මුණ ගැසී නැත. සොහොන් පොළවල් අසලින් රාතරියේ ගමන් කර ඇත්තෙමි. වාට්ටුවේ මහ ?, පාන්දර මිය ඇදෙන රෝගීන් අසළ හිඳ නැවත නිළ නිවාසයට පැමිණෙන්නේ තනියමය. මොන මළ යකෙක්වත් මුණ ගැසුණේ නැත. සියල්ල තියෙන්නේ හිත්වලය.
දැන් අනෝමා තනියම ඇවිත් අප සායනයෙන් බෙහෙත් රැගෙන යයි. මූණත් එළිය වී ඇත. දුව සමග සිටින ඇගේ සිතට ශාන්තිය ගෙන දුන්නේ අපේ මානසික සායනය මගිනි. ඒ ගුරුකම්. යක්ෂ පේරත වැනී බාහීර බලවේගයන්හි ඇත්ත ඔවුන්ට තේරුම් කර දීමෙනි.
දැනට මහසෝනා, මළ පේරත දීෂ්ඨි කීපයක් මෙන්ම රීරි යකාගේ සිට කඩවර දෙයියෝ දක්වාද පත්තිනි අම්මා, ජේසු තුමන්, මරියතුමී, බුදුන් වැනි ලෝක පූජිත චරිත තමන් යැයි කියාගන්නා අය මෙන්ම මේ ලෝකය විනාශ නොවී බේරාගැනීම සඳහා මෙහි පැමිණී අයද දැක හමුවී ඇත.” (අනිත් කොන පොත, කතෘ බෝධිනී සමරතුංග)
අනිත් කොන පොත දැන් මුද්රණයේ නෑ. ඒත් ඉදිරියේ දි එය E Book එකක් ලෙස ග්රන්ථ.lk වෙතින් විද්යුත් කියවන මෙවලමක (e book reader) නැවත පල වේවි.
රූපවාහිනි වැඩසහනක් ඔස්සේ මනෝ වෛද්ය අංශයේ විශේෂඥ වෛද්යවරුන්ට සමාජය දැනුවත් කරන්න පුළුවන්නේ ද මෙවැනි දේ ගැන ?
© වෛද්ය බෝධිනී සමරතුංග


The social function of music...

$
0
0

Penning my 2 cent after listening to this Powerful and extraordinary masterpiece!

Thank you Charitha Rakshitha Attalage / Kasun Edirisinghe
මේ රටේ අප්රමාණ ප්රශ්න තියෙද්දී ඒවා නොදැක්කා සේ මන දොල සපුරන තමන්ගේ පරිස්සම විතරක් බලා ගත් පිරිස් දැක බොහෝ කම්පිතව සිටින කාලෙක මේ ගීතය දකින්නේ.
එනිසාම මේ ගීතය වගේම මේ රූපමය පෙළ ගැස්ම ගැන වචනයක් ලියන්න ඕනේ කියා සිතුණා.
තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම මෙහි මූල ප්රාප්ත යටි පෙළ ප්රස්තුතය වුවද බලන හැම තැනකම පෙනෙන්නාවු රාජ්ය යාන්ත්රණ යේ අවුල මේ සියල්ලට මූල බීජය වන්නේ ය.
හරියට තමන්ගේ රාජකාරිය නොකෙරන්නාවු බලය ඇති රාජ්ය පාලන සේවයක අවුල සහ ඒ ඔස්සේ ඇතිවන අප්රමාණ ප්රශ්න නිසා රටේ ජන ජීවන ව්යුහය දෙදරදේදී ඒ පීඩනයට හසු වන්නා වූ ආර්ථික සාමාජීය සහ මානසික වශයෙන් හෙම්බත් වූ ව්යාදියට පත් වූ ජනයාගේ ශෝකාලාපයෙන් ඔබට මට මිදෙන්නට නොහැකිය.
පරාක්රම කොඩිතුවක්කු ආලෝක සහ මිනිසා පොතේ කවි නොවේ නයි මිසක යනුවෙන් ලියන්නේ ද , ශ්රීමත් ෆිලිප් සිඩ්නි An apology for poetry නම් ලේඛනයේ සඳහන් කරන්නේ ද කලාකරුවාගේ සමාජ කාර්යභාරයයි. මා මෙයට කලින් ද චරිත අත්තල විසින් නිර්මාණය කළ, මව් නොමැති කළ පියකුට බිලිවූ දියණියකගේ නිර්මාණය ගැන ඔහුට පුද්ගලිකව ස්තුති කළේ මාගේ වෘත්තීය ජීවිතයේ එසේ හමුවූ දියණිවරුන් ගැන අනිතකොන පොතේ සටහනක් යොමු කරමිනි.
ගීතය පුරා සංගීතය... දුම්රියක් ගමන් ගන්නා හඬ සිහි කරවන නාද රටාවකින් ළගන්නා සුළුව හදවතේ ලබ් ඩබ් ස්වරය හා සමපාත වෙමින් ඇසේ.
ඔහුගේ සහ කසුන් එදිරිසිංහගේ නවතම නිර්මාණ ය අප හද ගැහෙන රිද්මය හා ඒකායන වන්නේ... මා ඒ කියූ කලාවේ හෝ නිර්මාණකරණයේ කාර්යභාරය
කලාවේ හෝ කලාකරුවාගේ සමාජ කාර්යභාරය මැනැවින් සපුරාලමින් !
මේ දොඩන හරූපය කුමක් දැයි සිතනවා නම් මේ ක්ලිප් එක බලන්න.
Kudos to the journalist and the artists who weaved this powerful and extraordinary masterpiece !
ලින්ක් එක ⬇️⬇️⬇️⬇️




ඉන්දියාව ද කියවන සායනික සටහන් නොවේ ! India reads Sayanika Satahan nove ...

$
0
0
ශ්‍රී ලාංකික ලේඛක රිශාන් ෂරීෆ් විසින් පරිවර්තනය කරන ලද සායනික සටහන් නොවේ හි දමිළ පරිවර්තනය ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ Chennai International Book Fair 2023 හි Vamsi Publications හි දී ජනවාරි 16 වැනිදා පල විය.

Tamil translation of My third book Sayanika Satahan Nove is now available at the Chennai International Book Fair 2023. Translated by M. Rishan Shareef

The book consist of 60 stories which addresses true work and life situations where medical facts are incorporated in story form. The stories not only bear medical problems but societal problems and highly sensitive issues that need to be addressed and discussed. 

සෞඛ්‍ය කතන්දර පොත් ලියන්නේ ඇයි ? 

පශ්චාත් යුද සමයෙහි උතුරු ප්‍රදේශයේ ප්‍රධාන රෝහල් දෙකක ( වවුනියා සහ කිලිනොච්චි) සේවය කරමින් අතිශය තීරණාත්මක කාලයක උතුරු ලද සමාජ අත්දැකීම් ඔස්සේ අනිත් කොන නමින් බ්ලොග් සටහන් ලියන ලදී. කතන්දර ඇසීමට මිනිසුන් කැමතිය ඒ නිසා නීරස වෛද්‍ය කරුණු සැබෑ ජීවන අත්දැකීම් හා මුසු කොට කතන්දර ආකාරයෙන් ලිවීමට පෙළඹුනි. ඉන් කියවන්නා තුල කියවීමට ආසාවක් ඇතිවේ. එසේ ලියූ බ්ලොග් කතන්දර ඔස්සේ ඉන්පසු අනිත් කොන නම් පළමු පොතද මනුපුර සක්මන නම් කවි පොතද 2014 වර්ශයේ ප්‍රකාශනය/ මුද්‍රනය කෙරිනි. 
 රෝගියා හෝ සමාජය රෝගය ගැන දැනුවත්නම් එයින් රෝගයට ප්‍රතිකාර කරන්නට පමණක් නොව, රෝගයක් වලක්වාගැනීමට ද මහඟු උපකාරයක් වෙයි. නමුත් අප රටේ සමාජය තුළ තිබෙන දුර්මත, මිත්‍යාවිශ්වාස සහ දැනුම ලබා ගැනීමේ අපහසුතා නිසා රෝග නිවාරණය සහ වලක්වා ගැනීම පිළිබඳ ඇත්තේ බොහොම අයහපත් ආකල්පයකි. මේ දැනුම් රික්තකය පිරවීම සඳහා සුලභ රෝග , සමාජ අර්බුද ගැටළු සහ සෞඛ්‍යමත් ජීවන රටාව පිළිබඳව කතන්දර කියන්නට මා පෙළඹුනි. 

එසේ සතිපතා ලේක් හවුස් රැස පුවත්පතෙහි සෞඛය පිටුව වෙනුවෙන් වසර දෙකක් ලියූ සායනික සටහන් නොවේ සෞඛ්‍ය කතන්දර රැගත් ලිපි 60ක් සායනික සටහන් නොවේ නමින් ද ග්‍රන්ථ.lk වෙතින් ප්‍රකාශනය කරන ලදි. 

රිශාන් ෂරීෆ් නම්රාජ්‍ය සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක/ පරිවර්තක මහතා එම පොත කියවා එය දමිල බසට පරිවර්තනය කරන්නට කතිකා කරගන්නා ලදි.
දමිළ බසට පරිවර්ථනය කරන ලද සායනික සටහන් නොවේ පොත, மருத்துவக் குறிப்புகள் அல்லாதவை
මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ
Maruththuvak kurippugal allaadhavai නමින් ඉන්දියාවේ වම්සි මුද්‍රන සහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනයට පත් කරන ලද අතර එය පසුගිය 16 වැනිදා චෙන්නායි නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යාන්තර පොත් සල්පිලෙහි වම්සි ප්‍රකාශන ආයතනයේ කුටියේ දී අලෙවි කිරීම ආරම්භ කලා.

ලංකා ජන සමාජයේ ඇතිවූ ප්‍රශ්න බොහෝමයකට හේතුවන්නේ අනෙකා තේරුම් නොගැනීම සහ සන්නිවේදනයේ දුර්වලතා ය. මේ රටේ ජනවර්ග අතර සන්නිවේදනයට අනෙකාගේ බස දැන සිටීම මහත් ආශිර්වාදයක් බව මා වටහා ගත්තේ යුද්ධය අවසන් වී ඊළඟ වසරෙහිම උතුරු කොන ප්‍රධාන රෝහලක සේවය කිරීමට ගිය පසු ය. මේ පොතේ ඇති බොහෝ කතන්දර අප සමාජයේ ජීවන අරගලයෙහි හැඩතල පෙන්වා දෙයි. උතුර ද කියවිය යුතු රෝග වලකාගැනීමේ සිට යුද්ධය විසින් ඉතිරි කළ සමාජ ඉරිතැලීම් ද මෙහි කතා තුලින් ඔබට හමුවේ. තම මව් බිමේ දීම අවතැන් වූ ජනතාවගේ ඉකිබිඳුම් අහිමි වීම් හිත් බිඳීම්, හිත හදාගැනීම් මේ කතන්දර තුලින් හමුවේ. ඉතින් මේ පොතේ ආමන්ත්‍රනය අප රටේ සමස්ත ජනතාවටම නිසා සහෝදර දමිල ජනයා විසින් මේ පොත ඔවුන්ගේ බසින් කියවීම අවශ්‍යමය කියා මට සිතේ. 

ඔවුන් මේ කියවන්නේ දශක තුනක යුද්ධයක් පැවති රටක, උතුරු කරයම පුපුරා ගිය කාලයක උතුරු කොන රෝහලක සේවය කළ සිංහල වෛද්‍යවරියකගේ අත්දැකීම් ය. එකම රටක ජාතියෙන් වෙනස් වූ නිසාම ඇතැම් අවස්ථාවලදී අප වෙනස් සැලකුම් ලැබූ හැටි ය. ඉතින් ඉන්දියාවේ දමිල බසින් පරිවර්තනය වීම නිසා මේ පොත කියවීමට ලංකාවේ දමිල කියවන කතාකරන සහෝදර ජනතාවට ද අවකාශ සැලසේ. එමෙන්ම මේ රෝගාබාද පිළිබඳ සමාජය දැනුවත් කිරීම, වෛද්‍ය සන්නිවේදන සහ දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය සමාජ කාර්යයභාරයකි. එනිසා මේ දැනුම සමාන සමාජ තලයන් ඇති ආසියාතිකරයේ රටවල් කියවීමද එම සෞඛ්‍ය දැනුම බෙදා ගැනීමේ සමාජ කාර්යය ඉටු කිරිමෙහිලා වැදගත් පියවරකි.

වෛද්‍ය බෝධීනි සමරතුංග

📷 Pic credit Author/journalist Sujith Prasanga

මුහමාලේ සුළඟ

$
0
0




කතෘ - ශර්මිලා විනෝදිනී , Sharmila Vinothini Thirunavukarasu
සිංහල පරිවර්තනය - ජී. ජී. සරත් ආනන්ද
සරසවි ප්‍රකාශන
එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ.
දශක ගණනාවක් සිංහල ජන සමාජයට මඟ හැරුණු උතුර පිළිබඳ ලියූ පොත් දැන් දැන් මුණ ගැසේ. සිංහල පොත් දමිළ බසට හරවන්න අපි උනන්දු වෙනව වගේම, දමිළ බසින් ලියූ පොත්, කියවන්නත් අපි උනන්දු විය යුතුය. මේ එවන් පොතක් කියවීමෙන් අනතුරුව මා ලියූ අදහස් ය.
අහස ද පොළොව ද ඕනෑම මොහොතක පුපුරන තලාවක...ජීවිතය උදුරවා ගෙන යන මොහොතවල් අපමණ වෙලාවක... ජීවත් වුණොත් වුණාවේ කියා පොළොවෙහි මුණින් තලා වී කන් වසා සිටි දරුවන් මිනිසුන් මට හමුවුනේ උතුරු කොනේ දී ය. ඒ මා වෛද්යවරියක ලෙස යුද්ධයෙන් පසු අවදියේ උතුරු කොන රෝහල් දෙකක සේවය කළ නිසා ය.
එකල හිතින් මිය ගිය නමුදු ගතින් පමණක් ජීවත් වූ අනන්ත අප්රමාණ මිනිසුන් ගේ හද ගැහෙන සර අසමින්, කේඬෑරි මැණික් කටු අත ගෙන නාඩි බලමින්, ඔවුන්ගේ බොහෝ සංවේදනා අපේ කර ගනිමින් ඒ කතන්දර අසමින් කඳුළු සලමින් සිටි තරුණ අවදිය මට මතක් වේ. එකම දේශයක ඉතා කුඩා දිවයිනක, උතුරේ දමිළ ජනයා විඳි පීඩා පිළිබඳ කරුණු කාරනා දකුණ තේරුම් ගත්තේ හරියටම මෑතක ය.
“සීයේ සීයේ බංකරේට පනින්න සීයේ.... ෂෙල් වෙඩි ළඟටම වැටෙනවා සීයේ ... පුපුරල වැටෙනවා”
පුපුරා වැටෙන හෙන ගෙඩි මැද්දේ පිපිරි නොගිය ජීවිත හයියෙන් අල්ලා ගත් විඳ දරා ගත් මේ පොතේ චරිත අතර හමුවන මිනිසුන් මට සැබෑවට හමුවූයේ උතුරු කොන රෝහල් සහ සායන වලදී ය. ශරීරයේ පෙනෙන්නට තියෙන සුව වූ තුවාල කැළැල් වලට යටින් සිතේ සුව නොවූ තුවාල අප්රමාණ තිබුණි. ශර්මිලා මේ පොතේ කතා දහයක දවටා ඇත්තේ එහෙව් සිත් බිඳි වන්නියේ ඛේදාන්තයන් මෙන්ම තම ජන සමාජයේ තොරතුරු ය.
සැනසුමක් සිහියක් ඇතිව තමන් උපන් ගොඩ නගා ගත් ගෙවල් දොරවල් ද අතැර පණ බේරා ගන්නට හිස් ලූ ලූ අත දිව ගිය, දිය අගල්, ගස් කඳන් වලට මුවා වී ජීවිතය පමණක් අපේක්ෂාවෙන්, දෙවියන්ගෙන් යැදි බොහෝ නිමේෂයන් මේ ජීවිත වල අඩුවක් නැත. තමන්ගේ මව පියා දරුවා කොහේ ඉන්නවාදැයි නිච්චියක් නොමැති දවස් මේ හිත් බොහෝ සෙයින් රෝගාතුර කර තිබිණි.
“අම්මා බලන්න ඕනෑ” යැයි කියන වෙණ්ණිලා ගේ කතාව කියවන මට මතක් වුණේ මට හමුවූ වෙණ්ණිලා වන් දරුවන් ය. පණ බේරා ගන්න දුවන, මරණය හමුවේ වුවද තමන්ගේ මව හමුවේයැයි බලාපොරොත්තුවෙන් සිටි වෙණ්ණිලාය. ඇතැම් විට මග වැරදුනු හෝ මඟහැරුණු එවන් දරුන්වන් ගේ ඉකිබිඳීම් සහ රිදුම් අදටත් ඔවුන්ගේ සිත් තුළ එසේමය
ආහාර, ඖෂධ , ඉන්දන මේ හැම අඩු පාඩු එක්ක දශක ගණනාවක් පීඩා විඳි උතුරු ජනයාගේ ජීවන අරගලය අද රටේ හැම තැනකටම දැනෙද්දී “දැන් මෙහෙම නම් උතුරු මිනිසුන්ට එදා කොච්චර අපහසු වෙන්න ඇත්දැයි අදහස් නැගේ. දෙපිල බෙදී සිටි දේශයක අගනුවර හැදී වැඩුණු මම ද මේ අපහසුකම්, මේ ඛේදාන්ත ගැන දැනුවත් වුණේ ජීවිතයේ තරුණ කාලය උතුරේ ගත කළ නිසා සහ අනුන්ගේ වේදනාව සහ ජීවන අරගලය වටහා ගන්නට හැකි තරම් මගේ හිතේ සහවේදනය පිළිබඳ වැටහීමක් තිබූ නිසා ය.
සමාජ තත්ත්වය තරාතිරම, මිල මුදල් ඇති කම යන මේ දේවල් ගැන වඩා වදවෙන සමාජයක ඒ කිසිත් නැති මිනිසුන්ට අත්වන ඉරණම මා හොඳින් දැක තිබේ. මේ කතා අපව හුදෙක් උතුරේ යුද්ධයට පමණක් කොටු කරන්නේ නැතිව සමස්ත සමාජයේ සංස්කෘතික , සදාචාරාත්මක පරිහානිය ද ගෙන හැර පායි. ගෘහස්ථ හිංසනය නිසා තම පවුල අහිමි වූ සිවඥානත්තාර්ගේ කතාව සහ තම ශ්රමය හූරා කන ධනපතියන්ට නො නැවුණු මහළු ගොවියාගේ කොන්ද පිළිබඳ කතා මේ සමාජ පරිහානිය පිළිබඳ කතිකා ගොඩ නගයි ඒවා සිංහල ජන සමාජයේ ද අඩුවක් නැත.
දශක ගණනක් සතුරන් සේ දෙපිළ බෙදී දේශපාලනික යුද්ධයක මරා ගත්තත්, ඒ මත දරා තම සහෝදර ජාතියට තවමත් වෛර ගිණි බිඳින පරම්පරාවක් දකිමින් ඉන්නා අතර මේ සිදුවීම් රටේ කොහේ වුනත් කුමන ජන සමාජයක වුණත් අඩුවක් නැතිව සිදුවෙන සමාජ අසාධාරණකම් බව සිහි වේ. ඉතින් අපි කොයි තරම් සමාන ද? මට සිතේ.
.“අධික වේගය මරුවා කැඳවයි” A9 මාර්ගයේ ඉගිල්ලෙන වාහන නිසා අහිමි වූ ජීවිත මට මතක් වේ. මේ කතා කියවද්දී නිරන්තරයෙන් මගේ සිත තුළ උතුරේ මතක එකින් එක නැවත ආවර්ජනය වෙයි. අවාසනාවන්ත ලෙස සමාජයෙන් අපහාස ලබනා වැන්ඳඹුවන් ගේ ජීවිත මේ පොතේ කතා අතර මුණ ගැසේ, මට මුණ ගැසුනු එවන් අපමණ ස්ත්රීන් සිහිවේ. මේ ලියන්නේ උතුරේද දකුණේද ස්ත්රීන් පිරිසක් විඳිනා ශෝකාලාපයන් බව සිහි නැගේ මේ ලියන්නේ මේ රටේම අම්මලාගේ බිරින්දෑවරුන්ගේ ශෝකාලාපය බව සිහිවේ.
පොතේ අවසානයට එද්දී, 2009 දී සියල්ල අවසන් කළ බව කියා උතුරට වසන්තය කැන්දන බවට ද ප්රතිඥා දුන් හැටි යළි මතක් වේ. එහෙත් සියල්ල අහිමි ව මළ මිනිසුන් සේ උපන්බිමේදී අවතැන් ලේබලය වැදුණු මිනිසුන්ගේ ජීවිතවලට වසන්තය උදා වේයැයි අපේක්ෂා කරමින් එහි වැඩ කළ මගේ තරුණ කාලය මට මතක් වේ. එසේ නොවුණ බව මුළු රටක් වටහා ගත්තේ රටේම මිනිසුන්ට මේ බැරි අපහසුකම් අඩම්තෙට්ටම් විඳින්නට වුනායින් පසුව බව කල්පනා වේ. පූන්තෝඩම් හි, මැණික්ෆාම් හි සහ අත් අඩංගුවේ සිටි විමුක්තිකාමීන් මා හමුවේ පැවසූ අතීත කතා මා විටින් විට ලියූ නමුදු ඒ සියල්ල නැවත නැවතත් සිතේ ආවර්ජනය වෙන්නේ ශර්මිලා ලියූ මේ කෙටි කතා කියවද්දී ය.
“මොනවා හරි තොරතුරක් ලැබේවි නේ දුවේ” මෙහි වැලපෙන අම්මා වැනි බොහෝ මව්වරුන්ගේ ඉකිබිඳුම් වැලපුම් යාදිනි නෑසූ කන්ව සිටි දේශයක, බෙහෙත් පෙති අහුරකින් නැතිවූ නින්ද ලබා ගැනීම පිණිස මානසික රෝග සායනයේ පෝළිම් ගැසී ඉන්නා ඒ මහත් හිස් වූ දෙනෙත් මට අද ද සිහිවේ. මේ රටේ එවන් මිනිසුන්ට සහනයක් ලැබුණු මොහොතක් තවම දැක නැත.
මේ පොත සිංහල බසින් පළ වීම අවශ්ය ම සමාජ කාරණාවක් , ශර්මිලා ! මා එසේ කියන්නේ දශක ගණනාවක් එකිනෙකා බෙදී සහ බෙදා අන්ත දෙකක ගමන් කළ ජාතීන් දෙකක භාෂා වෙනස මේ අර්බුද වැඩි කරන්නට හේතු වූ නිසා ය. සන්නිවේදනය බොහෝ ආරවුල් විසඳන නිසාම, ඔබ අප මෙතෙක් නො කියවූ උතුර කියවන්නට මේ පරිවර්තනයෙන් ඉඩ හසර ලැබෙනවා පමණක් නොව අප උතුර කියවිය යුත්තේ ඇයි ? කියන ප්රශ්නයට පිළිතුරු මේ පොතේ අඩු නැතිව හමුවේ.
“කුරිරු යුද්ධයට මැදිවී ගෙන්දගම් දුමාරය අතරේ සැඟවී ගිය ආදරණීය නැගණියට සෙනෙහසින්” කියා ශර්මිලා මේ පොත පටන් ගනිද්දීම ලියා තිබෙන පිදුම මගේ හිත සසල කළේ යුද්ධයෙන් අහිමි වීම් අඩු නැතිව තිබූ දේශයක, අහිමි වීම් බිඳ වැටීම්, විනාශ වීම් මිස සතුටු අන්දර හිතේ මතක් වුනේ හෝ ලියැවුනේ නැති නිසා ම ය. ඔවුන්ගේ ඇසින් ඔවුන්ගේ හදෙන් නැගෙන ඒ පසුගිය දශක ගණනාවක මතක අප කියවිය යුතුම ය. ඒ අපේ සහෝදර ජනයා වටහා ගැනීම පිණිසය, ඉතිහාසය පුරා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් විකෘති කරනා ලද සත්ය ය වටහා ගැනීම පිණිස ය.
ඒ සඳහා වෙහෙසුණු කතෘ ශර්මිලාට ද , මේ කෘතිය පිළිබඳ ආරංචිය දුන් විදුනි බස්නායක ට ද පරිවර්තනය කළ ජී.ජී. සරත් ආනන්ද ට ද සරසවි ප්රකාශන ආයතනයට ද මගේ ගෞරවය ස්තූතිය ලියමි.
බෝධිනී සමරතුංග
පහත පින්තූරය නිර්මාණය කළේ Nuwan Tharanga Wickramage



කෑම කවන මන්තර

$
0
0
“නිතර ෆිට් එක, කන්නේ නෑනෙ
ෆෝන් දීලයි කවා ගන්නේ
දුන්නෙ නැත්නම් මට තලන්නේ
කිසි හොඳක් නම් නෑනේ නෝනේ"

“මාළු මස්, දෙන්නයි කියන්නේ
බිත්තරත් හරි ගණන් නෝනේ
පළා නම් වත්තෙන් කඩන්නේ‍
ඒත් මුන් නෑ කට තියන්නේ”

“අහස උස මිල ගනන් ඇත්තට
ඩොක්ටර් නෝනට දැනෙනවද තව
පෝසනේ කිය කියා ලිව්වට
අපියි දන්නේ අපේ ගින්දර”

මව්වරුන් මැසිවිලි කියන්නේ
ජීවිතේ බර මට දැනෙන්නේ
හිතේ ගින්දර නෑ පෙනෙන්නේ
අපිත් ඒ ගින්නෙන් දැවෙන්නෙ

“පැංචො පැංචියො මේ අහන්නේ
වැඩෙන්නට ගුණ කෑම ඕනේ
බල කෙරිලි මේ මගේ නෑනේ
කන්න බැරිනම් බේත් දෙන්නෙ"

"ඇඳ අස කබඩ් මත පැණි බීම
හවසට චූන් පාන් පිටි කෑම
රෑට කොත්තුව ඕනෙමයි කීම
මේවා මා එක්ක බෑ ඔන්න"

"ෆෝන් පෙන්නා බත් දෙන්න
අපිට වේලා නෑ ඔන්න
කන්නෙ නැති අය එන්න
බෙහෙත් ඇත බත් ගිල්ලන්න”

පුංචි ළමෝ ඇස් විසල් කරන්නේ
“කනවා අපි බත්” ඉතින් කියන්නේ
මව් හිත් සැනසුම් සුසුම් හෙලන්නෙ
කෑම පිඟන් සැනකින් හිස් වෙන්නේ

කහ සුදු නූලෙන් අත සැරසෙන්නෙ
සුර තඩි ගෙල ඉන වට දවටන්නේ
රෝ දුක් කියමින් දෙවි නමදින්නේ
කාසි පඬුරු වී දෙවොල සිඹින්නේ

කන්න බොන්න අග හිඟයි කියන්නේ
දකින දකින දරු බිස්කට් කන්නේ
මාළු බනිස් කැන්ටිමෙන් ගෙනෙන්නෙ
ඉතින් කොහෙද බත් එළවලු කන්නේ

©බෝධිනි සමරතුංග‍

ලන්ඩන් කවි - ජනවාරි කලාප යේ පළවුණු කවියකි.

පින්තූරය - වාට්ටුව එක මොහොතක මව හෝ භාරකරුවෙක් නැතිව ඇඩ්මිට් වුණු පැංචන් දෙන්නෙක්ට කෑම කවන හෙදිය... සහ සාත්තු සේවිකාව. මේ කතාව මම කලින් ලියා ඇත.

#londonkavi #bodhini #bodhinisamaratunga



අරුම පුදුම හිඟන්නෙක්

$
0
0

 මීට වසර කිහිපයකට කලින් කොළඹ ප්රධාන රෝහලකදී අරුම පුදුම හිඟන්නෙක් මුණ ගැසුණා.

කමිසයේ ඇරුණු බොත්තම් අතරින් පෙනෙන්නට සුදු ගෝස් කෑල්ලක් සහ ප්ලාස්ටර් අලවා තිබුනා. හේ අප අසළට පැමිණ "අද ටිකට් කැපුවා, මේ හමේ තුවාලෙට ගාන්න බෙහෙත් ක්රීම් එක ගන්න සල්ලි නෑ අනේ මහත්තයෝ පුළුවන්නම් උදව් කරන්න "යැයි තුන්ඩුවක් පෙන්වමින් කන් කෙඳිරිගෑවා. මා එහි සිටියේ හිතවත් රෝගී අයෙක් සමග කතා බස් කරමින් ඇඳක් අසළ.
"කෝ දෙන්න තුන්ඩුව"කියා මම බැලූ විට එහි තිබුණේ සස්ටජන් ටින් එකක් සහ මල්ටි විටමින් එකක නමක්.
ගැන කියා, එනමුත් ඔහුගේ දුක් කරදර සඳහා සහනයක් ලෙස මුදලක්ද දී මා ඔහුට ඔහු මේ කරන බොරුව ගැන පහදා දී, "මෙහෙම ඉස්පිරිතාල වලට එන්න බෑ කියලා දන්නවා නේද. සිකියුරිටි දැක්කොත් අල්ලලා පොලිසියට කියයි"කියා මා කියද්දීම හේ විග විගහින් වාට්ටුවෙන් පිටවුණා.
රජයේ රෝහල් යනු අන්ත අසරණ රෝගීන් සහ දරිද්රතාවයේ පහළම අඩියක ඉන්නා මිනිසුන් ගැවසෙන රෝහල් ය. එහෙම එකේ මෙවන් සංවිධානය වූ පිරිස් හෝ රෝගීන් ලෙස ඇතුල් වී මිනිසුන්ගෙන් මුදල් ගසාකන පිරිස් ඇතිවීම බොහෝ කණගාටුදායක තත්වයකි.
ඔබේ දැන ගැනීම පිණිස ලියා තබමි.

මතක පාඩම් !

$
0
0
මුහුදෙන් ගොඩ ගැසූ තල්මස් පින්තූරේ එක්ක බොහොම වේදනාකාරී දසුනක් දකින්න ලැබෙනවා.

දරුවන්ට සහවේදනය, කරුණාව සහ මෛත්‍රිය උගන්වන්න ඕනේ වැඩිහිටියන් විසින්.
ඒත් ඒ වැඩිහිටි සමාජය ඒ වෙනුවට දරුවන්ට උගන්වන්නේ තමන්ගේ පැවැත්ම තමන්ගේ වර්ගයාගේ උසස්කම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නා ආකාරය ආදී දේවල්.

මට මතක් වෙනවා හරි අපූරු පාඩමක්. මගේ වයස අවුරුදු හයක් විතර ඇති. අම්මා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කීවා පුතේ අපි ගමනක් යමු කියලා. ටවුන්හෝල් ලිප්ටන් වටරවුමේ ඇවිදගෙන යනකොට පෙමන්ට් එක පැත්තක තෙත බරිත ළමා පොත් වේලෙන්න අතුරා තිබුණා. මහ වැසි ඇද හැලිලා කොළඹ පාරවල් පිරෙන්න වතුර පුරෝ දාලා තිබුණ කාලයක්. එතන ඒ ක්‍රිස්තියානි පල්ලිය ඉස්සරහ හිටිය සපත්තු මහලා ජීවිකාව ගෙන යන පවුලක්,මේ කියවන අයට මතක් වෙයි මම මේ කියන විස්තර. ඒ සපත්තු මහන කෙනාගේ දරුවෝ අර පේමන්ට් එක උඩ තමන්ගෙ තෙමුණු පොත් වේලනවා බොහෝ පොත් තෙතබරිත වෙලා තිබුණා. ඒක දැකලා තිබුණේ අම්මා ගෙදර එද්දී.....ඉතින් ගෙදර ඇවිත් මාවත් එක්කගෙන ආයෙත් අම්මා එතැනට ගියේ පොත් කඩේකට ගිහින් ඒ ළමයින්ට පොත් පෑන් පැන්සල් මිලදී අරගෙන. 
නැවත ගෙදර ඇවිත් මා එක්කම ගිහිල්ලා ඒ අයට තෑගි දුන්නේ මට ඒ පාඩම උගන්වන්න කියලා අද මට මතක් වෙනවා. ඒ තමයි මම පරාර්ථකාමය , සහවේදනය පිළිබඳව ඉගෙන ගත්ත මතක පාඩම. 

අපි හිටිය නිවාස අවට, අනන්තවත් බැල්කනිය හෝ පාරේ ගස් වලින් කොහා පැටව් පරෙයියෝ, ලේන් පැටව් එහෙම වැටිලා තුවාල වෙලා ඉන්නකොට එයාලා බේරා ගන්න පෙට්ටියක තුවායක් දමාගෙන වෙදකම් කරනවා, පාන්කඩයකින් කිරි පොවනවා මතකයි. 

පස්සේ කාලෙක ඕනම කලබලයක දී ව්‍යසනයකදී එලියට බැහැලා උදව් වෙන්න හදන , ගං වතුරේ පවා ගිහින් සහන උපකාර වෛද්‍ය ආධාර දුන්න මා එක්ක අම්මා කොයිතරම් එදිරී වුණත් ඒවා එයාලම අපි තුළ වගා කළ ගුණවත් කම් කියලා ඒ අයට අමතක යි. 
ගංවතුර ගැන කියා දීලා මගේ දරුවාගේ අමතර ඇඳුම් ෂිට් බ්ලැංකට්, සෙල්ලම් බඩු එහෙම අරගෙන ගියේ එයාගෙන්ම ඉල්ලාගෙන. 

වඩා ලොකු තැන ගන්න නෙමේ, සැනසීමෙන් ඉන්න හැකි මොහොත තෝරාගන්න දරුවන්ට සහවේදනය ඉගැන්වීම අවශ්‍යම වෙනවා. ඒක මේ පොත් කටපාඩම් කරලා ලැබෙන දෙයක් නෙමේ... ආදර්ශයෙන් මගපෙන්වීම ලැබෙන දෙයක්.

මේ මම කාලේකට කලින් අත් දුටු සිදුවීම්, දරුවෝ ආත්මාර්ථකාමී නෑ...ඒ අයව එහෙම කරන්නේ දෙමාපියන් !

සුපිරි වෙළඳ සැල් වල එළවළු කිරන්නත් වෙලාවකට බිල් ගහන තැන පෝළිමේ ඉන්න ඕනෙ. ඉතින් ගොඩක් අය කරන්නේ තමන්ට අවශ්‍ය එළවළු පළතුරු අරගෙන , පෝළිමේ ඉන්න එක. ඒත් සමහර අම්මලා කරන්නේ, දරුවන්ව කූඩේ එක්ක පෝළිමේ තියලා.. එයාලා එළවලු බෑග් අරන් ඇවිත් අර කාට් එකට දාන එක. ඒ දරුවොත් වෙන කාටවත් ළං වෙන්න දෙන්නෙ නෑ එතන මග අහුරගෙන ඒවා තරාදියට දානවා. ඒ සෙල්ලම් ඉවර වෙනකම් අපි විනාඩි 15 විතර බලන් ඉන්න ඕනෙ. හරිම ආත්මාර්ථකාමී වැඩක් ඒක.

ඊළඟට, ඔය චේන්ජින් රූම්ස්, ඉස්කෝලෙ යන වයසේ කෙල්ලො කාණ්ඩයක් දවසක්, මගෙන් බැනුමක් අහ ගත්තා, එක්කෙනෙක් ඇතුලට ගිහින්, එකක් අඳිනවා, දොර අරිනවා පෙන්වනවා, කට්ටිය එබීගෙන ඩිස්කස් කරනවා, ඒක හරි නෑ කියලා, ඔන්න දුවලා ගිහින් එක්කෙනෙක් තව එකක් ගෙනත් දෙනවා, කල්පනා කර කර සාකච්ජා කරනවා, දැන් ඇඳුම් අතේ තියන් කට්ටිය කීප දෙනෙක් පෝළිමේ. ඇයි මේ දරුවෝ මෙච්චර ආත්මාර්ථකාමී වුනේ ? මේවා කොහොම එන කතන්දර ද ?

 මට හිතෙන්නේ ගෙවල් වලින්ම අනුන් ගැන නොහිතන්න හදපු හැටි කියලයි. මම දරුවා වඩාගෙන, ලංකාවේ ගුවන් තොටුපලේ දි ඉඳගන්න පුටුවක් හොය හොයා යද්දී මම දැක්කා, පොඩි උන් තුන් දෙනෙක් දුව දුවා ඉන්න තැනක පුටු තුනක් හිස් වෙලා තියෙනවා. මම දරුවා වඩාගෙන එතැනට ගිහින් ඉඳගන්න යද්දී මාව තල්ලු කරගෙන ආපු තුන්දෙනා ඉඳගත්තා. මේ ලාංකික ළමයි තුන් දෙනෙක් ඒක මහා අවලස්සන වැඩක්. එයාලගෙ දෙමාපියන් දැක්කේ නෑ වගේ උන්නා. 

නමුත් මම සිංගප්පූරුවේදී, මගේ අවුරුදු දෙකක දරුවත් තියාගෙන අර පිටවීමේ පත්‍රිකා පුරවද්දී මම ඉඳන් හිටපු තැන තිබුන, මල් ගස් වටේ තිබ්බ ගල් කැට සියල්ල මගේ දරුවා එළියට අදිනවා දැක්කම මට දෙලෝ රත් වුනා. මම විගහින් ඇයවත් අල්ලාගෙන එක අතින් ඒවා නැවත දාද්දි.. මගේ සහයට දුවගෙන ඇවිත් උදව් කළේ විදේශික දරුවන් දෙදෙනෙක්. බටහිර රටක විය යුතුයි. ඔවුන් දෙදෙනාම මට වඩා ඉක්මනින් ඒ ගල් කැට ටික නැවත පෝච්චි වලට දැම්මා. මම ඔවුන්ට බොහෝ ස්තූති කළා ඔවුන්ගේ දෙමාපියන්ටත් ස්තූති කළා. 

දරුවන්ට සහවේදනය උගන්වන්න ඕනේ ඒක කරන්න පුළුවන් ඔයාලට. 
පුතේ ඔයාට රිදෙනවා වගේම මේ ලෝකේ හැම සතෙක්ටම රිදෙනවා. ඒ විතරක් ද ගහ කොළට පවා රිදෙනවා...
ගහක කොළයක් මලක් කඩන්නේ විනාශ කරන්නේ නැති දරුවෝ හදන වගකීම අපේ අතේ තියෙන්නේ. 

මේ අන්තිම කතාව මගේ දුවගේ... 

කූඩු කළ සතුන් බැලීම ආශ්වාදජනක නොවන බව මම ඇයට වටහා දුන් නිසා අපි සංචාරය කළ හෝ ජිවත් වූ කිසිම රටක සත්තු වත්තක් බලන්නට නොගියෙමු. universal studio Singapore හි සංචාරය කරද්දී මුහුදු ජීවීන් සිටින මුහුද යට තටාක නරඹා ඇත්තෙමු ඉතින් ඇයට මාළු මුහුදේ ජලයේ සිටින බවද ඔවුන් ටැංකි කළ යුතු නැති බවද වටහා දුන්නෙමි.

මෑතක ඇය මාළු ටැංකියක් ගැන විමසද්දී මාළු සිටිය යුත්තේ ටැංකියක නොවේ මුහුදේ සහ ජලාශවල බව ඇයට වටහා දුනිමි. 
"අපි සෙල්ලම් මාළු ටැංකියක් මාළු එක්ක හදමු..."ඇය එකඟ වුණු නිසා ඇය හා එකතුව යම් දෙයක් ගෙනැවිත් ඉවත දැමූ සව් කොළ ආශ්‍රයෙන් මාළු කිහිප දෙනෙක් සාදා ගත්තෙමු. 

"මර්මෙඩ් කෙනෙක්"ද එයට කොහොම හරි ඔබන්නට සිදුවිය.
"කෝ මෙයාගෙ ඇස්"
"ඇස් නෑ අම්මා. Think differently once in awhile. There can be mermaids without eyes"

දුවගේ අමුතු උත්තර එක්ක අපි එයාගේම සෙල්ලම් බඩු වක ඉවත දැමූ පෙට්ටිය යොදාගෙන මාළුත් එල්ලා සම්පූර්ණ කළෙමු.

විප්ලවය ආරම්භ විය යුත්තේ ගෙදරින්...මගේ විප්ලව සඳහා ඉතසිතින් එකඟ වෙන ශේ ට සහ තාත්තාට ස්තූතියි.

"ළමයින් සත්තු ගැන ඉගෙන ගන්නේ කොහොමද එතකොට ?"අසන තර්ක වෙනුවෙන් ස්වභාවික පරිසරයේ සතුන් සිටින වීඩියෝ ඇති බව මතක් කරමි.
ඩයිනසෝර් ගැන ඉගෙන ගන්නේ ඒ සතුන්ට දරුවන් ආශක්ත වෙන්නේ ඒ සතුන් හැබැහින් දැකලා නොවේ. 
ඒ බව මතක් කරමි

සිරීපාදේ දරු ප්‍රසූතිය

$
0
0

සිරීපාදේ ළමයෙක් උපන්නා කියලා වෙනස්ම කතාවක් යනවනෙ.  ඒ දරුවාට සහ මවට කිසිඳු කරදරයක් සිදුවී නැති බව තමා ඇසෙන්නේ. ඉතින් සමහරු ඒක හාස්කමක් ලෙස කියනවා පිනක් ලෙස අර්ථ දක්වනවා. මම කල්පනා කරනවා ඒක කොහොමද පිනක් වෙන්නේ බුදු අම්මෝ එකේ අවදානම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මේවගේ අවදානම් තත්ත්ව ඇති විට මෙවන් ගමන් යෑම නුසුදුසුයි කියන එකත් පූජාභූමි වල දරුවෙක් ඉපදීම අමුතු එකක් ලෙස උත්කර්ශයට නංවන එකේ භයානක කමත් තේරුම් කිරීම අවශ්‍ය නිසා මම මේ ටික ලියන්න හිතුවා.

සමහර විට මේ වගේ අමුතු විශ්වාස සහ ශ්‍රද්ධාව නිසා ජීවිත හානි වෙන්න පුළුවන්. මොකද දරු ප්‍රසූතිය කියන්නේ ගොඩක් සංකුලතා එන්න පුළුවන් අවස්ථාවක්. ජීවිත අවදානම අතින් ගත්තොත් අම්මයි දරුවා යි… ජීවිත දෙකක වගකීම තියෙනවා.

ඒකයි ඉස්සර වගේ ගෙවල්වල දරු ප්‍රසූතිය කරන්නේ නැතිව ප්‍රසුතිකාගාර හෙවත් labour rooms ඉස්පිරිතාල වල පිහිටුවා, පුහුණුව සහ දැනුම ඇති වෛද්‍ය හෙද පවුල් සෞඛ්‍ය නිලධාරීන් එහෙම පත් කරලා…ඒ එක්කම ලොකු ඉස්පිරිතාලවල සැත්කම් කළ හැකි පහසුකම් ලබා දී තිබෙන්නේ.

උතුරට මහා වැසි ගංවතුර අරන් එන ඊසාන දිග මෝසම් හෝ බෙංගාල බොක්කේ මොනවා හරි කැළඹීමක් එද්දී ඒ කාලේ මුලින්ම කරන්නේ ප්‍රසූතියට දින ළඟ හෝ සංකුලතා ඇති ගර්බණි අම්මලා ටික ඉස්පිරිතාලේ එක්කන් එන ඒක. එයාලව ඉස්කොළවල අටවන තාවකාලික ගංවතුර සහන කඳවුරු වලවත් තියන්නේ නෑ මේ අය.

ප්‍රසූතිය වෙලාවේ සහ ඉන් පසු ඇතිවන අධික රුධිර වහනය නිසා මවගේ ජීවිතය පවා හානි කරනවා. ඒක තමා මාතෘ මරණ ඇති කරන ප්‍රධාන හේතුව වෙන්නේ. Post partum haemorrhage. ඒ මොහොතේ කුමක් වෙයිද කියා අප කාටවත් කලින් තීරණය කරන්න බෑ. මගේ නෑදෑ පොඩි අක්කා මරණයට පත්වුනේ කලින් නිර්ණය නොකළ කිසිම සංකූලතාවයක් නැතිව සාමාන්‍ය ප්‍රසූතියට සති 41 දී රෝහල් ගත වෙලා සාමාන්‍ය ප්‍රසූතිය වෙලාවේ දරුවාගේ සංකුලතා ඇවිදින් සිසේරියන් සැත්කම් කළ පසු (ශික්ෂණ රෝහල ක මහාචාර්ය ඒකකයක) ඉහත කී අධික රුධිර වාහන තත්ත්වය ඇතිවීම නිසා. ඉතින් මේ සිරීපාදේ මුදුනේ වගේ කිසිම පහසුකමක් නැති තැනක කවර කථා ද?

ඒවගේම තමා බිලිඳාට ඇතිවන සංකුලතා. ඉපදෙන දරුවාට ඒ මොහොතේ ඇතිවන සංකූලතා බොහොමයක් තිබෙනවා. උපන් ගමන් හුස්ම නොගන්නා අවස්ථා කොයි තරම් මගේ සේවා කාලය තුළ අත් දැකලා තියෙනවද ? ඒවගේම තමා සෞඛ්‍යාරක්ෂිත නොවන තැන්වලදී විෂබීජ වලට නිරාවරණ වීම, ශීත අධික පරිසරයට නිරාවරණය වීම එහෙමත්.

එතකොට මේ සිරීපාදේ ගිය අම්මා අවදානම් තත්ත්වයේ දාලා තියෙන්නේ තමන්ගේ ජීවිතය විතරක් නෙමේ තමන්ගේ දරුවාගේ ජීවිතයත් අවදානමට ලක් කරලා!

ලංකාවේ මාතෘ මරණ දකුණු ආසියාවේ දර්ශක අතරින් හොඳම අගය තියෙන්නේ ලංකාවේ ඒ ප්‍රසව හා නාරිවේදය වගේම පවුල් සෞඛ්‍ය ආයතනය ගෙන යන සුවිශාල මෙහෙයුම් යාන්ත්‍රණ නිසා.

ඉතින් මේ වගේ අවදානම් ගමන් යන හො යන්න ඉන්න මව්වරුන්ට වගේම මේ සිදුවීම් ජීවිත අවදානම නොතේරෙන ලංකා පොළොව උඩ ඉන්න සිය දහස් ගණනක් නොතේරුම් කම් ඇති මිනිසුන්ට මේ ගැන තේරුම් කරන්න හිතුනා.

මේ ගැන ලිව්ව කතාවක් තියෙනවා “ෆෝන් සිඹින මිස්ලා” කියලා එකත් මේ අන්තිමට එකතු කරනවා. දරුවෙක් පිළිසිඳ ගැනීම සමග ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙවත් මීඩ් වයිෆ් මිස් ලා තමයි ප්‍රසූතිය දක්වාම මේ ගර්භනි අම්මලාගේ වගකීම දරන්නේ.

ගර්භානි කාන්තාවන්ට මෙවැනි අහිතකර අවදානම් ගමන් යන්න එපා කියලා දැනුවත් කිරීම් අපමණ කරනවා.

ඒවගේමයි එයාලා ගෙවල් ගානේ එන්නේ… සායන වලට ලියාපදිංචි කරගන්නේ එහෙම කළ යුතු නිසා. එක් කෙනෙක් හරි මිස් වුණොත් දෝෂාරෝපණය එන්නේ field midwife ට නිසා.

එතකොට කිසිම සායනයකට ඒ වෙනකම් නොගිය ඒ අම්මලා දරුවෝ ගැන දෝස්මුර යන්නේ අදාල ප්‍රදේශයේ මීඩ් වයිෆ් ට.

ඒත් ඒ මිනිසුන්ගේ ආකල්ප හදන ඒක අතින්නම් සෞඛ්ය අංශය තවමත් පසුගාමී යි.

මම කලින් උතුරු කොනේ ප්‍රසව හා නාරිවේදය අංශයේ වැඩ කළ නිසා දන්නවා මේ කාර් යය කොහි තරම් වගකීමක් ද කියලා.

ෆෝන් සිඹින මිස්ලා

ලෑන්ඩ් ෆෝන් එක හෙවත් දුරකථනය සිඹිමින් කතා කරන එක උතුරේ අනිත්කොන රෝහලේ ඉතා සුලබ දර්ශනයකි. මේවා එකල හිනා යන දේවල් වුණාට දැන් මතක් කරද්දී හිතට බොහෝ උණුසුම් සතුටක් ගෙන දෙනවා.

අපේ මිඩ් වයිෆ් මිස් BHT එක හෙවත් ඇඳ ඉහපත් ෆයිල් එකත් අරන් ෆෝන් එකෙන් හෙට හෝ අද හවස අපි ගෙදර යන්න ටිකට් කපන ගර්භණී හෝ දරුවා ප්‍රසූත කළ අම්මා කෙනෙක් ගැන විස්තර කියා ඇයට අප ඉදිරියේ දී ඇති සැලසුම, නැවත රෝහල්ගත විය යුත්තේ කවදාද යන මේ සියල්ල ඇයගේ නිවස්නය පිහිටි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වෙත කීමය. බොහෝම ඈත සිග්නල් අඩු ප්‍රදේශවල සිට ඒ උදවිය කතා කරද්දී ඇහෙන්නැති නිසා රිසීවර් එක පැත්තක දමා ස්පීකර් එකට ලංවී මෙසේ කෑ ගහන මිස්ලා ගේ මේ වැඩේ ගැන අපි "ෆෝන් සිඹින මිස්"කියා විහිළු තහළු කරත් එයාලා ඒක දේවකාරියක් වගේ කරන්නේ.

අපේ මිස්ලා සහ අපි, වන්නි හදවතේ පිහිටි අපේ ඒකකය වෙත උතුරේ හැම පැත්තෙන්ම එන අම්මලා අපි බලාගත්තේ දරුවෝ වගේ.

මේ රෝහල නැවත පණ ගන්වන්න එහි හා හා පුරා ගිය තරුණ විශේෂඥ වෛද්‍යවරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට හැකිවුණා. අලුතෙන්ම යුරෝපා රටක් මුල්වෙලා හැදුව මේ රෝහල යුද්දෙ අවසානයේ තිබුණේ කහල ගොඩක් බිත්ති ටිකක් විතරයි. ඒක ඉන්පසු, ඉතා පිළිවෙල , ශල්‍යාගාර දෙකක් සහිත දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කරන්න එවකට හිටි වෛද්‍ය අධිකාරී ඇතුලු සියල්ලෝම එකාමෙන් වැඩ කළා.

විශේෂඥ වෛද්‍යවරයා අවදානම් කරුණු සහිත “චෙක් ලිස්ට්” එකක් එක්ක කොලයක් හැදුවා. බලපු ගමන් අවදානම් අම්මලාව අවදානම්ද කියා ඕනෙම කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ආකාරයේ එකක්.

දකුණු පැත්තේ එක කරුණකට හරි ඉදිරියෙන් කතිරයක් තියනවානම් අවදානම් ගර්භනී අම්මා කෙනෙක්…ඒක දැන් එහෙ පාවිච්චි වෙනවද මන්දා. හැබැයි ඒක ඒ කාලේ හරි වැදගත් වුණා.

අපි ඒ අයව බලන්නේ ගර්බනි කාලය පුරාම එක් වරක් හෝ දෙවරක්, එහෙත් මාස් පතා ඒ අයව බලාගන්නේ එයාලගේ අදාල ගමේ මාතෘ සායන යෙන්..

එහෙත් එහිදී නොසලකා හරින ලද යමක් හෝ අලුත් රෝග තත්ත්වයක් අනාවරණය වුණොත්, අපේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා ටෙලිෆෝන් එක සිඹ සිඹ කතා කරනවා අදාල ප්‍රදේශයේ මිඩ් වයිෆ් මිස්ට…

ස්කූටි එකේ විගහින් ඇවිත් හෙල්මට් අතින් අරන් වාට්ටුවට දුවගෙන එන්නත් වෙනවා. ඩෝස් එකක් හෙවත් දෝස්මුරයකුත් ලැබෙනවා.

මට මතකයි ලිෆ්ට් එකක්වත් වැඩ නොකරනකොට බඩදරු අම්මලා ස්ටෙචර් පිටින් පඩි පෙලේ උඩට උස්සන් යන්න අපිත් අත්වාරු දෙනවා.

දවසක් ඕපී ඩී එකෙන් වීල් චෙයා එකක එවපු අම්මෙක් පඩිපෙල පාමුල ඉඳගෙන දරුවා ප්‍රසූත කරනවා, සුළු සේවිකාව උඩට දුවන් ඇවිත් කියද්දී අපි පහළට දුවලා… එතනම සියලු ජීවානුහරණය කරන ලද තුවා ෂීට් එළලා දරුවා අරන් අම්මාව ස්ට්‍රෙචර් එකට දාගෙන උඩට දිව්වා…පඩි පෙළ පාමුල කියලා මොකද දරුවා එද්දී නවත්තන්නයෑ…

ලංකාවේ හැම අස්සක් මුල්ල ක් ගානේ ඇවිදලා ගර්භනී සහ ළදරු ගැටළු තමන් ගේ කරගෙන වැඩකරන සායන පවත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල සියල්ලන්ට තුති පුදමි.

ඉතින් මේ සිරිපා අඩවියේ උපන් දරුවාට අම්මාට කිසි කරදරයක් නොවූ එක බොහොම වටිනවා. ඒත් එහෙමයි කියලා ආයේ මේවගේ අනුවණ කම් සිදු කරන්න පෙළඹවීමක් ඇති වුණොත් ඒක හරිම නරක වැඩක්. ජීවිත හානි වෙලා නවතින්න හැකි වැඩක්.. එනිසා කාරුණිකව ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතේ අවදානමේ දමා ගන්න එපා කියලා.

වෛද්‍ය බෝධිනි සමරතුංග

මේ අවසාන පින්තූරය ෆේස් බුක් එකේ බෙදාගත් එකකි. අවශ්‍ය පණිවිඩය කෙටියෙන් කියන නිසා මෙහි පළ කරමි. 

ලංකා ටාගට් වෙබ් අඩවියේ පළ විය http://lankatarget.com/si/?p=26747




ඔබේ දරුවා W sitting ද ?

$
0
0

ඩබ්ලිව් අකුරක ආකාරයට ඉඳ ගන්නවා ද

පින්තූරය ගත්තේ https://www.gymbaroo.com.au/.../w-sitting-and-what-to-do.../

අපි කොච්චර වෛද්ය ශිෂ්ය කාලේ පොත් වනපොත් කළත් හරියටම දේවල් ඔළුවට යන්නේ සායනික වට වලදී. අපට උගැන්වූ අපේ මහාචාර්යවරිය වාට්ටුව පුරා යනකොට මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ගේ කකුල් හරියට තියලා වෙනස් කරනවා ඒ කියන්නේ එරමිණියා හෝ දණහිස් ඇතුල් පැත්තට නැවෙන්න ඉන්දවන්න කියනවා. අම්මලාට කියලත් දෙනවා, මෙහෙම දැක්කොත් ඉඳන් ඉන්නවා වෙනස් කරන්න කියලා.
මම පශ්චාත් සීමාවාසික අවසන් කරලා වෛද්යවරියක ලෙස ළමා වාට්ටුවට ආවම වැඩ කරන්න, ඒ සායන වටයේ දිත් අපේ විශේෂඥ වෛද්ය තුමිය මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ව හරියට කකුල් හදලා ඉන්දවලා අම්මලාට කියලා දෙනවා හේතු.
මුහුණු පොතේ මිතුරියන් දමන පින්තූරවල හරි හරියට මේ වගේ පැංචියෝ පැංචෝ දකින නිසා පොදුවේ ලියන්න හිතුවා.
මම සමහරුන් ට පුද්ගලිකව කියලා තියනවා ",හැම තිස්සෙම නෑ අක්කේ"කිව්වට මම දකින දකින පින්තූරේ එයාලා මෙහෙම ටීවි ඉස්සරහ ඉඳන් ඉන්නවා පේනවා. එහෙම ඉඳ ගන්න එක විශේෂ හැකියාවක් ලෙස එක මවක් සිතාගෙන හිටියා. තවත් කෙනෙක් ඒ විදිහ ලස්සනයි කීවා. බොහෝ දෙනා මේ ගැන දැනගෙන හිටියේ නෑ කියා ස්තුති කළා දැනුවත් කිරීම ගැන. ඉතින් සටහනේ මුල මම ලියූ ලෙස විශේෂඥ වෛද්යවරු දෙන්නෙක්ම අපිට පෙන්වා කියා දුන්නු විදිහට මේ කියන්නේ ඔයාලගේම හොඳට මිසක් මට අත් වෙන ප්රතිලාභයක් නම් නැත. මගේ දරුවා මෙහෙම ඉඳගෙන හිටිය දුටු ගමන් වෙනස් කළ නිසා පුරුද්දට ගියේ නෑ.
මේක ගොඩක් ළමයි සාමාන්යයෙන් ලේසියට වාඩි වෙන විදිහක් හැබැයි දිගු වේලාවක් මෙහෙම ඉඳන් ඉන්නකොට ප්රශ්න ඇතිවෙනවා ඒ කියන්නේ දරුවාගේ ශාරිරික ඉරියව්, ඇවිදීමේ සහ ධාවන හැකියාවන්ට දිගු කාලීනව අහිතකර බලපෑම් ඇති කළ හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නෑ
මම ඒ ගැන සරලව ලියා තිබූ https://pathways.org/what-is-w-sitting/
හි කරුණු පරිවර්තනය කර පල කළා.
Hip dislocation උකුල විස්ථාපනය - දරුවාට උකුල් ආබාධ තිබේ (උපතේ සිට තිබූ අයට ද) නම්, W ඉරියව්වෙන් හිඳීමෙන් උකුල් සහ සන්ධිවලට පීඩනයක් ඇති විය හැකි අතර විස්ථාපනය වීමේ සම්භාවිතාව වැඩි වේ.
Limited trunk core strength කඳ සහ සමස්ත ශරීරයේ ශක්තිය හීන වීම - W ලෙස වාඩි වී සිටින විට ඉරියව්ව ශරීරය කෙළින් තබා ගැනීමට අමතර ශක්තියක් වැය නොවන නිසා ඔවුන්ගේ මූලික මාංශ පේශි භාවිතා කිරීමට අවශ්ය නොවන අතර ඒ මාංශ පේශි වර්ධනය අඩු වේ ශක්තිය අඩුවේ. අනෙක් වාඩිවෙන ඉරියව්ව දී එසේ නොවේ සියලු කඳ මාංශපේශී ශක්තිය අවශ්ය නිසා ඒවා පාවිච්චි වේ එවිට වර්ධනය ශක්තිය ඇති වේ
Lack of cross movements - හරස් ශරීර චලනයන් නොමැතිකම - W පිහිටුම දරුවන්ට ඔවුන්ගේ උඩුකය කරකැවීම සහ එක් අතකින් හෝ අත් දෙකකින් දෙපැත්තට ළඟා වීමට අපහසු කරයි. ඉතින් මේ ඉරියව්වෙන් ඉඳ ගෙන ක්රියා කාරකම් කරද්දී දරුවාගේ චලනයන් සීමා වේ
No hand preference . මේ කියන්නේ අත් දෙකෙන් වඩා ප්රබල තෝරාගැනීමක් සිදුවෙන්නෙ නෑ කියලා - W- වාඩි වී සිටින ස්ථානයක, දරුවාට ඕනෑවට වඩා කඳ පාලනයක් සහ ස්ථාවරත්වයක් ඇත. කාර්යයන් ඉටු කිරීම සඳහා ඕනෑම අතක් භාවිතා කිරීම ඉතා පහසුය. එහෙත් ප්රමුඛ අතක් අපට තිබේ... ලිවීමේ හැකියාව සඳහා අත් ප්රමුඛතාවය වර්ධනය කිරීම වැදගත් වේ.
මාංශ පේශි තද බව වැඩි වීම - දරුවා මාංශපේශී තද භාවයට හෝ හයිපර්ටෝනියා යන තත්ත්වය කෙරෙහි ප්රවණතාවක් ඇත්නම්, W ඉරියව්වෙන් හිඳීමෙන් උකුල්, දණහිස් සහ වළලුකරවල තද ගතිය වැඩි වේ.
වෙනස් කර ඉන්දවද්දි දරුවාට නොතේරෙන ආකාරයට කතා කර කර ඔසවා හරි විදිහට ඉන්දවන්න. කලබල කර මනසට පීඩා ගෙන එන ලෙස කරන්න යන්න එපා. තේරෙන දරුවෙක් නම් පහදා දෙන්නා
මේ වීඩියෝ ඒක බලන්න
වෛද්ය බෝධිනි සමරතුංග
වැඩි දුර කියවීම සඳහා වෛද්ය විද්යාත්මක අධ්යන
https://doi.org/10.1589/rika.30.429
මේ අධ්යනය පෙන්වා දෙනවා සිදුවිය හැකි අතුරු ආබාධ
2020 දී https://doi.org/10.1177/0009922820940810
මේ අධ්යනය කියනවා උකුල ආශ්රිත ආබාධ (dysplasia ) සුලබව හමු නොවේ කියලා.
මේ තත්තවය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන සාකච්ජා කරන පත්රිකා මෙන්ම ඒ සංකුලතා සමහරක් ඇති නොවේ කියා බැහැර කරන පත්රිකා ද හමුවේ. කෙසේ වෙතත් මේ අධ්යන ගැන වඩා සවිස්තරාත්මක ව ලියන්නට නොහැකි වූ නිසා නැවත ලියද්දි වැඩි විස්තර ලියන්නම්



නැවත පාවිච්චිය !

$
0
0

Re using and Thrifting ! second hand shops …

හොඳ මාතෘකාවක් එළියට ඇවිත් තිබෙනවා ව්රායි බල්තසාර් මහත්මිය දැක්වූ අදහසක් නිසා. ඇතැම් තැනක එම අදහසට සමාජවාදය ගාවාගෙන තිබුන නිසා එම අදහස වැරදියට අර්ථකතනය වී ඇති බවක් පෙනුනා. පාවිච්චි කළ ඇඳුම් ඇන්ද පිරිස #metoo campaign එකක් පටන් අරන් තිබ්බා. එහෙමනම් මමත් #metooතමා.
නැවත භාවිතය , හුවමාරුව , ප්රතිචක්රීකරණය
වගේ සංකල්ප අද වන විට ලෝකයේ හිතකර භාවිතාවන් ලෙස පිළිගන්නේ.
අපේ රටේ ඇඳුම් මහ පරිමාණයෙන් විකිණෙන කඩ නොතිබුනාට ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ බොහෝ ඒවා වෙනත් රටවල භාවිතා කළ ඒවා විකුනනු දැක තිබෙනවා. අපට උගැන්වූ මහාචාර්යවරියක් දවසක් අපි ලස්සනයි කිව්ව එයාගේ හැට්ටය සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින් ගත්තේ කිව්වා. ඒක හොඳ බ්රැන්ඩ් එකක් ඒත් හෙන ලාබෙට අරන් තිබුනා. සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වල ඇඳුමේ ඉඳන් ගෘහ භාන්ඩ දක්වා සියල්ල එහෙම අරගෙන මේ රටවල්වල භාවිතා කරනවා. අපිත් පොඩි කාලේ සිටම සහෝදරියන්, නෑදෑ සහෝදරියන් අතර ඇඳුම් හුවමාරු කරගෙන අඳින සිරිතක් තිබුනා. Hand me downs ලෙස හඳුන්වන ක්රමය නෑදෑයින් යෙහෙළියන් අතර සුලබව තිබුණා. එය වැඩෙන දරුවන් ඉන්න පවුල්වලට මහා උදව්වක් බව මම දැක්කා. උත්සවවලට වුනත් අලුතින් ඇඳුම් ගත්තේ හරිම අඩුවෙන්, පොඩි කාලේ නම් එහෙම ගත්තේ නැතිම තරම්. පසුකාලීනව රාජකාරියේදී මම ඇඳපු සාරී සියල්ලම පාහේ අම්මගේ ආච්චිගේ හෝ නංගිගෙ ඒවා. මම නාස්තිය අවම කරන්න බොහොම කැමැති කෙනෙක්. මගුලකට වුණත් මගේ මංගල්ලයේ සාරිය අඳිනවා මිසක මම අලුතින් යමක් ගන්න අඳින්න වුවමනා නැත්තෙක්. ඉතින් තිබෙන ඇඳුමක් පාවිච්චි කිරීම හෝ සහෝදරියට අනවශ්ය ඇඳුම් හෝ නෑදෑයින්ට අනවශ්ය ඇඳුම් පාවිචියට මගේ කිසි අවුලක් තිබුනේ නෑ.
යුරෝපයේ සිටියදී අපට වඩා මේ භාවිතය යුරෝපීය ජාතිකයන්ගෙන් දැක්කා. මීට අවුරුදු දහයකට කලින්. මම, මගේ ඕස්ට්රේලියානු ජාතික වෛද්ය මිතුරිය සහ බ්රිතාන්යයේ යහළුවා ඇඳුම් ගත්තෙත් සීත කබාය පවා ගත්තේ එවන් නැවත භාවිතා කිරීම සඳහා ඇදුම් විකුණන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින්.
මා ඉහත කී මගේ ඕස්ට්රේලියානු මිතුරිය ගර්භනී කාලයේ මා ළඟ තිබුණු ඇදෙන සුළු රෙදිවලින් මහන ලද දිග කුර්තා වැනි කමිස ඉල්ලගත්ත. විවිධ නම් වලින් second hand shops වලින් , garage sale, floor market, flea market දේස දීපංකර වල, මෙවැනි භාවිතා කරන ලද ඇඳුම් සපත්තු සහ ගෘහභාන්ඩ තොග විකුණනනවා.
තව කාරණයක් මතක් වුණා මම ත් මගේ යෙහෙළියත් ඇගේ සැමියාගේ පල්ලියේ වැඩවලට සුප් කිචන් එකට එහෙම උදව් වෙන්න යනවා. නගරයේ ප්රධාන පල්ලියේ සුප් කිචන් එකටත් උදව් වෙන්න යනවා ( මගේ බුදුන් සහ ඇගේ ජේසුන් කියා කතාවක් ලියා ඇති අප දෙදෙනාගේ මිත්රත්වය ගැන) එතකොට එළියේ ඇතුල්වෙන තැන වෙනත් කාමරයක පාවිච්චි කර ඉවත ලූ ඇඳුම් සපත්තු සහ ආයිත්තම් බොහෝමයක් ගොඩ ගසා තිබෙනවා. නොමිලේ කෑම වේලක් කන්න එන මිනිසුන් ඒවා බලා තමන්ට උවමනා දේවල් අරන් යනවා.
ඒවා හරි ලස්සන ක්රියා. මිනිසුන් වෙනුවෙන් මිනිසුන් කරනා උපකාර.
දැන් අලුතෙන් මේ සෞඛ්යාරක්ෂිත බව ගැන කියමින් පිරිසක් අමුතු බියක් ඇති කරනවා.
චර්ම රෝග කාරක බහුලව පැතිරෙන්නේ skin to skin contact හෙවත් ස්පර්ශ වීම මගින්.
ඕනෙම රෙද්දක් අලුත් පරණ තමන් ඇඳපු එකක් හරි රෙදි සෝදන කුඩු මගින් සෝදා අව්වේ වෙලා ගන්න ඒක තමා නිවැරැදි භාවිතය. නැත්නම් තමන්ගේ රෙදි වලින් වුණත් සමේ ආසාදන එන්න පුළුවන්. කොටින්ම රෝහල්වල භාවිතා කරන රෙදි, ශරීර තරල පවා පෙගෙන ගෑවෙන රෙදි ශල්යකර්ම වලදී භාවිතා වෙන ඒවාත් නැවත නැවත නිසි ක්රමවේද වලට සෝදා පාවිච්චි කරනවා.
ඉතින් හපෝ.. විෂ බීජ කියනවා වගේම අපිට ඒ සඳහා විසඳුම් ද ලියන්න ඕනේ.
එහෙම බැලුවොත් මේ ලෝකෙම "හපොයි විෂබීජ"තමා.
2021 ඉරානයේ කළ අධ්යයනයකදී සොයාගෙන තියෙනවා, second hand shops වල නැවත සෝදා වේලා ගත් ඇඳුම් වල පරපෝෂිතයක් කිසිසේත්ම නොසිටිය බව. ඉතින් එයාලා නිගමනය කරලා තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල තියෙන ඇඳුම් හොඳින් සෝදා වේලා විකිණිය යුතුය කියා. (doi: 10.18502/ijph.v50i1.5093)
2022 නයිජීරියාවේ කරපු අධ්යනයක පර් යේෂණයේදි රෙදි සෝදන කුඩු, සාමාන්ය සබන් සහ රෙදි සෝදන බ්ලීච් කියන මේ ද්රව්ය වලින් මෙලෙස පාචිච්චි කරන ලද ඇඳුම්වල බැක්ටීරියා ඉවත් වේද කියා සොයා බලා තිබෙනවා. ඔවුන් නිගමනය කරනවා laundry bleach වල දින කිහිපයක් ගිල්වා තැබීම සහ ඉන්පසු රෙදි සෝදන කුඩු මගින් සෝදා , ස්ත්රික්කයකින් මැද ගැනීම තුලින් විශේෂයෙන් යට ඇඳුම්වල සහ ඇඳුම්වල බැක්ටීරියා ප්රතිශතය හොඳටම අඩු කරගත හැකි බව සහ සාමාන්ය සබන් වලට වඩා රෙදි සෝදන කුඩු වලින් වැඩියෙන් මේ රෙදිවල බැක්ටීරියා සිටියොත් ඉවත් වෙන බව කියනවා. (DOI: 10.9734/SAJRM/2022/v12i330273).
මේ හැම අධ්යනයක්ම කියන්නේ නැවත භාවිතා කරද්දි ඇඳුම් නිසි පරිදි සෝදා වේලා අඳින ලෙසයි. එහෙම නැතිව නැවත පාවිච්චි කරන්න එපා කියලා නෑ.
මේවා සමහර රටවල් වල හිතකර සංකල්ප.
එතකොට අපි කඩෙන් ගන්නා ඇඳුම් වල මේ විෂබීජ තිබෙන්න බැරිද ? පුළුවන් !
කොටින්ම අපි ඉන්නා පරිසරයම ඉතින් ක්ෂුද්රජීවින් බහුල තැනක්. ඒත් අපේ හමේ ඉඳන් ශරීර අභ්යන්තරය දක්වාම අප ආරක්ෂා කරන්න ප්රතිශක්තීකරණ පද්ධතිය මගින් විවිධ බාධක අපමණ දමා තිබෙනවා. ඉතින් එහෙමයි මේ අවට පරිසරයේ අපේ සම මත වුණාත් ඉන්නා බැක්ටීරියා වෛරස දිලීර වලින් අපි ආරක්ෂා වෙන්නේ.
ඔය කඩවල්වලින් ගේන ඇඳුමක් වුනත් කොහේ තිබුණා ද, මොන දේවල් එක්ක ගැටිලා ද කියා අපි දන්නේ නෑනේ එනිසා හෝදන්නෙ නැතුව අඳින්න එපා. රෙදි සෝදන සබන්කුඩු දාලා හොඳට හෝදලා වේලා ඉස්ත්රීක්කයකින් මැද අඳින්න. සමහරු ලේසියට අයන් කරලා විතරක් අඳිනවා. වඩා හොඳයි සෝදා වේලා ගන්න එක.ළමයින්ගේ ඇඳුම් ද එහෙමයි.
ඉතින් ආර්ථික අර්බුද හමුවේ ඇඳුම් හුවමාරුව කරන නැවත භාවිතය සඳහා මිලදී ගන්න මිනිසුන් වගේම අධි පරිභෝජනය බැහැර කරන මේ ලෝකෙට හිතකර ක්රියා සිදුකරන මිනිසුන් කෙරෙහි අවඥා සහගත වෙන්න එපා.
ඒ වගේම තමා මිනිස්සු ඔබ නොදන්න බොහෝ කරදර රාශියකින් බැටකමින් සිටිනවා. මම ඉහත කියූ සුප් කිචන් වලදී මට මුණගැසුනු මිනිසුන් කියූ කතන්දර මේ ලෝකයේ යතාර්ථය තවත් පෙන්වනවා. උඩින් අඳින ඇඳුම් ගවුම් කලිසම් කමිස එහෙම අනන්තවත් අපි හුවමාරු කරනවා. මගේ දරුවාගේ ඇඳුම් කුඩා වෙද්දී යෙහෙළියන්ට මෙන්ම නැදෑ සහෝදරියන්ගේ දරුවන්ට යැව්වා. මගෙ දරුවාට හිතවත් අක්කා කෙනෙක් ඇගෙ දියනියගේ ඇඳුම් එව්වා. දැන් මෙහෙදිත් දරුවාගෙ කුඩා වෙන ඇඳුම් සපත්තු සේරම එහෙම එකතු කරනවා ගෙනෙන්න. ඒවාගෙමයි මගේ ජර්මන් ජාතික මිතුරිය අවුරුද්දට දෙපාරක් විතර ඔවුන්ගේ ළමා ඇඳුම් සහ සෙල්ලම්බඩු එකතු කර ලංකාවට එවනවා. ඒ සියල්ල විවිධ අවස්ථාවලදී අන්ත අසරණ මිනිසුන් වෙත ලබා දෙනවා. අපේ ළමා රෝග වාට්ටුව අපි නිතරම එහෙම ඇඳුම් හොඳින් සෝදා මැද ගබඩාකර තිබුණා. ඒ තරම් අහේනියක් ඇති පිරිසක් ඒවාට ආවේ. එකල ෆේස්බුක් එකේ දැමූ සටහන් නිසා මම දන්න තරමක් යාළුවෝ එසේ ඇඳුම් සෙල්ලම් බඩු උදව් රැගෙන ආවා. ඉස්පිරිතාලේ කබඩ් එකක තියාගෙන හිටිය එහෙම ඇඳුම් හරි ඉක්මනට බෙදා ඉවර වෙනවා. දන්නවාද ලංකාවේ බහුතරයක් මිනිස්සු ෆේස් බුක් එකේ දකින ඔබ මම වගේ නෙමේ.
ඇතැමෙක් ප්රශ්න කරනවා එතකොට නිෂ්පාදන අලෙවි නොවීම නිසා ව්යාපාර වලට මෙය අවුලක් නෙමෙයිද කියලා. සහන හෝ නැවත පරිභෝජන ප්රතිචක්රීකරණය වැනි ක්රියාදාමයන් ව්යාපාරවලට හානිදායක ද කියා දන්නා කෙනෙක් කියා දෙන්න.
අප පුරුදු විය යුතුයි, නාස්තිකාර නොවී මිනිසුන්ට අවමලෙස අවශ්යම දෑ පරිභෝජනය කරන හැටි කියාදෙන එක. රොනිති සර්ධාතිලක අවමවාදී වීම ගැන "සරල මං"කියලා අපූරු පොතක් ලියා තිබෙනවා. ඒකත් ඔබට හැකිනම් සොයාගෙන කියවන්න. මේ අධි පරිභෝජන රටාව නිසා ලෝකය තව තවත් විනාසයට තල්ලු වෙනවා, ස්වභාවික සම්පත් හීන වීම හරිතාගාර වායු විමෝචනය වගේ දේවල් සිදුවෙනවා.
බිළිඳුන්ට හොඳින් සේදුනේ නැති රෙදි වලින් ආසාදන එන්න පුළුවන්, ඒවා බැක්ටීරියා ක්ෂුද්රජීවීන් කියලා නෑ ආසාත්මික allergy වෙන්නත් පුළුවන් ඒකනේ බේබි සබන් වගේ මෘදු සබන් පාවිච්චි කරන්න අව්වේ වේලා ගන්න අයන් කරගන්න කියන්නේ. රෝහලේදී බබාලාගෙ රෙදි සහ නැපි එහෙම විෂබීජාණුහරණය කරලාත් දෙනවා. සමහර විට අම්මලා කලින් දරුවාගෙ නැපිම ගේන අවස්ථා තියෙනවා, කඩේන් ගන්නා ඒවා හෝදන්නෙ නැතිව ගේනවා.
ඔබ මගෙන් ඇහුවොත් දැනුත් මා එහෙමද කියා මේ ලියන මොහොතේ වුවද මා ඇඳන් ඉන්නේ, මට එසේ 2003 ලැබුණු පාවිච්චි කරන ලද ඇඳුම්. අපි බොහෝ අය තවමත් හුවමාරු කරගෙන අඳිනවා. ඒත් ඒ ඕනේ ඇඳුමක් කඩෙන් වේවා, තෑගි වේවා හුවමාරු වේවා හොඳින් රෙදි සෝදන කුඩු හෙවත් detergent වර්ගයකින් සෝදා වේලා, ඉස්ත්රික්කයකින් මැද , ඇඳගන්න !
වෛද්ය බෝධිනි සමරතුංග

බෙහෙත් එක්කම ලොසින්ජරයක් දීලා ඔළුව අතගාන කතාබහක්

$
0
0

 ‍‍


විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත්යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්, ආර් එල් ස්පිට්ල්, කලීඩ් හුසේනි... එකවර ම මතක් වෙන නම් කිහිපයක්. විශේෂයෙන් වෙනත් විෂයක පරිචය ලැබූ කෙනෙක් සාහිත්ය ලේඛනයට එන එක මාව උනන්දු කළ මාතෘකාවක්. මොකද, ඔවුන්ට තියෙනවා පටන්ගැන්මේ සිට ම සාහිත්ය ලියූ අයෙකුගේ භාෂා භාවිතයට වඩා ෆෝකස් වුණු, පෙරීමක් වුණු, සාරයක් වුණු, වටේ දුවන්නෙ නැති, යුනීක් භාෂා රටාවක්. මින් පෙරත් මේ ගැන යම් යම් සටහන්වල දි සඳහන් කළා. උදාහරණයක් විදියට, ඉංජිනේරු විෂය, ගෘහ නිර්මාණය, ගණිතය, චිත්ර කලාව වැනි විශයක් ගැන ප්රාමාණික, එහි කිඳාබැහැලා ඉන්න කෙනෙක් පසුකාලීනව ලියද්දි එයාලගෙ රචනා රටාව හැදෙන්නෙ අර විශයන්වල, ඒ හැඩතලවල සැකිලි, මූලත් එක්කම යි. මේක පැහැදිලිව පේන්න ගන්නවා ඔවුන්ගේ භාෂාවෙ ස්ථර නිරීක්ෂණය කරද්දි.

වෛද්ය බෝධිනී සමරතුංග 'රැස'පුවත්පතට ලිව්ව ලිපි මාලාව, 'සායනික සටහන් නොවේ'යනුවෙන් පොතකට එකතු කරනවා. මේ සටහන් කියවද්දිත් අපිට අර ඇයට ම ඔබින භාෂාවෙ ලක්ෂණ හඳුනගන්න ලැබෙනවා. සම්පූර්ණ නිර්මාණත්මක ලේඛනයක් විදියට නැතිව, තමන්ගෙ අත්දැකීම් දින සටහන් නැතිනම් එක්තරා memoir එකක් විදියට ලියද්දි, බොහෝ අය ප්රවේශ වෙන වාර්තා ලිවීමක ස්වභාවය හෝ දත්ත පද්ධති ඇතුළත් කිරීමේ ස්වභාවය ඇයගේ නැහැ. නීරස නෑ. ඒ වෙනුවට ඇය සරල, නමුත් ඇතැම් තැනක කාව්යත්මක බසකින් ඇගේ අත්දැකීම් අපට කියනවා. හුදෙක් තමන්ගෙ විශයට ම අදාළ නොකරගෙන, පොදුවේ මිනිස්සුන්ට ආමත්රණය කළ හැකි 'කාන්තා බස'ක් ඇය සතු යි. අධිකාරී බලයක් ඇය දරන්නේ නෑ. සරලයි. ආලවට්ටම් නෑ.
"පතුල බිඳුණු සිමෙන්ති පොළොවේ වල ගොඩැලිවල වැටි වැටී ට්රොලි තල්ලුකරන, රෝද ගැලවෙන්න ඔන්න මෙන්න තිබෙන මලබැඳුණු පාපුවරු නැති රෝද පුටු මගේ මතකය හාරා අවුස්සයි. එහෙව් කොරිඩෝවල යන එන අතර පිටකොන්දට දැනෙන අමාරුව අකුරු කළ පිළිකාවකින් රෝගී වී දුක්විඳ අප අතරින් වෙන් වූ අනුදි රන්මුතු සොයුරියගේ ෆේස්බුක් සටහන් මතක් වේ.
'මට මගේ රට ගැන දුක හිතෙනවා', කියා ඔවුන්හට මම කොහොම නම් කියන්නද?"
"මේ කඩින්කඩ වැහි වැටෙන අවධිය වූයෙන් පසුගිය සමයේ නිහඬව සිටි මදුරු රංචුවලට පණ ඇවිත් ඇති සෙයකි..." (සායනික සටහන් නොවේ)
'මම හිතුවා', 'මම දැක්කා...'ආදි වශයෙන් 'මම'දකින හඟින දේවල් මගේ කෝණයෙන් ලියන නිසා කියවන්නාට ළංවෙන්න පහසුයි. මේක ලියන්නෙ ඩොක්ටර් කෙනෙක් - අපි සාමාන්ය මිනිස්සුනේ කියල හිතන තරමේවත් මානසික රික්තකයක් කියවන්නාත් ඇයත් අතර හැදෙන්නෙ නෑ ඒනිසා.
ඒ සියල්ලටත් වඩා මේ සටහන් මානුෂීය බවින් පිරිලා. හෘදයංගමයි. සංවේදීයි. ළතෙත්. මෙළෙකයි. සෙනෙහැතියි. හිතැතියි. කෝමල යනගි අත්තක් වගේ. මොනතරම් පරාසයක අත්දැකීම් වුණත් මැදහත්ව ඒවා දරාගන්න ඇය තමන්ගේ ජීවිතේ ගැන අපිට කියන්නෙ ඒක තිත්ත බෙහෙතක් නොකර. ඒනිසා බෙහෙතත් එක්ක ම ලොසින්ජරයකුත් දීලා, ඔළුවත් අතගාලා කතාබහ කරනවා. ගතේ ලෙඩට වගේ ම හිතේ ලෙඩටත් බෙහෙත් කරන නයිටින්ගේල්වරියක් පොතෙන් අපිට මැවෙනවා.
වෛද්යවරියකගේ ජීවිතය ගැන සාමාන්ය මිනිස්සු නොදැන සිටිය පැති ගැන වැටහීමක් මෙයින් ලැබෙන එක තවත් කරුණක්. තමන්ගෙ මුහුණට කෙළ ගහන රෝගියාටත්, තමන්ට ගුටි දෙන රෝගියාටත්, තමන් දෙන වෛද්ය උපදෙස් පිළිපදින්නෙ නැති රෝගියාටත්, තමන්ට බැණ බැණ යන රෝගියාටත් එක ම විදියෙ උපේක්ෂාවකින් සහ මානුෂීය බවකින් සලකන්නෙ කොහොමද කියලා අපි විශ්මයපත් වෙනවා. වෛද්යවරුන්ටත් ලෙඩ හැදෙනවා නේද කියල, ඔවුනුත් අපි වගේම කොටසක් නේද කියල ආයෙ හිතන්න සලස්වන මේ සටහන්, 'සායනික'නෙමේ, 'මානුෂික'සටහන්. ඒනිසා, මා ලියන මේ කෙටි සටහනත් ඇල්දියෙන් අඹරා, සංවේදීව ලියූ බවක් ඔබට හැඟුණොත් ඒ වෙනුවෙන් කමන්න.
තීරු ලිපි එකතුවක් විදියට බෝධිනී සමරතුංග මේ සටහන් ලියන විදිය ගැනත් යම් අදහසක් ගන්න පුලුවන්. සටහනේ සැකිල්ල සැලසුම් කර ඇති සැටි, පටන්ගන්න හැටි, අවසන් කරන හැටි, කතාවේ උච්චතම තැන් සලකුණු කරන හැටි, දෙබස් හා සංවාද කථන, සංක්ෂිප්තව ලිවීම් සහ විස්තර කළ යුතු තැන් ආදිය ගැන ඇය දැනුවත්. එක ම පොතේ එක ම පරිච්ඡේදය ඇතුළෙ විවිධ රස භාව වැඩෙනවා. එක් සටහනක් කියවලා කඳුළු පිරුණු දෑසින් ම, තව සටහනක් කියවල සතුටුවෙන්න පුලුවන්.
ඒවගේ ම, ඇයට තමන්ගෙ ම මතයක්, දැක්මක් තියෙන බවත්, එය කිවයුතු විදිය ගැන වැටහීමක් තිබෙන බවත් පැහැදිලියි.
'Motherhood is a choice ! මාතෲත්වය යනු ස්ව කැමැත්තකි' (සායනික සටහන් නොවේ)
වෛද්ය බෝධිනී සමරතුංග, උතුරේ රෝහල්වල සේවය කරන කාලයේ ලැබූ අත්දැකීම් පොත සමබර කරනවා. කඳවුරුවල සෞඛ්ය පහසුකම් නොමැතිවීම්, මිනිසුන් විඳි දුක්වේදනා, බිම් බෝම්බ, අනතුරු ඇඟවීම් ආදිය එක්ක යුද්ධය ගැන හීරෙන මතක අහුරක් ඇය අරන් එනවා. එක ම පසුබිමක ඉඳගෙන, ඒ විශයෙහි පැති කිහිපයක් ආවරණය වෙන විදියට ඇය ලියනවා. 2018 රැස තීරුවට ලිව්ව සටහනක අන්තිම වැකි දෙක මෙහෙමයි.
"දැන් අවුරුදු නමයකට කිට්ටුයි. ඒත් තාමත් වැළලුණු බිම්බෝම්බ බලාගෙන ඉන්නවා, පාදයක් නෙමෙයි ජීවිතයක් එනකම්"
මේ වැකියත් එක්ක ම මං මුහුණදුන් ඇත්ත ම පෞද්ගලික යමක් කියන්න ඉඩදෙන්න. ගිය සතියෙ බස් රථයේ ඉඳගෙන මේ පොත කියවමින් ගමනක් යද්දි, පෙරළිලා තිබුණේ 'බිම්බෝම්බ'කියන පරිච්ඡේදයට. මට එහාපැත්තේ වුන්නු මහත්තයෙක්, පොතට එබිලා ඒ මාතෘකාව දැකලා එයාගෙ අත පෙන්නලා කිව්වා, 'මේ තියෙන්නෙ බිම්බෝම්වලින් මට ඉතුරුවුණු කැළැල් තමයි'කියල. බැලින්නම්, ඔහු ඒකාලෙ හමුදාවෙ සේවය කළ අයෙක්. දැන් තමන්ගෙ ම රැකියාවක් කරගෙන ඉන්න මැදිවියේ මහත්මයෙක්. බිම්බෝම්බ සහ යුද්ධය නිසා වුණු දේවල්, තමන්ගෙ මිතුරන්ට වුණුදේවල්, යුද්ධයෙන් පස්සෙ මානසිකව ගොඩ එන්න ඔවුන් කළ කී දේවල්, ආදිය ගැන ඔහු කියන්න ගත්තා. පොතේ කියවගෙන යන දෙයට ම ගැළපෙන දෙයක් එවෙලෙ ම මුණගැහුණු එක මටත් අමුතු අත්දැකීමක් වුණා.
ආයෙත් පොතට එමු.
'දරුවනි, යුද්ධ නොකරන්න. එහි වීරකමක් නැත...' (සායනික සටහන් නොවේ)
මේ වැකි දෙක, මාව ලියෝ තෝල්ස්තෝයිගේ 'යුද පෙරමුණක තෙමසක්' (සෙවෙස්තපෝල් සටහන්) වෙත අරගෙන ගියා. ක්රිමියානු යුද්ධයේ ඉදිරිපෙළ කාලතුවක්කු වෙඩික්කාරයෙකු වශයෙන් තරුණ අවධියේ රුසියානු භට කණ්ඩායම වෙනුවෙන් සේවය කළ තෝල්ස්තෝයි, ප්රංශ සහ රුසියානු හමුදා යුද පවත්වන සෙවෙස්තපෝල් නගර මධ්යයේ සිටිමින් රචනා කරන ලද සටහන්, මේ. පාලකයන් වෙනුවෙන්වත් බොරු වර්ණනා නැතිව ඔහු යුද්ධය ගැන ඇත්ත මෙහෙම ලියනවා.
‘ඔබට යුද්ධය දක්නට ලැබෙන්නේ සංගීතය හා රණබෙර මධ්යයේ ධජපතාක ලෙළ දෙන්නා වූද, සාඩම්බර ගමන් ඇති ජෙනරාල්වරුන්ද සහිත අලංකාර විචිත්ර ස්වරූපයෙන් නොව එහි සැබෑ ස්වරූපයෙනි. එනම් ලේ තුළිනි. වේදනාව තුළිනි. මරණය තුළිනි...’ (යුද පෙරමුණක තෙමසක්)
කතුවරිය ජීවිතය ඇතිවීමත් නැතිවීමත්, දුකත් සතුටත් යන දියදහම දැනහඳුනාගෙන ඉගෙනගන්නෙ රෝහලෙන්. මේ වචනවලින් අපි දකින බෝධිනීගේ උපේක්ෂාව, මැදහත්බව, අවබෝධය සහ 'මෝරන වීකරල නැමෙයි බර වැඩිවෙන කල'ගුණය ඈ රෝහල් ජීවිතයෙන් ම ප්රගුණ කරන්නට ඇතැයි සිතනවා. ඇගේ වචනයට ම ඉඩ දීලා මම මේ සටහන නිමාකරනවා.
"රුක්මනී අම්මාගේ ජීවිතයක වෙහෙස එසේ නිමා විය. නැවත වාට්ටුවට යද්දී නව ජන්ම වාට්ටුවෙන් ඇසෙන්නේ අලුත උපන් බිළිඳුන්ගේ හැඬුම් ය. රෝහල යනු ලෝක ධර්මතාව කැටිකර පෙන්වන ජීවන තක්සලාවකි"
• ඩිල්ශානි චතුරිකා දාබරේ

photo credit - Dilshani Chathurika Dabare

චේරන් ලියූ සලාද දවස්

$
0
0

Salad days by Cheran Rudramoorthy හෙවත් දකුණ නොදත් උතුරේ කතාව !

මගේදෑස් බොඳවී කල්පනා ලෝකයක අතරමං කරවූ මා දින ගණනක් පුරා කියවන ලද Salad days නම් පරිච්ච්ජේදය ගැන මගේ අදහස් මෙසේ එකතු කර ලියමි. තම තමන්ගේ පක්ෂග්රාහී බව එක්ක, biases එක්ක මේ ලියැවිල්ල ඕනේ ආකාරයකට කියවා ගන්න !
“ඔහුට කරදර කරන්න එපා ඔහු අපේ උප කතෘ…” ප්රධාන කතෘ එසේ පවසද්දී එහෙත් ඔහුව හමුදා අත් අඩංගුවට පත් වෙනවා. ඒ Saturday Review නම් ඉංග්රීසි පුවත්පතේ සේවය කරද්දී. මේ කාර්යාලය තියෙන්නෙ යාපනේ.
උතුරට යන්නෙ මම යුද්ධෙ ඉවර වුනායින් පස්සේ… ඒක මගේ තෝරාගැනීමක් ! ඒත් මම උතුරට ගියායින් තමයි තේරුණේ, චේරන් ගේ කතන්දරය තුළ මට හමුවෙන උතුර මට කිසිදා මුණ නොගැසුණු උතුර බව. මම කලින් ලියා තැබුවා ඔබට මතක ඇති 83 ඇසල කළුවර මිටින් ගෙන ඉපැදුණු හැදී වැඩුණු අපේ පරපුරට ඒ බිහිසුණු කාලයේ අත් දැකීම් ගැන කිසිඳු මතකයක් නොමැති බව. අප දැනගෙන හිටියේ පෙරා තෝරා කියූ ලියූ දේවල් බව වැටහෙන්නෙ බොහෝ කල් ගත වූ පසු ය. කොටින්ම අන්තර්ජාලය පවා පාවිච්චි කරන්නේ යුරෝපීය රටක ඉගෙන ගනිද්දීය. මේ තොරතුරු සන්නිවේදනය නොවිමේ අවුල තාක්ෂණය මේ තරම් නොදියුණු දුර්වල අවධිවල බොහෝ සෙයින් පැවතුනා.
එකම රටේ දෙපැත්තක් ගැන 83 වර්ගවාදී කලබල ගැන එහෙම මතකයන් නැති නිසා අන්තවාදී නොවී මෙහෙම ලියන්න පුළුවන් බවත් එක් වැඩිහිටියෙක් මා සමඟ තර්ක කළා. හැබැයි ඊට වඩා සුදුසු උත්තරය නම්, කිසිදා නොදුටු උතුරක් ගැන ලියනවාට වඩා, උතුර ඒ ලෙසින් එහි ගොස් එහි ජීවත්වෙමින් දකින්න හැකි වුණු නිසා කියා කීවොත් නිවැරදියි. ඒ ලද පන්නරය නිසා වඩා විවෘත මනසකින් සියලු අන්ත දෙස දකින්න කියවන්න හැකි වුණා.
මේ කතා පුවත ගෙන එන්නෙ අසූව දශකයේ යාපන පුවත්පත් කාර්යාලයක සිදුවීම් සමග ගොඩ නැගුණු මතකයන් ය. ජූලි 83 මේ පුවත්පත නවතා දමන බවත් එය පටන් ගත් සිවනායගම් මහතාට සැඟවෙන්න සිදුවුණු බවත් කියැවේ. සමාජ අසාධාරණයට එරෙහිව හඬ නඟන සියල්ලන්ටම සිදුවන අකරතැබ්බ මධ්යයෙ වුවද යාපනයේ ඉතිරි වූ සිංහල ජාතික ගාමිණී නවරත්න එහි ප්රධාන කතෘ බවට පත් වේ.
සත්යවාදී වීම නිසාම මර්දනයට ලක් වෙන්න පෑනක් අත දැරීම පමණක් ඇතිය කියා සිතෙන්න තරම් අප ඇවිද ආ ඇති දැඩි වූ සමාජය නිදහස් සත්යවාදී මිනිසුන්ගේ ප්රයත්නයන් මළ සොහොන් බවට පත් කර තිබේ යැයි මට සිතේ.
ඔහුව නිදහස් කරද්දී කඳවුර පිහිටි යාපනය ප්රදේශයේම ඇඳිරි නීතිය පනවා තිබූ නිසා ඔහුව නැවත කාර්යාලය වෙත ඇරලවන්න හැකිදැයි ඇසූවිට නොහැකි බව කියන නිළදරුවා, ඔබට වෙඩි නොතියන්න යැයි මා උපදෙස් දෙන්නම් යැයි පවසයි.
පසු පස නොබලා මම දිව්වෙමි ! ඔහු ලියයි. ඔබේ පක්ෂග්රාහී බව අනුව දෙමළ විමුක්තිකාමීන් හෝ දමිල ත්රස්තවාදීන් යැයි හඳුන්වන පිරිස 83 ට පෙර සිටියේ අතේ ඇඟිලි ගණනට පමණ පිරිසකි. එහෙත් 83 ජූලි ජාතිවාදී කලබල සහ සංහාරයට පසු මේ ප්රමාණ බෙහෙවින් ඉහල ගිය බවත්, එවැනි විප්ලවවාදී කණ්ඩායම් තිස්පහක් පමණ ගොඩ නැගුණු බවත් අසල්වැසි රට තුළ පුහුණුව සහ උදව් ලැබුණු බවත් කියැවේ. එක පැත්තකින් ඔවුන්ගේ පහර දීම් වැඩි වෙද්දී අනෙක් පසින් රජයේ හමුදාවල ප්රහාරද පැවතිනි. මේ දෙක අතර හිරවූ වැසියන්ගේ මානසික තත්වය පිළිබඳ පසුව මා ඇසුවේ දුටුවේ උතුරේදී ය. එවැනිම වූ බියකින් කොයි වෙලේ බෝම්බ පුපුරාවි දැයි අගනුවර වැසියෝ බියෙන් සලිතව සිටිය අවදිය මගේ මතකය තුළ තිබේ.
Lions and tigers symbolize the majority Sinhalese and minority Tamils who have been ripping the country apart for sixteen years…
එසේ පසු පස නොබලා දිව ගිය කතානායකයා ද ප්රධාන කතෘ ගාමිණී ද ඉන්පසු නැවත ශනිදා විපරම පත්රයේ දිගටම වැඩ කළ අතර විටින් විට වාරණයේ අදිසි හස්තයේ ගිලටීනයටද නීතිමය ප්රශ්න වලටද හසුවු පුවත්පත වසා දමන්නට ආසන්න විය. සියලු ප්රකාශන අධීක්ෂණය සඳහා මුද්රනය කිරීමට ප්රථම අගනුවරට යවන්නට අවසර ගන්නට සිදුවූයෙන් මුද්රණය ප්රමාද විය. එංගලන්තයේ ඉගෙනුම ලැබූ ආරක්ෂක ඇමතිකෙනෙකුගේ බලපෑම සෘජුව දැනෙන්නට වූ බවත් එහි සඳහන් වේ. මෙවැනි වාරණ යටතේ… විවිධ ආකාරයේ මාතෘකා සහ පිට රටවල ප්රවෘත්ති ආකාරයෙන් මහ පොළොවේ යථාර්තය ලියා දැන්වීමට සිදුවූ බව මා කියවද්දී, වර්ථමානය දෙස නිතැතින් සිහි වේ. මා උතුරු කොන සිදුවීම් ලියන්නට පටන් ගත්තේද අනවර්ථ නමකිනි, රෝහල හැඳින්වුවේද අනිත් කොන ලෙසය.
ඔහු වෙල්වෙටිතුරෙයි මුහුදුබඩ ගමක සම්මුඛ සාකච්ඡාවක් ගනිද්දී පොළොව දෙදරුම් කමින් ප්රහාරයක් නිකුත් වූ වග ද සෙසු ගමේ පුරුෂයින් සමග ඔහු ඉන් ඉවත යා යුතු බවද පැවසූයෙන් ඔවුන් එම ගමෙන් ඉවත ගියේ, එසේ නැතිනම් අවුරුදු හතලිස් පහකට අඩු පිරිමි සියල්ලන් දිවයිනේ හතර දිග් බාගයේ කඳවුරුවලට යවන නිසා එසේ යැවුනොත් නැවත පැමිණීම අඩමාන නිසාය. එහිදී ඔහුට අත් විඳින්නට සිදුවූ සිදුවීම්, දකුණේ අප දැනගන්නේ නැත. සන්නිවේදනයේ අවුල විසින් අපේ ගොඩ සහ ඔවුන්ගේ ගොඩ වෙත මිනී ගොඩ ගැසෙනු ගණන් තැබුවා මිසක මේ මිනිස් සංහාරයන් ලියා තැබුවෙ නැත. ඉන් එහා කියවන්නෙ මා බොඳවූ දෙනෙතිනි.
මා කුඩා කළ ඉගෙන ගත් ඉතිහාස කථාවක සඳහන් වූ බව මතකයි පණ්ඩුකාභය කුමාරයා මරවන්න මාමාවරු, ඒ ගම් දනව් පුරා ඒ වයසැති පිරිමි දරුවන් මැරෙව්ව බව. යේසුස් ක්රිස්තුස් කතන්දරයේද එසේ එදින උපන් පිරිමි දරුවන් මැරවූ කතාවක් ඇසේ….අසූව දශකයේ උතුරු කොන වෙල්වෙටිතුරෙයි නම් ගමේදී එසේම අවුරුදු 45 ට අඩු සියලු පිරිමින් එක් රැස් කර…කඳවුරු ගත කළ බව කියනා මිනිසුන්, එසේ විසි හයක් පමණ වූ තරුණ පිරිසක් දෑත් බැඳ ගාල් කළ තැනක, පිපිරීමක් සිදුවූණු ඇසුණු පසු එහි ගිය ගම්වාසීන්ට සහ කතා නායකයාට, හකු හණු ඇස් මස් ලේ පිපිරී ගොස් ඉතිරි වුණු හඳුනාගත නොහැකි ශරීර කොටස් හමුවේ. ඒ අප නෑසු උතුර ය. හන්දියක් ගානේ තරුණ දරුවන් පිළිස්සුණ ටයර් සෑයවල දැවුණු හැටි එක්ක මේ එකම දේශයක දෙකොනක ලියැවුණු තරුණයින්ගේ මළගම නොවේද ? මම ඔහුගේ සලාද දවස් පරිච්ජේදයේ අකුරු අතර සිරවූ සිතිවිලි එකින් එක ලිහාගනිමි.
“අයියෝ ඔවුන් මගේ මල්ලී රැගෙන ගියා” තරුණයෙක් වැලපේ…..
“තම්බි කුට්ටි තම්බි කුට්ටි…” (මල්ලි පැටියා) කියමින් වැලපෙන අනිත් කොන පොතේ මා ලියූ ගීතාගේ වැලපුම් හඬ මගේ මතකය අවුස්සයි. මගේ මල්ලි මට අහිමි නොවුණු නිසා මට නොදැනුණු ඒ ශෝකය මේ හැමෝගේම කතා ඔස්සේ මට දැනෙන්නට පටන් ගනිද්දි ඒ සහ වේදනයේ පාඩම පසක් කරමි.
“අනිත් කොන කියවන එක නැවැත්තුවා. මගේ මල්ලි මට අහිමි වෙනවා මැවී පෙනුනා ගීතා එයාගේ මල්ලී සොයා විලාප දෙන හැටි කියෙව්වම…ඒ කඳුළු නවත්වන්නට බැරිම තැන හස්බන්ඩ් පොත හැංගුවා, ළමයා ලැබුනට පස්සේ කියවන්න කියලා” ගැබිණි සහෝදරියක් මා වෙත ලියා එවා තිබුණා.
නැතිවුණු සමීපතයින් මතක් කරමින් අද ද සුසුම් හෙළන වන්නියේ ඈත වැල්වෙටිතුරෙයි අම්මාද, සහෝදරයාද, දකුණේ තිස්සමහාරාමයේ අම්මාද සහෝදරියන්ද අදටත් රාමු කරගත් පින්තූර ඉස්සරහ මතක බණ පදයක් මුමුණනවා නොවෙද ? දකුණේ සැමරුම් වෙඩිමුර අසල තවමත් දරු සොයා ඒ සොවින් වැලපෙන උතුරේ අම්මලාගේ ඉකිබිඳුම් වැලපුම් වලට සහනයක් ලැබුනාද ?
කතා නායකයා තවත් ටිකක් දුර යන විට ඔහුට ගම්වාසීන් පිරිසක් මුණ ගැසේ. ඉන් පසු ඔවුන් හට මුණ ගැසෙන්නෙ, දෑත් බැඳ දැමූ යෞවනයින්ගේ පිපිරී හාත් පස විසිරුණු මළ කඳන් ගොන්නකි. කළින් ඇසුණු පිපුරුම් හඬ මෙය විය යුතුයැයි නිගමනය කරයි.
"රත්න රාජා අපේ ප්රවෘත්ති පත්රයේ යතුරු ලියන්නෙක් ඔහු එවන ලද ලිපියක් මට ඊළඟ දවසේ ලැබෙනවා “ මගේ පුතා හමුදා විසින් වෙඩි තබා මරා දමා තිබුනා එනිසා මට ලබන සතියේ එන්න වෙන්නෙ නෑ” (salad days)
ප්රවෘත්ති පල කරද්දී වාරණය කිරීමෙන් බේරෙන්නට ඔවුන් උත්ප්රාසය සහ හාස්ය රැගත් වදන් දවටා ලියන ආකාරය චේරන් මේ කතාව පුරා පැහැදිලි කරයි.
What better purpose for the writer than dedication to the cause of freedom ? To remain honest and to maintain moral and creative integrity under any circumstances is a difficult path. But I have no other - Cheran R. - Salad days
යතාර්ථය සහ වාරණය අතර දෝලනය වීම නම් වූ බිහිසුනු ලියවීම සමඟ, ගිලටීනයට හසු නොවී ලියන්නට දරපු උත්සහය සමග ඔහු උත්ප්රාසය සහ උපමාරූපක භාවිතය පිළිබඳව බහුස්රැත වූ බවක් පවසයි. අවසාන වශයෙන් ඔහු ලියන්නා සහ දේශපාලනික බලය අතර සම්බන්දය අතේ දුරින් පැවතිය යුතු බවද පවසයි. එකක අනිසි බලය විසින් අනෙක තුළ මහත් වූ ප්රතිවිපාක ඇති කරන බවද ලේඛකයකු හට ඇති ප්රධානම අභියෝගය මෙය අභිබවා යෑම බවද, ලියන්නෙකු සතු ප්රබලම ගුණයන් වන අවංකභාවය, ආචාරධර්ම අනුකූල වීම සහ නොසැලෙන නිර්මාණකරනය යන මේවා පවත්වා ගැනීම ඉතා අපහසු අසීරු කාර්යයක් වුවද එය කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව කියා ඔහු අප වෙත ගෙන එන පණිවිඩය ඉතා ප්රබලය !
මේ ගුණයන් සමග ලියැවිල්ලේ යෙදෙන ඒ නිසාම වාරණයට මර්ධනයට ලක්වෙන, හෝ එසේ වේ යැයි ස්වයං වාරණ දමාගෙන ලියන අයවලුන්ට ධෛර්යය ශක්තිය ලබා දෙන සුළුය.
උතුරේ වැඩ කළ, උතුරේ සිට ලියූ මාව දකුණේදී කතා කරවූ වේදිකා බොහොම අල්පයකි. අන්නාසි සහ කඩලගොටු සාහිත්ය උළෙල හෙවත් A&K literature festival එසේ දෙවරක්ම මා වෙනුවෙන් ඉඩ සැලසූ වේදිකාවකි. ලේඛක නාලක ගුණවර්ධනයන්ගේ ඇරයුමෙන් 2019 දී woman’s gaze ස්ත්රී දැහැන නමින් කතා කළ ඒ වේදිකාවේ උතුරට ගිය මමත්, උතුරු යුද්ධයෙන් තම අත පවා අහිමි වූ වෙටරි චෙල්විත්, එකම වේදිකාවක කතා කළෙමු.
ඇයි එහේ විතර ද ? ඇයි මෙහේ සිදුවූ දෑ මතක නැද්ද ? කියමින් දෙකොන අවුලන්න හදන හනුමන්තලා වෙත සත්යය පසක් වූයේ මෑතකදී ය. ඒ දකුණද එදා උතුර විඳි වාරණ, මර්දන සහ භීෂණය යළි අත්විඳින්නට ගත් පසු ය. එය කවදා කොතැනකදී ද කියා මා පහදා දිය යුතු නැතැයි සිතේ. උතුරට උදව් කළ යුතු යැයි කියු තමිල්නාඩුව වෙත, උදව් කරනවානම් රටටම උදව් කරන්න යැයි කියූ උතුරේ සංහිඳියා පාඩම අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හෝ අප ඉගෙන ගත යුතුමය. එසේ නොවන්නේ නම්, වහා ගිනි අවුලන සුළු වාතාවරණයන් හී ගිනි පුපුරු විසි කරගන්නා මිනිසුන් අවුලවන ගින්නෙන් පරපුරක්ම දැවී යා හැක.
ප්රති ත්රස්ත පණත යළි කරලියට පැමිණ තිබියදී මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට එකඟ වූ රටක් ලෙස එය එසේ ක්රියාත්මක වීම සුදුසු නොවන්නේ ඇයි දැයි අප සිතා බැලිය යුතුය. දැන් මෙහෙම නම් අපට ඒ කාලේ උන් හට කොහොම නම් අමාරු කාලයක් තිබුණා දැයි කල්පනා කර බැලිය යුතුමය.
මා උතුරු කොන ඊලාමයේ හදවත නම් ලද නගරයේ රෝහලේ වැඩ කරද්දී… එක් දිනෙක මහා විශාල කලබලයකි. හෙට විදෙස් ඇමති..සහ මේ මේ ඇමතිලා පැමිණෙන බවත් සාරි ඇඳිය යුතු බවත් පවසයි. අහෝ සාරියක් ! හොඳ වෙලාවට එකම එකක් ඇත. කඩතොලු මතුව තිබූ ඒ නමය මාර්ගයේ සිට රෝහලට දිවෙන දුඹුරු දූවිලි නැගෙන පාර කඩිමුඩියේ තාර වැටෙමින් අව් රශ්මියෙන් දිලිසෙන්නට විය. රෝහලට කලින් හදිසියේ ඇටවූ ලෑලි බිත්ති සහ ටකරං වහලෙන් සැදුම් ලත් අපේ නේවාසික කාමර වෙත ආවේ දහවල් ආහාරය ලබා ගන්නටය. ඒ පිටුපස තුරු සෙවනේ අප මෙන්ම දිවා ආහාරය බුදින පාරට තාර දැමූ, කැළෑව එළි පෙහෙළි කළ පිරිසකි.
“දැන් වීරයෝ බලුවෙලා බං, සිමෙන්ති අනනවා තාර පෙරනවා” ලෙසින් ඇසුණු කතා බහ අපේ හිත් අංශක 360ක් කැරකැව්වා. පසුගිය වසර කිහිපය යුද්ධය, යුද්ධය අවසානය සහ සංවර්ධනය රට ඇදගෙන ගිය දුර පිළිබඳ දකුණේ වැසියන්ට කදිමට අත් විඳින්නට සිදුවූ බව ලිවිය යුතුමය.
සෙනෙහසිනි...

මට මතකයි ... අවුරුදු කාලෙට

$
0
0

Down the memory lane

ගමක අවුරුදු නිවාඩුව ගත කළ පැටිවිය ගැන...
අතීත අහ්ලාදයන් එකට ගෙන ලියූ සටහන් කියවනු මැනවි.
(මීට දශක දෙකකට එහා මා යොවුන් වියේදී අන්තර්ජාලයේ තිබුණු වෙබ් අඩවියක් වෙනුවෙන් මේ කතා ලියා දුන්නේ.)
අවුරුද්දට ගමට යනවා...
ඉස්කෝලෙන් නිවාඩු ලැබුන ගමන් ඉතින් නුවර යන්න තමයි අපේ දැඟලිල්ල. දරුවෝ හැමෝම මහ ගෙදරට ඇවිත් අම්මා අප්පච්චී එක්ක අවුරුදු කාලෙ ගත කරන සිරිත අපේ ගෙවල්වල තිබුනා එනිසා අත්තම්මා ලොකු අත්තා ඇතුලූ සෙසු නෑදෑයෝ සමග අවුරුදු සමරන්න හැම අවුරුද්දකටම අපි ගමේ යනවාමයි. අපේ ගම කීවේ අප්පච්චිගේ ගම්පළාත වුණු මහනුවර, නැහිනිවෙල නම් සුන්දර ගම් පියසටයි. ඒ යන පාරෙ අතරමග පහුවෙන ගැටඹේ පන්සල ලඟදී පඩුරු දමන්න කවුරුත් අමතක කරන්නෙ නැහැ. කාර් බස් කෝක උනත් එතනදී නතර කරල වැඳලා පඩුරු දමනවා.
එක කාලෙක මහා ගං වතුරක් ඇතිවෙලා ගම් නියම් ගම් ඔක්කොම යටවෙලා, මේ බෝධි මළුව සහ පන්සල විතරක් යට නොවී බේරිල තියෙන්නෙ, ඉතින් මිනිස්සු අදත් එතනින් යද්දි වාහන නතර කරල පඩුරු දමලා අවසර ආරක්ෂාව පතන්න අමතක කරන්නේ නැහැ.
නුවර දළදා මාලිගාව ලඟින් යද්දී දොහොත් මුදුන් දීලා ඒ දිහාට වැඳලා තමයි යන්නේ, ඒ වගේම දිවුරුම් බෝධිය පන්සලත් පහු කරගෙන තමයි අපි ගමට යන්නේ, ඒ නම හැදුනේ, දුටු ගැමුණු රජතුමා යුද්ධෙට යද්දී රට බේරා ගන්ට දිවුරුම් දීලා තියෙන්නේ එතන නිසා, අත්තම්මාගෙන් නිතර අහන පුරාණ කතන්දර වල කියෑවුනේ, මෙහෙම කථාවක්, සුද්දා අපේ රට පාලනය කරද්දී, දළදා මාලිගාව සහ ඒ ආස්රිත සිරිත් ක්රියා හෙළා දැකපු නිළදාරීන් දන්ත ධාතූන් වහන් සේ තලා විනාශ කිරීමට නියෝග කලාලු, එතකොට ඒ අවස්ථාවේ ධාතූන් වහන් සේ අහසට නැගී අතුරුදහන් උනාලු, පසුව දන්ත ධාතූන් වහන් සේ දිවුරුම් බෝධියේ අතු අතර වැඩ සිටිනු සැදැහැවතියන් දුටුවාලු, අත්තම්මා කිව්වෙ එහෙමයි ඒකත් ජනප්රවාදයක්ද ඇත්තම ඇත්ත කථාවක්ද කියා හා ගිස්සන්න නම් ගියේ නෑ.
රුප්පේ නම් ලද ස්ථානය පහු වෙනකොටම අප්පච්චී හෝන් එක ගහනවා තුන් හතර සැරයක්, මොකද හෝන් එකේ සද්දේ මහ ගෙදරට රුප්පේ ලඟදී ඇහෙන නිසා. එතකොටලූ ලොකු අත්තාගේ මූණේ හිනාවක් මතුවෙන්නේ, අත්තම්මා ලොකු අත්තා ඇතුලූ හැමෝම එතකොට පුතාල එනවා කියලා දැන ගන්නවා.මොකද ඒ කාලෙ අපේ ගමට විදුලිය, දුරකථන පහසුකම් තිබුනේ නැහැ. මේක හැමදාම නොවරදවා කෙරුනු දෙයක්. රුප්පේ කියන ස්ථානය හා සම්බන්දව ඉතිහාස කථාවකුත් තියෙනවා.
රාජසිංහ රජතුමා (එහෙම තමයි මට දැන ගන්ට ලැබුනේ) ඔන්න ගම් නියම් ගම් වල සැරිසරන අතරේ ලොකු වැස්සක් ඇවිදින් ගං පිටාර ගලලා. රාසීහ රජතුමා, රුප්පේ හරියේ තියෙන ගහට නැගලා, උදව් ඉල්ලලා තියෙනවා. රුප්පෙ වංගුවෙන් පහල කඳු අතරේ නිම්නයේ පිහිටි ”වලක වගේ” ගම තමයි ලඟම තිබුනේ නමුත් කාටවත් ඇහිලා නැහැ. වැස්ස නිසා වෙන්ට ඇති, ඒත් ඊට එහායින් කන්දේ පිහිටි ගමේ මිනිස්සුන්ට ඇහිලා එයලා ඇවිත් රජ්ජුරුවන් බේරගෙන. රජතුමාට ඉතින් කේන්තියි අච්චර ලඟ තිබුනු ගමේ මිනිස්සු ආවෙ නැති එකට, ඉතිං රජ්ජුරුවෝ ඒ ගමට නෑහුණු වල කියල නම් තිබ්බලූ, අර ඇහිලා බේරගන්ට ආපු මිනිස්සුන්ගේ ගමට ඇහුණුගම කියලා නම් තිබ්බලූ
අන්තිමට ජන ව්යාවහාරය නිසා. නෑහුණුවල , නැහිනිවල උනා, අද වෙනකොට ඇහුණු ගම , ඇතුල්ගම කියලා හඳුන්වනවා. මේ මම අප්පච්චී, ලොකු අප්පච්චීගෙන් එහෙම අහගත්තු කථාන්දරය.. රුප්පේ වංගුවේ අර රජතුමා ගොඩවුනු ගහ කියලා එකක් අපිට පෙන්වනවා මතකයි.
එක පැත්තකින් හන්තාන කඳු වලල්ල පෙනෙනවා, තව පැත්තකින් ඌරාගල කන්ද පේනවා. ගම මැද්දෙන් ගලන තලාතුඔය මහවැලි ගඟ බලා ඇදෙනවා. වැහි කාලෙට තලාතුඔය පිටාර ගලනවා, එතකොට පාළමටත් උඩින් වතුර දමනවා.
ගමේ යද්දී, අප්පච්චී මග දකින හැම කෙනෙක්ටම වාහනේ නතර කරලා කථා කරන්න අමතක කරන්නේ නැහැ. මේක අපේ ගම්වල තියෙන හොඳ ගුණාංගයක්, කා එක්ක උනත, කට පුරා හිනාවෙලා, බෑරක්ද ආයිබෝං කියල අහන්නේ , හිතේ තියෙන ළෙංගතු කමටයි. තලාතුඔය පාළම පහුකරගෙන යද්දී, ඔය ලඟම දෙපැත්තේ වෙල් යාය, මේ දැනුත් මගේ මනසේ ඇඳෙනවා...
සිංහල අළුත් අවුරුදු ළං වෙද්දී හැම ගෙයක්ම කල එළි වෙනවා. ”දොළොස්මහක් ගෙවෙන දවසට ගෙදර දොර සිරියාවට තියෙන්නෙ ඕනෙ” කියලා අපේ අත්තම්මා කියනවා නිතරම.
ඔන්න ඉතිං අපි පොඩි කාලෙනම් අවුරුදු කැවිලි හදද්දී අපිට කුස්සිය පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ, මොකද ඒ කාලෙ කුස්සියේ දර ලිප් හදලා තිබ්බේ බිම, උදේට සීතලට ලිප ලඟ ගුලි ගැහැන්න අපි පොඩි එවුන් හැමෝම පොරකනවා එක වගේ. ඔය කැවිලි පෙවිලි හදන කරන වැඩ වලට උදව් වෙන්ට මට නොලැබුනත් කුස්සියට වෙලා ඕව ඔක්කොම බලාගෙන ඉන්නේ මම හරි ආසාවෙන්.
ගෙදරින් පිට වෙනම මැටි වලින් හැදූ සුදු හුණු පිරියම් කරපු ගේ පොඞ්ඩක් මහ නුවර පළාතේ බොහෝ ගෙවල් වල දකින්න ලැබෙනවා, මේකට අත්තම්මානම් කිව්වෙ මඩු ගේ කියලා. ඒකෙ පොළවටම සවි කරපු ලොකු ගල් වංගෙඩියක් , කුරහන් ගලක් එහෙම තියෙනවා. ඕං ඉතින් දැන් වගේ නෙමේ හාල්, මුං සේරම පිටි කරගන්නේ මේ කුරහන් ගලේ අඹරලා, වංගෙඩියෙන් කොටලා. මෝල් ගස් දෙකකින්, දෙන්නෙක් එක්වර හාල් පිටි කරද්දී, බලන් ඉන්න හරිම ලස්සනයි , අපිට වැඩිය මඩු ගෙට ඇතුල් වෙන්ට ලැබෙන්නේ නෑ, එළියේ දුව පැනලා ඇතුලට වැලි ගෙනෙනවා කියල. මඩු ගේ පිවිසුම වහන්න කුඩා ලී වැටක් හෙම තිබුනා අපි ඉතින් ඒ ලී වැටේ එල්ලිලා ඇතුලට එබිලා බලන් ඉන්නවා. මම ටිකක් ළමිස්සි කාලේ එද්දි එහෙම අත්තම්මා ලොකු අම්මා, ලොකු අක්කා පොඩි අක්කා එක්ක හරි හරියට, කුරහන් ගලේ මුං ඇට අඹරන්න, අත් මාරු කර කර වංගෙඩියේ හාල් පිටි කොටන්න උදව් වෙලා තියෙනවා.
පැණි වළලූ හදනවා බලං ඉන්න ලස්සනයි, පැණි මුට්ටිය පැත්තකින් තියාගෙන, උඳු පිටි වලින් හදා ගත්තු මිශ්රණය, බොත්තම් කාසියක් මසාගත්තු හතරැස් රෙදිකෑල්ලකට දාල එකෙන් හරි අපූරුවුට උතුරන තෙල් තාච්චියෙ වළලූ රටාවට වත්කරලා, ඊට පස්සෙ ඒව අරගෙන පැණි මුට්ටියේ ඔබනවා, එතකොට සූස් ගාල වළලූ ඇතුලට පැණි උරාගන්න සද්දේ ඇහෙන්ට ඕනෙ, ඕව මම කරල නම් නැහැ ඒත් අම්මා, අත්තම්මා ලොකු අම්මලා එකතු වෙලා හදනවා බලං ඉඳලා තියෙනවා. කොකිස් හදද්දිනම් ඉතින් අපෙන් ගැලවිල්ලක් නෑ, කොකිසක් ලැබෙන තුරු කුස්සිය හරියෙම ගැවසෙනවා, අන්තිමට අපේ කරච්චලෙන් ගැලවෙන්ට ඉතින් කොකිසක් දෙන්නම වෙනවා.
අතිරස, මුං කැවුම් , කොණ්ඩ කැවුම්,කොකිස් එක්ක වැලි තලප එහෙමත් හදන්නවා. අවුරුදු නැකතට කලින් නොනගතේට ඉතිං හැමදෙනාම පන්සල් යන්නත් අමතක කරන්නේ නැහැ. ලොකු කුඩා බේදයක් නැතිව සියල්ලෝම අළුත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩ වෙනව. අස්වනු කැපෙන කාලෙ නිසා අපේ ගම් පළාත්වල උදවියගේ අතමිටත් සරු සාරයි.
අපේ ගම් පලාතෙ නම් කැවිලි පෙවිලි හුවමාරු කරගන්නේ පරණ අවුරුද්ද දවසේ, අත්තම්මා කිව්වේ මේක ගොඩක් ආදි කාලෙ ඉඳන් පැවතෙන සිරිතක් කියල, එතකොට අවුරුද්දට කැවිලි පෙවිලි හදා ගන්ට බැරි උනු එහෙමත් නැත්නම් අග හිඟකම් නිසා, වැඩිය දෙයක් හදන්ට බැරි උනු ගෙදරකට උනත් අවුරුදු ලබද්දී අවුරුදු කෑම මේසෙට කැවිලි පෙවිලි අඩුවක් වෙන්නේ නැහැ, බලාගෙන ගියාම ඒක ඇත්තටම ගොඩක් හොඳ සිරිතක් කියලා මට හිතුනා.
නොනගතය වෙලාවට අපි හැමෝම පන්සල් යනවා. ආගමික වතාවත් වල යෙදෙනකොට සිත් සතන් පහන් වෙනවා, නිවෙනවා.

අවුරුදු ලබනකොට ගෙදර හැමදෙනාම එකතුවෙනවා අවුරුදු කෑම අනුභවයට, මට මතකයි ලොකු අත්තා පොල් තෙල් පහන පත්තු කරලා, කිරිබත් කැල්ලක් හැමොගෙම පිඟන් වලට බෙදනවා, ගෙදර හැමෝම එකතුවෙලා අර හදාපු කෑම රස කර කර කනවා මතක් වෙද්දී මේ ලියන ගමනුත් මගෙ කටට කෙළ උනනවා.
ගනු දෙනු කරන වෙලාවට තමයි අපි පුංචි ඈයෝ හුඟක්ම කැමති , බුලත් කොළ වල ඔතපු කාසිය බැගින් ලොකු අත්තා, අත්තම්මා ඇතුලූ ඔක්කොම වැඩිහිටියෝ අපිට දෙනවා, ඒ කාලෙ වැඩිපුරම ලබෙන්නේ රුපියල් පහේ කාසි තමයි, ඉතිං අපිට රටක් රාජ්ජයක් ලැබුනා වගේ, සල්ලි ටික බොහොම පරිස්සමෙන් කැටේකට දානවා එහෙම නැත්නම් අම්මට දෙනවා අරං තියන්න. ඒ වගේම හැමෝම වැඩිහිටියන්ට බුළත් දීල වඳ ආශිර්වාද ගන්නවා. කොයි ගෙදරට ගොඩ උනත් වැඩිහිටි සියල්ලන්ටම දණ නමා වඳින්න ගමේදි පුරුද්දක් තිබුනා. අප්පච්චි අපිව කොළඹ උස් මහත් කළත් ඒ ගති සිරිත් ඒ විදිහටම අපිට පුරුදු පුහුණු කරල තිබ්බේ.
මට මතකයි ගමේ ගියාම ඉතින් අපිට එක විනාඩියක් එකතැනක ඉන්ට ඉස්පාසුවක් නෑ. මහා විසාල අරලිය ගහේ අත්තක නොවරදවාම බඳින ඔන්චිල්ලාව පදින්න අපි ඔක්කොමලා පොර අල්ලනවා, ඉස්කෝලේ ඉගෙන ගත්තු ඔන්චිලි වාරම් කවිත් අත්තම්මා පොඩි නැන්දම්මා උගන්නපු ඒවත් කිය කියා ඔන්චිලි පදිනවා මට තවම මතකයි.
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට පුවක් කැලේ
නැන්දලාගෙ කොස් අත්තේ
එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්ට ලූණු නැත්තේ
ලූණු මිනිහා ගම නැත්තේ
ගම කොතැනද කටුබැද්දේ
ඔංචිලිචිලි චිල්ල මලේ
ඒ අරලියා ගහ ගොඩක් පරණ නිසා සවි ශක්තිමත්, ඒ ගහ මුදුනටමතකෙට නැගලා "රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි"කියනවත් මතකයි.
ඒ අතීතය හරිම සුන්දරයි මතක් කරගත්තාම සිත පුරා බොහොම සුපසන් හැඟුම් සමුදායක් ඇතිවෙනවා. ඒ කාලෙ හැම පවුලකම දරුවෝ හතර පස් දෙනෙක් උන්නා, අපේ අප්පච්චිටම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්, ඉතිං අවුරුදු කාලෙට මුළු ගෙදරම පිරෙනවා.
සෙල්ලම් කරන්න පංච දමන්න, ඔළිඳ කෙලින්න එහෙම කට්ටිය වැඩියි ඉතින් හොඳටෝම.
අපේ ගමේ නම් අවුරුදු උත්සවයක් නොවැරදීම ගමේ තරුණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. එදාට ඉතින් බාල මහළු සියලූම දෙනා පාළම අසල අවුරුද්ද වෙනුවෙන්ම සැකසුනු මඩුව වෙත ඇදෙන්නේ හිත පිරි සතුටෙන්, අපිත් ඉතින් පුළුවන් හැම තරෙඟටම ඉදිරිපත් වෙනවා. මට මතකයි ලොකු අක්කත් එක්ක ඉඳිකට්ටට නූල අමුණන තරෙඟන් මමයි අක්කයි තුන්වෙනි තැන දින්නා. වීදුරු හතරක් ලැබුනා, අනේ දෙක දෙක බෙදා ගත්තා අපි දෙන්නා අපිට ඒවා මහ මෙරක් වගේ ඒ කාලේ. කවුරුත් තරඟ වලට ඉදිරිපත් වෙන්නේ දිනන්නම බලාගෙන නොවේ විනෝදයටමයි.
ඒ කාලේ ගමක් තුල එකමුතුව සමගිය සමාදානය හොඳින් පැවතුනා, මගුලකට මරණෙකට එකතුවෙලා දුක සතුට බෙදා හදා ගන්න තරම් ළෙංගතුකමක් හැමෝගෙම හිත් වල තිබුනා. අළුත් අවුරුද්දට තරහ මරහ අත ඇරලා සියළු දෙනා එක්කම හොඳ හිත ඇති කරගන්න එක අපේ කම ඉස්මතු කරන්නක්. මට මතකයි, දැනුම් හැඳුනුම් බේදයක් නැතිව අවට සියලූ දෙනාත් සමගම අවුරුදු කැවිලි පෙවිලි බෙදා හදා ගැනීමත්, පෙර අමනාපකම් සියල්ල ලබන්නාවූ අළුත් අවුරුද්දේ්දී අමතක කරදමා සියල්ලන් හා සාමයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමත් අපේ පැරැණ්නනගේ මා දුටු හොඳ සිරිතක්.
ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.
උපුටා නැවත පල කරන්න එපා. මේ මගේ පුද්ගලික මතකයන් එසේ අවශ්ය නම් මා වෙත පණිවිඩයක් එවා අවසර ගන්න. බෙදා ගන්නේ නම් මේ පෝස්ට් එක share කරගන්න.
වෛද්ය බෝධිනි සමරතුංග
මේ ලස්සනම පින්තූරය මුහුණු පොතෙනි. නිර්මාණකරුවා වෙත ප්රණාමය !



"සරාජාත් බය ද මට ?"

$
0
0




(මනෝහරී ජයලත් මහත්මියගේ "කඩදොර"පොත කියවා ගැන මට දැනුන හිතුන දේ මෙලෙස ලියා තබනවා. My 2 cents about the masterpiece I recently read...කඩදොර written by Manohari Jayalath
Sorry that it's not a lit review but rather what I felt when I read this book.
I remembered Indu, Venkatesh (from anithkona) and all the beautiful children who didn't meet a "saraja" in their lives... )

කුඩා කෙල්ලක කාලයේ සිට වැඩිහිටි විය දක්වා විස්තාපනය වෙන යෞවනියකගේ ආත්ම කථනයක් ලෙස ගෙන එන මේ කතා පුවත කියවද්දී කොත්මලේ ජලාශය ඉදිවීම කියන ඒ සමාජ කාරණයට ඔබ්බෙන් දිවෙන සර්ව කාලීන ජීවන ඛේදාන්තයක නැවත නැවතත් හිතන්නට කාරණා අපමණ මතුවී දැනුනා. ඉතින් මම හිතුවා, මට මේ පොත දැනුන ආකාරය ලියන්නම ඕනෑ කියලා.

පොත කියවාගෙන යද්දී හිතේ ඇඳුනු හෝ මම උපකල්පනය කළ කතාවට හාත් පසින් වෙනස් මානයක් මේ කතාවෙන් පෙන්වන්න ලේඛිකාව සමත් වෙලා තිබෙනවා.
වැඩිහිටි - යෞවන මානව සම්බන්දතා ගැන බොහෝ ගැඹුරු කතිකාවක් ගෙනියන පොතක් වෙනස් පොතක් ලෙස මම මේ පොත දකිනවා. ඒ එක්කම මට
Alice in wonderland සිනමාපටයේ දෙබසක් මට මතක් වෙනවා.

Mad Hatter: “Have I gone mad?” (මට පිස්සු හැදිලද ?)

Alice : “I’m afraid so. You’re entirely bonkers. But I’ll tell you a secret. All the best people are.” (ඔව් මට හිතෙන්නෙ ඔබට හොඳටම පිස්සු කියලා, ඒත් මං රහසක් කියන්නද ? හොඳම මිනිස්සු සේරෝම එහෙම තමා”
(from Tim Burton’s 2010 ‘Alice in Wonderland’ movie)

කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා.මේ පොත පුරාම හිතේ මහා රික්තක නිසා දුක් විඳින ළමයින් වගේම වැඩුණු මිනිසුන්ගේ හිත් කියවාගන්න හැකි වුනා.
ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ ඔවුන්ගේ ජීවිතවල බොහෝ දෙදරීම් ඇති කරනවා. දරුවන්ට ඕනෑ ලෙස වැඩෙන්න නොහැකි සංස්කෘතික සම්බාදක එක්ක පවුලෙන් හෝ පාසැලෙන් සිදුවන බොහෝ අකටයුතුකම් දරාගෙන දරුවන් වැඩෙන්නේ තුවාල වූ හිත් එක්ක, රික්තක පිරුණු හිත් එක්ක ! එහෙම හිත් ගැන මේ පොතේ දිග හැරීම බොහොම හෙමින් සීරුවේ පරිස්සමට වියන ලද වියමනක් කියලයි මට හිතුනෙ. ඒකට හේතුව මේ පොතේ කතාව කියන්න පටන් ගන්නේ දැරියක් නිසයි.

සම්මතය හෝ පුරුදු පුහුණු කරනා ජීවන ක්රමයට එහා ලෝකය දකිනා නොගැලපෙන්නෝ, සිහින දකින්නෝ, හිතුවක්කාරයෝ සහ නිර්මාපකයෝ හෙවත් misfits, day dreamers, creators, wanderers, ලා මේ පොතේ හමුවෙනවා. ඔවුන් දරාගන්න සමාජයේ වැඩිහිටි චරිත පරිණත පුළුල් නිදහස් චින්තනයක් සහිත අය විය යුතුයි. එහෙත් සමාජයේ ඒ තරම් නිවහල් චින්තනයක් හෙබි වැඩිහිටියන් සිටී ද ? අධ්යාපන ක්රමය එවන් දරුවන් කෙරෙහි හිතකරද ? සංවේදී ද? නැත ! එවන් දරුවන් දිගින් දිගටම තලා පෙලා කොන් කර දමන, තේරුම් නොගන්නා විෂම ලෝකයක මනසින් රෝගී වූවන් සේ ජීවත් වීම මිසක ඔවුන් ට වැඩෙන්න ඉඩ දෙන්නට සමත් වේ නම් ඒ කලාතුරකින්. මිත්යාවන්ට වාරිත්රවලට ගැතිවී කොඳු කඩා බිඳ දමා ගොඩ නැගිය හැකි පරපුරක් නැතැයි වඩා පැහැදිලි වන්නේ වත්මන් පුරවැසියාගේ හැසිරීම දකිද්දී. තමාට අනන්ය වූ චින්තනයක්, නිදහස් විචාරශීලි චින්තනයක්, බොහෝ වෙනස් ලෙස සද්දෙට හිතන හිතක් හිමි දරුවන් නිහඬ කරවා බිඳ දමන්නේ වැඩිහිටි පරම්පරාවයි. එනිසා මෙය ඔබ කියවන්නේ නම් ඔබේ දැක්ම මෙන්ම රටේ දැක්ම ද පුරවැසියාගේ දැක්මද ඔබට තේරුම් ගත හැකිවනු ඇතැයි මට සිතෙනවා.

එක තැනක මෙන්න මෙහෙම කියනවා,
“සරාජා, සමහර ගුරුවරුන්ට පුළුවන් උන්මත්තකයෝ තනන්ඩ. එහෙම කරලා මානසික වෛද්ය වරුන්ට එක්ස්පෙරිමන්ට් කරන්ඩ අවස්ථාව සලසලා දෙන්ඩ පුළුවන්….”

ඉතා සරල වාක්ය දෙක තුනකින් ඇය මහා ලොකු කතන්දරයක් කියනවා. ඇයි ගුරුවරු විතරක්ද, ගෙවල් වලිනුත් ඒ දේ යස අගේට කරලා දෙනවා. මිනිසුන්ගේ මානසික අසමතුලිත බව නැති කරන්නට රසායනික ද්රව්ය හෙවත් බෙහෙත් අහුරකින් බැරි බවද , ඔවුන් ජීවත්වන අවට පරිසරයේ හිතකර බව කොයි තරම් ඉවහල් වෙනවාද කියන එකත් මේ කතාව කියවන් යද්දී නැවත නැවත මගේ හිතට මතක් කරනවා. විශාදය, මානසික අවපීඩනය ගැන කතා බහ අවශ්යම කාලයක රෝහල් ගත කළ පමණින් බෙහෙත් බිව්ව පමණින් මිනිසුන් සුවය ලබන්නේ නෑ. ඔවුන්ට ඔවුන් ජීවත්වෙන සමාජයෙන් නිවසෙන් අප්රමාණ ආදරය කරුණාව සහ සහයෝගය අවශ්යයි. ඒ ප්රබල කාරණා මේ පොත තුළින් නැවත නැවතත් මතක් කරනවා. මහා රික්තක එක්ක ජීවිතේ බිඳ වැටෙද්දී ඒවා විසඳා ගන්නේ කොහොමද කියන කුතුහලය දනවන ප්රශ්නයට උත්තර දැන බලා ගැනීම මේ පොත මතුවට කියවන අය වෙත ඉතිරි කරන්නවා.

මම කඩදොර පොත මිලදී ගන්නේ පොතේ කතා තේමාව හෝ අන්තර්ඝතය ගැන දැනගෙන නොව කතුවරියගේ ලිට්මස් කතා කියවා ඒ ලියන රටාවට ආසක්ත වූ නිසා. සුයිඩනේ කඩදොර එක්ක සම්බන්ද වෙන්නේ "රජ කොස් කෑම වී බිත්තර සමග"එක්කයි. ඔබ බලනවා ඇති මේ හරුපය මොකක්ද කියලා. ඔන්න ඔය වාක්ය තමා ජල විදුලිබල ව්යාපෘති උගන්වද්දී එක එක ජලාශ විදුලි බලාගාර හදන්න ලංකාවට ආධාර උපකාර දුන්නු රටවල් මතක් කරන මන්තරේ වුණේ. කොස් තමා මේ පොත කියවද්දී මතක් වුනේ. ඒ කියන්නේ කොත්මලේ හදන්නේ ස්වීඩනයෙන්. ඒ ගම්මානවල අය කීවේ සුයිඩනේ කියලාලු.

මේ පොත කියවද්දී තිස්පනේ සහ කඩදොර කඳු දෙක අතර වේල්ලක් බැඳලා රටේ ගෙවල් එළිය කරන්න විදුලිය උත්පාදනය කරගන්න ගෙන ගිය යෝද සැලැස්මවල් අතරේ ඉතා හීන් හඬින් ඇහුණු මිනිසුන්ගේ ජීවිතවල ඛේදවාචක සෑහෙන සැරට දැනෙන්න ගත්තා. ගෙයක් දොරක් තමන් ගොඩ නැගපු ජීවිතයම, පස් යට කරපු මී මුත්තාගේ සොහොන් ඉඳන් ඉඩ කඩම් ගස් වැල් සේරම අත් ඇරලා යන්න හිත හදාගන්නේ කොහොමද කියලා කල්පනා කළා. වැස්සක් නොවැටෙන නියං කාලයට මතුවන කඩදොර විහාරේ තොරණ පිළිමය විටින් විට හිතේ මැවුනා. “ඔයා දන්නවද යුරෝපයේ රටවල් මේවාට ආධාර උපකාර කළේ මේ නව සංවර්ධන යෝජනා ක්රම නිසා රට සුඛිත මුදිත වෙලා අම්බානෙක සංවර්ධිත වේවි කියන අරමුණු සහ ඉදිරි සැලසුම් එක්කලු. එහෙම කරලා බලද්දී රට තිබ්බට වඩා අවුල් වෙලා.” මේවා ගැන දන්නා සුමිතුරෙක් මං මේ පොත ගැන කියද්දී කීවේ, “අහෝ ඛේදයකි ඉරකි තිතකි” කියා ඒ කතාව අවසන් කරමින්.

මේ ආකාරයේ විපරිත වෙනස්කම් දරාගාත්තු මිනිසුන් ගැහැණුන් තමන් උපන් ගම්බිම් අතැර රටේ වෙනත් ප්රදේශ කරා ගෙන ගිය ව්යාපෘති රාශියක් ක්රියාත්මක වුණ බව මතකයට නැගෙනවා. වික්ටෝරියා ජලාශයට තෙල්දෙණිය යට වෙද්දී මහවැලි සි කලාපයේ උල්හිටිය පැත්තට පදිංචියට ගිය මගේ පිය පාර්ශවයේ නෑදෑයන් නිසා මට මේ සංසිද්ධි බොහොම ළඟින් දැනුනා.

කඩදොර නවකතාව කොත්මලේ ජලාශය ගොඩ නැගීමේ දී ඇති වුණු පාරසරික සහ සාමාජීය කාරණා මෙන්ම මේ සමාජයේ සියලු තැන් වල දකින්න අහන්න ලැබෙන සමාජ විෂමතා දරුවන්ගේ හැඟීම් නොතේරෙන මහා මිනිසුන් විසින් විසුණු කරන ලද ජීවිත පිළිබඳ තේරුම් කරවන මනා වියමනක් ලෙස ගොඩ නැගී ඇති අයුරු ප්රශංසනීය යි.
සංවර්ධනය නාමයෙන් සිදු කරන බොහෝ ව්යාපෘතිවල අවසානයේ ඉතිරි කරන ආර්ථික ඛේදවාචකය ද රටට හෙන ගැහුවත් මොකෝ අපිට වැඩක් වෙනවා නම් කියා හිතන තමන්ගේ මඩි තර කර ගැනීමේ පොරය ද මෙහි ඇතැම් විට මතු වේ. එහෙත් ප්රධාන කතා තේමාව ඇතුලේම ඒවා ප්රබන්ධයට එකතු කරගන්නා ආකාරය ඉතාම පරිස්සමෙන් සිහියෙන් ලියා තිබුණු අකුරු වියමන තුළින් පෙනුනා

"ජලාශේ එතරම් ජල කඳකින් පිරෙද්දි කොහොමද සරාජා හිස් තැන් හිටියේ... ඩෑම් එකට පේන්නේ මහජල කඳ විතරයි. ඒ ඇතුලේ අපේ කකියන හිස්තැන් තියෙන බව කවුරුත් විශ්වාස කරන එකක් නැහැ ඒ හිස්තැන් වතුරට වඩා බරයි...."

ඒ දැනෙන හිස්තැන් කොත්මලේ සපුමාලීට වගේම, මේ රටේ හතර දිග්භාගයේම ඉන්නා දරුවන්ට අප්‍රමාණව දැනෙනවා. මේ පොත දරුවන් සිටින මව්වරුන් පියවරුන් සහ පාසැල් ගුරුවරුන් කියවා ගන්නේ නම් වඩා හොඳයි කියා මට සිතෙනවා. ඉතින් දරුවන්ට තමන්ගේම අනන්ය වූ පෞර්ශයක් සහ චින්තනයක් එක්ක වැඩෙන්න නම් අවශ්ය වෙන්නෙ ඔවුන්ගේ හිතන පතන විදිහ, ඔවුන්ගේ ක්රමය තේරුම් ගත්තු වැඩිහිටි සමාජයක් ! ඒක තමා මට මේ පොතේ විශාලෙටම දැනුණු ප්රබල කාරණය. ඒ එක්කම සංවර්ධනයට මුවා වෙලා සිදුවන අනෙකුත් විප්රකාර ක්රියාකාරකම් ගැන හීනියට අත දිග ඇරලා ලියා තිබෙන ලියවිල්ල ඉස්තරම් බව කියව යුතුමයි.

සපුමාලීගේ සරාජා වගේ ඇලිස් දුටු විස්මලන්තයේ ඇලිස් ට හමුවුණු උමතු තොප්පි කාරයා වගේ වැටෙන්න යන මොහොතවල් අල්ලාගෙන නැගිටුවන අය නිතර හමු නොවන ලෝකෙක, බොහොම පරිස්සම් ගමනක් යා යුතු බව මේ ලියන මමවත් මගේ යෞවන කාලයේ දැනන් හිටියේ නෑ. තමන්ගේ හිතුවක්කාර හැඩය ඉටිවගේ උණු කරගෙන සමාජයෙන් හදා දෙන අච්චුවකට බලෙන් ඇද දමා ඒ ඒ නියම කරන හැඩයෙන් ඉන්පස්සේ ජීවිත කාලෙම, දුර්වල, අඳුරු වූ ප්රතිභාව රහිත වූ ඔත්පල වූ මනසක් එක්ක ඔහේ ජීවත් වෙන්න මේ සමාජ ක්රමය තුළ අධ්යාපන ක්රමය තුළ සිද්ධවෙනවා නොවේ ද ? කියලා ආයේ ආයෙම මේ පොත කියවද්දී මට සිහියට නැගෙනවා.

“එකම රහස ඇලිස් !… තමන්ගේ හදවතට සිනා ගෙනෙන මිනිසුන් තමන් වටේ රඳවා ගැනීමයි….” කියා උමතු තොප්පිකාරයා, ඇලිස් දුටු විස්මලන්තය පොතෙන් එබිලා ආයෙත් මට මතක් කරනවා (Mad hatter ,'The secret, Alice, is to surround yourself with people who make your heart smile. Alice in wonderland, Lewis Carrol)

පොතේ දෙබස් හෝ සිදුවීම් එකින් එක විග්රහ කරමින් නොලීවේ එයින් පොත මතුවට කියවන පාඨකයන්ට අවැඩක් කෙරෙන නිසා.

මේ හිතට හොඳටෝම දැනුනු වෙනස්ම ආමන්ත්‍රනයක් සහ ආකෘතියක් සහිත පොතක් ! මේ පොත රචනා කළ මනෝහරී ජයලත් ආදරණීය කතුවරියට තවත් මෙවැනි නිතර කතාබහට ලක් නොවන සමාජ කාරණා කතා කරන, මිනිසුන්ගේ හිත්වල පොඩි පොඩි එළි දල්වන කතන්දර ලියන්නට දිරිය ශක්තිය ලැබේවා ! කියා හද පත්ලෙන්ම නැගෙන සුභාෂිංසන එකතු කරනවා.

කතෘ - මනෝහරී ජයලත්
ප්රකාශනය - විදර්ශන ප්රකාශන

- වෛද්‍ය බෝධිනී සමරතුංග 
Viewing all 239 articles
Browse latest View live