Quantcast
Channel: අනිත් කොන - a doctor's heart sutra
Viewing all 239 articles
Browse latest View live

තෝරාගැනීම් !

$
0
0

අනෝජා (අනවර්ථ නමකි) බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා.

අනෝජා හිටියේ අපිට පේන මානේ ඇඳක. ඒ දවස් වල මම වාට්ටුවේ වැඩ ඉවර කරලා මොකක් හරි බරසාර පොතක් කියවනවා. බොහෝ විට වෛද්‍ය විද්‍යාව සම්බන්ද පොතක්. අපිට එහෙම පොත් ගොන්නක්ම මිතුරෙක් ගෙනත් දුන්නා ඉස්සරහට එන එක්සෑම් වලට පාඩම් කරන්න කියලා.

"ඩොක්ටර් ඉංග්‍රීසියෙන්ද කියවන්නේ"අනෝජා එක වෙලාවක ඇහුවා.
"ඔව් අපිට ලියන්නත් කියවන්නත් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්"මම පැහැදිලි කළා.
"මට අමාරුම ඉංග්‍රීසි"අනෝජා කීවේ මූණ ඇද කරමින්.
"ඒක ඇත්ත මට ඕක හිතාගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමත් අපිට උගන්වන පොත පත නම් ස්ටෑන්ඩර්ඩ් මදි... ඊටත් වඩා ගුරු හිඟයත් තියෙනවානේ"ඒ එක්කම මම ඒ කාලේ දැක්කා එයාලගේ සිලබස් වෙනස් විත්තිය.
"ඒත් අනෝජා ඔයා දන්නවද මම පිටරට ඉගෙනගත් කාලේ පළමු ඉංග්‍රීසියෙන් තිබ්බ ලෙක්චර් එකට ගිහින් එළියට ඇවිත් ඇඬුවා" 
දෑස් විසල් කරමින් ඈ මදෙස බලයි.
"මොකද සුද්දොත් කතා කරන්නේ ඇක්සන්ට් එකකට... අපිට ඒ ඇක්සන්ට් එක තේරෙන්න කාලයක් ගියා. මං ඒ ඇහෙන විදියටම ලියාගෙන ගෙදර ඇවිත් වචන හොයා ගත්තා. අමාරු නෑ එහෙම ඉගෙන ගනිද්දී...ඩික්ශනරියක් පාවිච්චි කරන්න. අපි පොඩි කාලේ ඉංග්‍රිසි ටීවී චැනල් එහෙම බලන්න තිබ්බේ නෑ." 

ඔහොම ඉන්න අතරේ අනෝජා කියනවා පොඩි කාලේ කොයි තරම් අමාරුවෙන්ද පාඩම් කරේ කියලත්.
සමහර දවසට ගෙවල් අත ඇරලා කොහේ හරි නෑයෝ ඉන්න දිහාක ගිහින් එද්දී සති ගණන් පාසැල් පැවැත්වුනේ නැතිලු. අනෝජා ගේ අක්කා සංවිධානෙට බැඳුන නිසා ගෙදර අනික් කුඩා වුන්ට ඉන්න දීලා තිබුනා. 
"ඩොක්ටර් ඔයා කොහොමද ගෙදර නැතුව ඉන්නේ"අනෝජා කැඩිච්ච සිංහලෙන් අහනවා.

"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. Its a choice anoja, we just have no other option but to live with our choices" 

"ඒමද..."අනෝජා බර කල්පනාවක ආයෙමත්.

"ඩොක්ටර් ඒ තෝරා ගැනීම හොඳ ද?"අනෝජා ඉංග්‍රිසියෙන් අහනවා.

"I dont know dear. I just love what I do thats all that matters"මම ඇයට උත්තර දෙනවා ඉංග්‍රීසියෙන්. එහි තේරුම "මම දන්නෙ නෑ දරුවා, මම කරන දේ කැමැත්තෙන් කරනවා ඒක තමයි වැදගත් !"

මට මේ කුඩා ගැහැණු දරුවන්ගේ කතා මතක් වුණේ මෑතකදී මට මුහුණ දෙන්නට සිදුවුණු සිදුවීම් මාලාවක් නිසා. මිනිස්සු කොයි තරම් නම් තමන්ගේ ආසාවල් සහ කැමැත්තවල් නිසා අනුන් පෙළනවාද කියා මම අත් දුටුවා. ඉතින් මේ මතකයන් අළුත් කරන්නට හිතුනා.

බ්ලොග් ලියමන අමතක කරේ නැති වුනත් රැස පුවත් පතේ ලියන "සායනික සටහන් නොවේ"තීරුව ලියන්න සිදුවෙන නිසා ලියන්න ගත කරන කුඩා කාලය ඒ වෙනුවෙන් යොදවන්න සිදුවුණා.

ඒ ගැන ඇත්තෙ සුපහන් සිතුවිලි සමුදායක් ! 

මීට බොහෝ කලක සිට අපි ලියන ඒවා ඇස ගැටුණු පත්තර මිතුරන් නිසා ඒවා පුවත් පත් වල පල වුණා. නමුත් රැස පුවත් පත පටන් ගත් කාලයේ පටන් එහි තීරුවක් ලියන්න යැයි ආරාධනා කරමින් මට නිරතුරු මතක් කිරීම් එවමින් මංජුල සමරසිංහ මල්ලී මා ලවා කෙසේ හෝ තීරුව ලියවා ගත්තා. ටිකෙන් ටික පාඨක ප්‍රතිචාර සුබාශිංසන සමග වචන 650 හේ තීරු අවුරුදු දෙකක්ම පුවත්පත නවත්වනකම්ම ලීවා. මේ දවස්වල පස් තාච්චි පෙරළන්න ඉගෙන ගන්න නිසා, බ්ලොග් ලියන්න වෙලාවක් වෙන්කරගන්නවා හිතලාම.

ජීවිතය යනු තෝරාගැනීම් රොත්තක් ! ඇතැම් තෝරාගැනීම් හිතකරවූ ඒවා, ඇතැම් තෝරාගැනීම් ජීවිතේට අවාසනාව ගෙන ආවා. හැබැයි පාඩම් ඉගෙන ගත්තා. ඉදිරියේ වෙන්න තිබුණු විනාශ වැළැකුවා. එනිසා අවසානයේ ජීවිතයේ බොහෝ තෝරා ගැනීම් ගැන ලියන්නට ඇත්තේ ද මා අනෝජාට කී දෙයම ය.
"මම කරන දේ කැමැත්තෙන් කරනවා එයයි වැදගත් !"
,,📷 දුක, සතුට බෙදා ගත් උතුරු කොන වැව් ඉවුර. 2010 දී....


ඒත් එයා මෙච්චර වෙලා ලිව්වේ මොනවාද ?

$
0
0
ප්‍රාඩ විලී

සායනික සටහන් නොවේ - මේ ජීවිත සටහන් ගොන්නකි කියලා අනිත් කොන බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 දී.... ලේක් හවුස් රැස පුවත් පතට  ලිපියක් ලියන්න කියලා ආපු ඉල්ලීමත් එක්ක, තිරුවටත් බ්ලොග් එකේ ලීව "සායනික සටහන් නොවේ"කියන නම ගැලපෙනවා කිව්වේ, කසුන් පුස්සේවෙල මල්ලි.   අවුරුදු දෙකක් ලියපු පුවත්පත් තීරු ලිපි තමා 2019 දී සායනික සටහන් නොවේ කියලා grantha.lk ග්‍රන්ථ ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කළේ. පොතේ එහෙම කතා 60ක් තියෙනවා
දැන් ඒ පොතේ තෙවන මුද්‍රණය යන්නේ....
පොතේ නැති කතා ගොන්නක් අතේ ඉතුරුවෙලා තියෙන නිසා බ්ලොග් එකේ දාන්න හිතුවා.
ප්‍රාඩ විලී ගැන ඔබ අහලා තියෙනවද ?

සුදු කෝට් එකත් දමාගෙන නළාවත් බෙල්ල වටේ දමාගෙන බොහොම ආසාවෙන් සායනික අධ්‍යාපනය පටන් ගත්ත තුන්වෙනි අවුරුද්ද අමතක නොවේ. බොහෝ රෝගාබාද ගැන ඒවෙද්දිත් පොත පතෙන් කියවා ඇතැම්විට ඒවායේ මූලබීජ හේතුසාධක සහිතව හඳුනාගත් නමුත් අපි වෛද්‍යවරු කරන වැඩ කරමින් සැබැවින්ම වෛද්‍ය අධ්‍යාපනයට පිවිසුනා වගේ දැනෙන්න ගන්නේ ඔය කාලයේ. බොහෝ විට සති කිහිපයක් පුරා එක එක වාට්ටු සහ අංශවල මහාචාර්ය ඒකකවල අධ්‍යාපනය ලබන්නට සිදුවුනි.
ළමා රෝහලේ මහාචාර්ය ඒකකය වෙත ගිය අප සියල්ලෝම, දෙතුන්දෙනාගේ කණ්ඩායම් සාදා රෝගී දරුවන්ගේ ඇඳ අංක බෙදා දුනි. 
ඇඳ සොයාගෙන ගිය මට දකින්න ලැබුනේ ජනේලෙන් එපිට පෙනෙන කුඩා උද්‍යානය දෙස බලාගෙන සිටිනා ස්ථුල දැරියකි. අසල කවුරුත් නොරැඳීමට හේතුව ලෙස අනාථ ළමා නිවාසයක සිටින දැරියක බව හෙදිය අප හා කීවාය. 
"ලේසි නෑ කතා කරන්න නම් ඒත් ට්‍රයි කරලා බලන්න"කියමින් ඇයගේ සායනික සටහන් ගොනුව අප අසලින් රැගෙන ගියාය. 

අප දුටු සැනින් සිනහ වූ ඇයට අප හා කතා කරන්නට හැකි දැයි ඇසූ විට කතා කරන්න අපහසු බව කට පෙන්වමින් අභිනයෙන් පැවසූ ඇය මා අත තිබූ පෑන සහ පොත ඉල්ලා "ලියා දෙන්න දැ"යි අභිනයෙන් ඇසුවාය. 

බොහොම කැමැත්තෙන් ඇයට ඒවා දුන් අප දෙදෙන ඇගෙන් ප්‍රශ්න අහන්නට ගත් අතර සෑම ප්‍රශ්නයකටම පසු ඇය අපට අතින්, කථාව නවතන්නට සංඥා කර කොලයේ යමක් බොහොම වැර වීර් යයෙන් සටහන් කරන්නීය. නමුත් ඇය අප ඉදිරියේ හිඳගෙන ඉන්නා හැටියට ඇය ලියන්නේ කුමක්දැයි අපට නොපෙනේ.
ඔය ආකාරයෙන් අපට අසන්නට වුවමනා ප්‍රශ්න ඇසුවාට පසු ඇය ලියූ කොළය අපට දුන් අතර එහි වූයේ විවිධ හැඩයක් ගත් ඉංග්‍රිසි ආර් අකුරු පේළිගොඩකි. පිටුව පිරෙන්න ඇය ආර් R අකුරු ලියා තිබුණි. 
අප දෙස බලා පියකරු සිනහවක් පෑ දැරිය මේ බලා ඉන්නේ අප කියන්නේ කුමක්ද කියාය.
"හරිම ලස්සනයි "ඇය අගය කරමින් සුසුමන් හිතේ සඟවා කියූ මා ඇයට සමු දී,  වාට්ටුවෙන් පිටට දිව ගියේ හැඬුම් නතර නොවුන නිසා ය. අවුරුදු දහ හතරක් පමණ වන ඇය බුද්ධි හීන දැරියකි. ඇගේම ලෝකයක් තනාගෙන ජීවත් වෙන සිනාමුසුව සිටින මේ දැරියගැන දැනෙද්දි මා එළියේ පඩිපෙළමුල හිඳගෙන ගලායන කඳුළට ඉඩ හැරියාය. 

ඇයගේ ජෛව ලක්ෂන අනුව සින්ඩ්‍රෝම රෝගයක ලක්ෂන මතක් වේ. අප ඉගෙන ගනිමින් සිටියේ එවන් මිනිස් ජාන සැකැස්මේ අඩු පාඩු කම් නිසා ඇතිවන ජානමය ආබාධ ගැන ය. 
"ඇය ජීවිත කාලය මුලුල්ලේම මෙහෙමයි" , ඉතා ප්‍රියමනාප මුහුණක් සහිත මේ දැරිය දෙස බලාගෙන මම ද යෙහෙළියද විටින් විට ඒ ප්‍රශ්නය අසා ගත්තෙමු. 
Prader-Willi සහලක්ෂණය යනු ශරීරයේ බොහෝ ඉන්ද්‍රිය අවයවවලට බලපාන සංකීර්ණ ජානමය තත්වයකි. 15 වෙනි ක්‍රෝමසෝමයේ ඇතිවන ජාන අඩුවීමක් හෝ නොපිහිටීමක් නිසා ඇතිවන මෙම තත්වය ඉතා කළාතුරකින් ඇති වෙන්නකි. මෙම ක්‍රෝමසෝම 15 ජාන නොපිහිටීම මොළයේ හයිපොතැලමස් යන කොටසේ සැකැස්මට බලපාන බව සොයාගෙන ඇත. එහෙත් මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවම සොයාගෙන නැත. එය ප්‍රවේනිගතව උරුමවන රෝගී තත්ත්වයක් නොවන බවද පැවසේ.

ළදරු අවධියේදී, මෙම තත්වය දුර්වල මාංශ පේශි, දුර්වල බුද්ධි වර්ධනය සහ කායික වර්ධනය මගින් සංලක්ෂිත වේ. ළමා කාලයේ සිටම,මේ දරුවන්ට අධික ආහාර රුචියක් ඇති අතර, එය අධික ලෙස ආහාර ගැනීමට සහ තරබාරුකමට හේතු වේ. ප්‍රාඩර්-විලි සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට, විශේෂයෙන් තරබාරුකම ඇති අයට දියවැඩියාව ඇතිවේ. (දියවැඩියාවේ 2 වර්ගය - වඩාත් සුලභ ආකාරය වේ) අධි රුධිර පීඩනය අක්මාව සම්බන්ද රෝගාබාද සහ පිත්තාශයේ ගල් ඇතිවීම වැනි තත්ත්වයන්ට ද ගොදුරු විය හැක.

ප්‍රාඩ-විලි සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට බුද්ධිමය දුර්වලතා සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවේ. චර්යාත්මක ගැටළු බහුලව දක්නට ලැබේ. පාලනය කළ නොහැකි කෝපය, මුරණ්ඩුකම මොවුන් තුළින් දක්නට ලැබේ. මෙම තත්වයේ අතිරේක ලක්ෂණ අතර පටු නළල, ආමන්ඩ් හැඩැති ඇස් සහ ත්‍රිකෝණාකාර මුඛය වැනි සුවිශේෂී මුහුණේ ලක්ෂණ ඇතුළත් වේ; කෙටි උස; සහ කුඩා අත් සහ පාද. Prader-Willi සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට අසාමාන්‍ය ලෙස පැහැපත් සමක් සහ ලා පැහැති හිසකෙස් පිහිටිය හැක. මෙම ජානමය බලපෑමට ලක් වූ පිරිමින් සහ බලපෑමට ලක් වූ කාන්තාවන් හට ප්‍රජනනය සම්බන්ද ගැටළු ඇත. ඒ නොවැඩුණු ලිංගික ඉන්ද්‍රිය පිහිටීම නිසාය. වැඩිවිය පැමිණීම ප්‍රමාද වී හෝ අසම්පූර්ණ වන අතර බොහෝ බලපෑමට ලක්වූ පුද්ගලයන්ට දරුවන් ලැබීමට නොහැකි වේ (නිසරු).
විශේෂ අධ්‍යාපනික ක්‍රම මගින් ඔවුන් හට සමාජයේ ජීවත්වීම සඳහා උපකාර කළ හැක. එහෙත් එය අද සමාජයේ සිදුවෙනවාද යන්න සැක සහිතය. ඇයගේ මව්පියන් ඇය ළමා නිවාසයක අත හැර දමා සිටියහ. මෙවන් දරුවන්ට හිතකර පහසු සුරක්ෂිත පරිසරයක් එවන් නිවාසවල බොහෝවිට දකින්නට නැත්තේය. ඇය රැක බලා ගන්නට වෙනම කෙනෙක් නොමැත.  එදා වෛද්‍ය ශිෂ්‍ය අවධියේ මෙවන් සිදුවීම් හමුවේ අතිශය සංවේදී වූ අතර දුක දරාගන්නට නොහැකිව හඬා වැටෙන අපේ කඳුළු පිටතට නොපෙන්වා සිටින්නට කාලයක් ගත වෙද්දී හැකි විය.




මම බයිසිකලයක් !

$
0
0
උතුරේ රෝහලේ මා වැඩ කළ ප්‍රසව හා නාරිවේද ඒකකය තිබුනේ ප්‍රධාන බිල්ඩිමේ පිටිපස්සෙම කොටසේ. ඉතින් මම බයිසිකලයෙන්ම ඒ කොනටම ගිහින් පහළ කොරිඩෝවේ හෝ හෙවනක නවත්වා ලොක් එක එහෙම දාලා වාට්ටුවට යන්න උඩට නගින්නේ. එක දවසක් ඔහොම ගිහින් ආයේ පහළට ආවම බයිසිකලය නවත්වා ගිය තැන පේන්න නෑ. ඒ එක්කම මට පේනව ට්‍රැක්ටරයක් එතැන ඉඳන් ගේට්ටුව දිහාට යනවා. 
මට ටක් ගාලා හිතුනේ ලොක් කරපු බයිසිකලේ දාගෙන යනවා ඇති කියලා. 
හැම තැනම හොරු කියලා සමාජය විසින් හිමි කර තිබුණු දුෂ්ට සිතිවිලි ඉතින්. හැමෝම හොරුය කියා හිතන් හිටියට ඒක එහෙම නොවේ කියලා පෙන්නුම් කළේ එහෙමත් කෙනෙක්.

මම ඉතින් කෑ ගහනවා දෙමළෙන්...."මගේ බයිසිකලේ මගේ බහිසිකලේ'කියලා. ට්‍රැක්ටරේ කට්ටිය ට්‍රැක්ටරේ නවත්තන් හිනා වෙනවා.
ඒකේ මිනිස්සු දෙන්නා හිනා වෙවී කියනවා. 
"නෑ ඔයා බයිසිකලයක් නෙමේ "කියලා.

එතකොටයි මට තේරුනේ....
හදිසියට ට්‍රැක්ටරේ පස්සෙන් දුව දුවා දෙමළෙන් මම කෑ ගහලා තිබුනේ... "මගේ "වෙනුවට.. "මම බයිසිකලයක්"හෝව් හෝව් "මම බයිසිකලයක්"කියලා... 
මං හිතන්නේ රෝහලක් නිසා එයාලා හිතන්න ඇති මොකක් හරි මානසික ආබාධයක් සහිත කෙනෙක් කියලා... ඊට පස්සෙ ඉතින් ඒ ට්‍රැක්ටරේ නවත්වනකොටම දුවලා ගිහින් බැලුවා ඇතුල. වැලි වගයක් බාලා යන එකක්. 

 අපොයි ඉතින් ඒකේ බැලුවත් බයික් එක තිබුනේ නෑ, ගියදේ ගියාවේ කියලා බොහොම දුකෙන් මම එනකොට රෝහලේ ඕවර්සියර් ඉන්නවා හිනා වෙවී එතන. 
"ඩොක්ටර්ගේද බයිසිකලේ. අපි ඒක මෙතන ස්ටෝරු කාමරෙන් තිබ්බා. මේ හරිය පේන්ට් කරා . තීන්ත වදී කියලා. ඩොක්ටර්,  මම බයිසිකලේ කියලා කෑ ගහද්දී ඇවිත් බැලුවේ. අයියෝ සොරි "කියලා ඔහු කියමින් බයිසිකලය  ගෙනැවිත් දුන්නා. කවදාවත් ඉන් පස්සෙ නැති වුනේ නම් නෑ.

බයිසිකල් පැදීම ගැන මට ලොකු කතාවක් තියෙනවා. මං උතුරට ගිහින් ගත්තු ප්‍රථම සහ එකම වාහනය බයිසිකලයක් !මේක ගත්තේ බැනුම් අහගෙන ඊට කලින් ගන්න හැදුවට මැරෙන්නැතුව ඉන්න කියලා කීප දෙනෙක් දෝෂාරෝපණය කළ නිසා ඒක කරන්න බැරි වුණා.

මම උතුරු කොන පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය එහි ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය. 
එක පාරක් ඒ අදහස කියන්න ගිහින්  කිහිප දෙනෙක්ගෙන් බැනුම් අහගත්තා. "අපෝ දොස්තර නේද ? තත්වේ තියාගන්න දන්නැද්ද ? "කියලා

හැබැයි  මට හමුවෙනවා අපූරු, පොළවේ පය ගහලා ඉන්න, ස්ටේටස් මේන්ටේන් කරන්නේ නැති යහළුවෙක්. Timur Rahaman, එයාටත් තිබුනේ බයිසිකලයක්. ඉතින් රහමාන් එක්ක, මමයි, ෆර්හානායි ගිහින් ටවුමේ කඩ කීපයකම ඇවිදලා ලේඩීස් බයිසිකලයක් ගත්ත දවසේ තමා මේ ෆොටෝ එකත් ගත්තේ. 
📷


ඉතිරි ටික පොතේ තියන නිසා සහ කලින් ලියපු නිසා ලියන්නේ නෑ. 
මෙන්න ලින්ක් එක...

පෝෂ්‍යදායී ආහාර.... මේ අහන්නේ මොනවාද ?

$
0
0
"ඉතින් කොහොමද?
"සුවෙන්"යැයි පවසන
හීන් වෙන ඇස් සිනාවෙනයුරු දකිමින
"කෑම කාලා ආවාද ? 
හොඳ කෑම වේලක් ගත්තාද ?" 
සුපුරුදු ප්‍රශ්න එනෙන උන් විමසන

"ඔව් ඔව් දැන් පැයක් මං හොඳට කෑවා" 
වචන හංගා කී කතා ගංගා
කුලී වැඩ රස්සා නැතිව ගෙවනා කාලේ
පෝෂණ ආහාර ???
මේ අහන්නේ මොනවා නොතේරේ
බෝසත් මිනිස් දෙව් මුහුණූ අතරේ
කතා දහසක් හංගන සිනා හඬ පැතිරේ

රබර් අත් වැසුමෙන් සැරසුණු ඇඟිලි තුඩගින් 
නාඩි අල්ලා බලමි හද සර 
ප්‍රෙශර් මීටර් ඔතමින්
රළු අත්ල කරගැට නෙතින් අමදිමි
"අද මහන්සිවෙන බර වැඩ නෑනේද ? දුර ගමන් යන්නෑනේද ?
ලේ දුන්නට පස්සෙ නිදහසේ ඉන්න ඕනේ"සුපුරුදු අවවාද ගොන්නකි.. 

"දුර ගමන් කොහේ යන්නද ,
කොරෝනානේ ආයෙත් ඉතින් වැඩ නෑනේ
රස්සා නැතුව දැන් කාලයක් නෝනේ
ප්‍රෙශර් එක නෑ නේද මේ නරක කාලේ ?" 

සුසුම් නැගුනද මුව වැසුම් අස්සෙන්
කතා කරනා නෙත් දිහා බලමි... 

"පීඩනය නෝමල්, ප්‍රශ්නයක් නෑ දැන්,
ලේ දෙන්න පුළුවන්"අස්වැසුම් ගෙනදෙයි
හද ගැස්ම පීඩනය මැන බලන එනමුත් 
හිතේ පීඩන කන්ද අසු නොවෙයි කොහොමත් !

විටෙන් විට හිත දුකට තිරය වෙත එබෙමි... 
රට පුරා රුධිර බිඳු පිරෙනයුරු බලමි...
නිමක් නැති බොහෝ දුක් මතකයට හරිමි
රටක පණ රකින මිනිසුන් නමට වඳිමී...

වෛද්‍ය බෝධිනී සමරතුංග
1/11/2020 ලේ බැංකු මතක පොත

පොතක් කළ හරියක් !

$
0
0
රෝග දුක් මහ මෙරුව
නඟින ජන ගඟ සැර ය
හුදී ජන අරගල ය
හොයන්නේ සැප සුව ය

හුදෙකලා සටනක ය
වෙට්ටු කැපිලිත් සරු ය
යටින් දිවෙනා ගැටි ය
රජේ සේවේ හැටිය

බෙහෙත් කරනා අප ය
බෙහෙත් ගන්නා ඔබ ය
මැද දැනෙන හිස් තැන ය
පුරවන්න මේ තැත ය

මා සොයා ආ රැස ය
මටම දුන් තීරුව ය
පටන් ගෙන බෝ කල් ය
ලියන්නේ ඒ ගැන ය

දැන් වසර දෙකකුත් ය
පොතක් කරලා ඇති ය
රැගෙන කියවා සකිය
එවනු මැන ඔබෙ සවිය

බෝධිනී සමරතුංග 
2019

රැස පුවත්පතට 2018අවුරුද්දේ සිට ලියන සෞඛ්‍ය කතන්දර තීරුව දැන් පොතක් වෙලා. පොත උත්සව මොකුත් නැතුව පිට වුනා. දැන් අවුරුදු දෙකක්... තෙවන මුද්‍රණය. 
ප්‍රකාශනය - ග්‍රන්ථ.lk ආයතනය

දෙවන මුද්‍රණයේ ඉඳන් කතෘ භාගය එකතුවෙනවා අවශ්‍යම දෙකට දන් දෙන්න. පළමු මුද්‍රණයේ කතෘ භාගය වෙනුවෙන් පොත්ම ලබාගත්තා. 
පොත ගන්න හැකි තැන් බොහොම යි. සරසවි සූරිය, දයාවංශ සහ ග්‍රන්ථ එකෙන් නම් ඕනෙම තැනකට ගෙන්වාගන්න පහසුකම තියෙනවා.
www.grantha.lk

කොවිඩ් කතා 1

$
0
0
දරුවන්ගේ පණිවිඩ !
කොරෝනා කාලේ කතා - 1 

රුචිර මල්ලී එයාගේ කුඩා පුතනුවන් සහිරු, තමන්ගේ අත්තම්මා සීයා වෙත ලියූ ලිපියක් මට එවා තිබුණේ මේ ගැන ලියන්න කියන පණිවිඩයත් එක්ක. 

පහළ ෆොටෝ එකේ තියෙන්නේ ඒ අපූරු ලියුම..  සහිරු පුතා තමන්ට කාලෙකින් දකින්න හමුවෙන්න බැරි අත්තම්මා සීයා වෙත මෙහෙම ලියනවා 

"නිවාඩුවට එන්න ආසයි ඒත් covid-19 නිසා එන්න බැහැ. 
කොහේ හරි යනකොට, face mask දාගෙන යන්න" 

කොවිඩ් සමඟ ලෝකය බොහෝම දරුණු ආකාරයට වෙනස් වුණා. දරුවෝ එක්ක පරිස්සමෙන් ගෙවල් ඇතුලට වෙන්න ඔබට හැකි වුණත් එහෙම වෙලාව ගත කරන්න හැමෝටම හැකි වුණේ නෑ. 

බෙල්ජියමේ ඉන්න සංජී අක්කාගේ දරුවන් දෙදෙනා, Sarnath and Ahimsa ලියන අඳින දේවල් අපි වෙනුවෙන් එයා නිතරම බෙදා ගන්නවා. ඒ අය කොවිඩ් මර්ධනයේදී ඉදිරියෙන් ඉන්නා සෞඛ්‍ය සේවකයන් අගය කරනවා. හවස්වරුවේ ගෙදර දොර අද්දර ඉඳගෙන සිංදු කියමින් බටනළාව වයමින් ඔවුන් කොවිඩ් මර්ධනයේ ඉදිරියෙන් වැඩකරනා සෞඛ්‍ය සේවකයන්, ලෙඩවූ පිරිස් වෙනුවෙන් ආශිර්වාද කරනවා. ඒ අතරේ ඉස්කෝලේ පටන් ගන්නවා. එයාලාට  දෙපාරක් pcr පරීක්ෂණේ පවා කරන්න සිදුවෙනවා.

ඉතාලියේ ජනනි අක්කාගේ චූටි දුව මාස්ක් පැළඳ ඉස්කෝලේ යන හැටි ගැන අක්කා මට කතා එවනවා. රැක දෙන්න අපේ ලක් අම්මා යැයි එයා හරි ලස්සනය ගායනා කරනවා. මේ වෙලාවෙත් එයාලා තමන්ගේ මව් රට ගැන හිතනවා. ඉස්කෝලේ යන්න කලින් චූටි දූ මාස්ක් එකක් එයාගේ බෝනික්කට පැළැන්දූ පින්තූරයක් ජනනි අක්කා බෙදාගෙන තිබුණා. එයාලටත් පන්තියේ දරුවෝ ලෙඩ වෙන ගානේ pcr පරීක්ෂණ කරන්න වෙනවා. 

මගේ කුඩා දියණිය එයාගේ සෙල්ලම් යාළුවෝ ටික කුඩා සෙල්ලම් සින්ක් එකක් ඉදිරියේ පෙළගස්වනවා පරතරයක් ඇතිව. ඒ අත්සෝදලා ඇතුලට යන්න. පරක්කු වෙන අයට සැනිටයිසර් දෙන බව කියනවා. සමාජෙන් ලැබෙන ආභාශය ඒක.

මේ හැම දේටම මුහුණ දෙමින්, කියා දෙන දේ හරියට කරන හැටි දරුවෝ අපිට පෙන්වා දෙනවා. තත්තපර විස්සක් සබන් අතේ තියාගන්න කීවම ඒ විදිහටම අත් හෝදන, කිවිසුම් අරිද්දී වැලමිට තබා කිවිසුම් අරින දරුවෝ මම දකිනවා.
 මහ මිනිස්සු තත්පර දෙකෙන් අත සෝදන් දුවනකොට දරුවෝ එයාලට කියාදෙන දේ හරියටම කරනවා.
මේ අමුතු කාලයේ එයාලගේ පුංචි මනසට දරාගන්න බැරි තරම් දුක් කඳුළු හංගගෙන හිනා වෙනවා. 

අත්තම්මලාට ලොකුඅත්තලා මාමලා නැන්දලා භාරයේ තියලා දෙමාපියන් සේවය සඳහා පැමිණෙනවා. ගෙදර හැමෝම එක්ක ලොක් ඩවුන් වීමක් සෞඛ්‍ය සේවය වැනි අත්‍යාවශ්‍ය සේවාවලට අහිමි වෙනවා. 

දරුවෝ ලියන කියන අඳින දේවලින් මාස්ක් පැළඳ පරිස්සමෙන් ඉන්න කියන දේ තමා පණිවුඩ ලෙස ලියන්නේ. 

ඇතැම් ඉස්කෝලවලින් සතියේ දිනවල zoom වැනි තාක්ෂණික ක්‍රමවලින් පාඩම් කියා දෙනවා.ගෙදර මේසේ උඩ ලැප්ටොප් එකකින් ගුරුවරියන් කැපවීමෙන් උගන්වනවා. ඒත් වැඩට යා යුතු සෞඛ්‍ය සේවකයන්ගේ දරුවෝ ? මම ඒ මොහොතේ ගෙදර ඉන්න කාට හරි  කරදරයක් වෙලා මේ පංති අටවලා වැඩට එනවා. 

පාසැල් පරිසර, යහළුවන් හා සෙල්ලම කිරීම්.නැටුම් ගැයුම්, team work, මේ කිසිත් නැතිව දරුවෝ හුදෙකලාව තිරයක් මත අකුරු කියවනවා. දරුවොන්ගේ නිසි මනෝ සමාජීය වර්ධනයට මිනිස් අන්තර් ක්‍රියාකාරකම් කොච්චර වැදගත් ද ? ඒ සියල්ල අපි අකමැත්තෙන් හෝ අත හරිමින් ඉන්නවා. ඒ කොවිඩ් මාරයා ඊට වඩා දරුණු නිසා. 

හැම දරුවෙක්ටම තාක්ෂණික මෙවලම්, සැප පහසු ජීවිත නෑ. කොටින්ම බහුතරයක් දරුවෝ ජීවත්වෙන්නේ පැල්පත්වල. 

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ"
කියද්දී ,
"කමක් නෑ මම මෙහෙ ඉන්න ආසයි"කීව දරුවෝ මට මතක් වෙනවා. ඒ අය මේ මුරුගසන් වර්ෂාවේ ලෑලි ගෙදරක කාඩ්බෝඩ් ඇතිරූ පොළවක නිදනවා ඇති. 

පෝශ්‍යදායී ආහාර සිහිනයක් වුණු,කුලී වැඩ කරන අම්මලා තාත්තලාගේ දරුවෝ මොන තරම් අසරණ අනාරක්ෂිත තත්ත්ව යටතේ ජීවත් වුණා ද? දැන් ඊටත් වඩා අවුල් සහගත තත්ත්වයක ජීවත් වෙනවා ඇති නේද ? මානසික අසහනයට පත්වූ වැඩිහිටියන් එක්ක අනාරක්ෂිත පරිසරවල ප්‍රශ්නවලට මැදිහත් වෙන මේ දරුවො ගැන සොයා බලනවා ද ? 

පාසැලෙන් ලැබුණු අධ්‍යාපනය ගෙදර මෙවලමකින් නොලැබෙන ආර්ථික අපහසුතා ඇති දරිද්‍රතාවයෙන් බැටකන සමාජවල දරුවෝ මේ කොවිඩ් රැල්ලෙන් අසරණ වී ඇති අයුරු දකිද්දී හිත සසල වේ. 

"අම්මා ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක් වුනේ...
ඔයා වෙන වැඩක් කරන්නකෝ."  දුව මෑත දවසක මට කීවා. ගෙදරින් වැඩ කරන්න එළියට යන්නේ මා පමණක්ම නිසා වෙනත් රස්සාවක් කළා නම් අම්මා ගෙදර ඉඳීවි යැයි කියා මේ පුංචි සිතට සිතෙනවා ඇති. 

අම්මා තාත්‍තා ගෙදර එනකම් දරුවෝ බලන් ඉන්නවා. ඒත් ගෙදර එන අම්මා තාත්තා බොහෝ වෙහෙසකින් ඉන්නේ. කොවිඩ් කොයි මොහොතේ තමන් එක්ක ගෙදර ඒවිදැයි වරදකාරී හැඟීමකින් තමා ළඟට එන දරුවෝ වුණත් වැළඳගන්නේ. පොඩි දරුවෝ ඉන්න අය දරුවන්ට හොරෙන් එළියේ හෝ ඇතුල්වල තියන නානකාමරවලට රිංගාගන්නේ. එහෙම කරලා තමා ගෙදර යුද්ධෙට බහින්නේ. 

"වෙලාවකට අස් වෙලා ගෙදර ඉන්න හිතෙනවා."මේ මොහොතේ දරුවන් ගෙවල් කළමනාකරණය කරගන්න අප්‍රමාණ දුකක් විඳින සෞඛ්‍ය සේවයේ විවිධ අංශවල සේවය කරන අම්මලා මා හමුවේ කියනවා. 

වසූරිය, පෝලියෝ සරම්ප වගේ Covid -19 ඉවරෙටම ඉවර වෙන දවසක් එනකම් අපේ දරුවෝ මග බලමින් ඉන්නවා. 
"මම ලොකු වුණාම කොරෝනා නැති කරන්න බෙහෙතක් හොයා ගන්නවා"මගේ කුඩා දියණිය එහෙම පැවසුවාම මේ ලෝකේ අපි කොයි තරම් ෆේල් ද කියා මට හිතුනා. 

වෛද්‍ය බෝධිනී සමරතුංග

කසුරි

$
0
0
I used to collect poems written by Kasuri... since school days..He was one of the talented writers of our times.. May he attain nibbana !
ඊයේ හවස ඉර බහිනා හෝරාවේ
තරුමල් දෙකක් අහසේ පිපිලා තිබුනා
ඒ තරු එළිය යට ගී පද ලියනකොට
වලා පෙළක් විත් අහසම වට කෙරුවා
- තනි තරුවක් ඉඳහිට අඳුරේ පෙනුනා......

මගේ මතක තුල නිරන්තරයෙන් රැඳී තිබෙන කවි පද අතර කරුණාදාස සූරියාරච්චි මහතාගේ මේ කවි සංකල්පනා කොළමේ කවි බොහෝමයක් වෙත්. ගත්කරු, කාව්‍ය රචක, ප්‍රවීන මාධ්‍ය වේදී කරුණාදාස සූරියාරච්චි මහතා විසින් ඉරිදා නිම්නයට ලියූ, කුඩා කවි සංකල්පනා මම එකතු කරන්න පුරුදු වුනේ බොහෝ කුඩා කාලයේ සිට, පස්සෙ කාලෙක පාසැල් මැහුම් පොතේ අලවලා තිබ්බ මැහුම් ටික ඉවත් කරලා, කවි ටික කපලා ඇලෙව්වා. ඒ කවි සියල්ල ලියැවී තිබුනේ ජායාරූපයක් ඇසුරු කොටගෙන, ඒ පොත නිතර කියවන එක හරිම ආශ්වාදජනකයි. හිතන්නට හිත යොමු කරවන අපූර්ව කවි සංකල්පනා රැසක් ඒ අතර තියෙනවා. මේවා එකතුකරලා දුන්නේ ඉරිදා පත්තර නොවරදවා ගන්න නුවර ලොකු අක්කා.... 


ඉරිදා නිම්නයේ වටරවුම, තුලින් එතුමා කළ සමාජ සාධනයද අමතක කර නොහැකිය.
“හදවතට මුවා වෙන මතකයක්” “නෝමා සහ සෝමා”, “වැහි කඳුළ”, “වටරවුම”, “කසුරිගෙ කොලම”, “අපේ කාලයේ කුමාරිකාවකගේ කතාවක්”, “කන්ද පාමුල” සහ “වෑකන්දේ ගීතය” එතුමා විසින් රචිත පොත් සමහරකි.
”ලියන්නා කොච්චර කීවත් කියවන්නා ඒ සියල්ල තේරුම් ගන්නේ නැහැ. ඒක ලියන්නාගේ හෝ කියවන්නා ගේ වරදක් නෙවෙයි. දෙන්නගෙම වරදකුත් නෙමෙයි.
හැම විස්තරයකින්ම පස්සෙ පොඩි පටලැවිල්ලක් මතුවෙනවා. එහෙම පටලැවිල්ලක් ඉතිරි නොකරන සටහනකින් හෝ විස්තරයකින් ඇති වැඩකුත් නැහැ” එතුමා එක තැනක ලියා තිබුණා.

එගොඩ ගොඩේ ඉස්කෝලෙට යන කලට
වතූර කඩිත්තක් හමුවුනි අප සැමට
එගොඩ වෙන්ඩ වෙන මගකුත් නැති කලට
වතුර මැදින් පියමං කෙරුවයි ගොඩට

අකුරු උගෙන් පාසල හැර එන කලට
ගලන ගඟක් හමුවනු ඇත අපෙ පවට
සහතික මිටි ගණන් ඇති මුත් අප සැමට
තරණය කළ හැකිද ඒ ගඟ කිසිම විට

බලවන්තයෝ දත් පෙන්වති එගොඩ සිට
මැට්ටෝ පීන පීනා යති මෙගොඩ සිට
කිසිවිට නොහැක කඳුලැල්ලක පාවෙන්ට
ඒ දණ්ඩක් තනමු අත්වැල් එකතු කොට

~ කසුරි හෙවත් කරුණාදාස සූරියආරච්චි

උතුරු දකුණු අරගල...

$
0
0
පෙර මතක

ඔබ සිටිය යුතු තැන මෙතැන ය. 

ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර 10කට කිට්ටුය.එහෙත් ඒ මතක අද ඊයේ සිදුවුනාක් මෙන් සිත විටින් විට කොනිති ගසන්නේ දුම් රොටු පිටවෙන අඟුරු අවුස්සා අවුලුවන්නට තනන්නන් නිසා ය. සිදුවුනේ හරියටම හරි දේ ද වැරදි ද යනුවෙන් කොයි තරම් වාද කරත්, සිදු වූ දේ සිදුවී හමාර ය.

පශ්චාත් යුධ සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරියක් ලෙස ,මම හැම අතම කරක් ගැසුවෙමි. වාට්ටු තුළ කොටුවී සිටි මට, මනෝවෛද්‍ය ඒකකයේ කණ්ඩායම හා එක්වන්නට පුළුවන් වූයෙන්, ඊට එහා ගිය විශාල වැඩ කොටසකට දායක වීමට හැකි විය. පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු , මල්ලාවි, පූනගරී, පරන්තන්, නැදුන්කර්නි, මේ අප නිතර ආගිය තැන් විය. මැණික්ෆාම්, සෙට්ටිකුලම් ගිය හැටි, මන්නාරමේ , කිලිනොච්චියේ ළමා නිවාස වලට ගිය ගමන් හිතේ ඇති කළේ කිව නොහැකි තරම් දුක් ගොඩකි. ත්‍රස්තවාදය අප්‍රිය කිරීමට මට තවත් හේතු උවමනා නොවී ය. 

🌸අනිත්කොන, සායනික සටහන් නොවේ..යන කෘති මම ලීවෙමි
🌸වෛද්‍ය පැතුම් කර්නර් ලියූ යුදබිමක වෙද මහිම කෘතිය
🌸අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ "කරුණාකරන්ගේ මතක වන්නිය
🌸 තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය- තමිලිනී ජෙයක්කුමාරන් , පරිවර්තනය සාමිනාදන් විමල්
🌸අවුරුදු අටක් කොටි අත් අඩංගුවේ සිටි කොමදෝරු බෝයගොඩ කියූ the long watchඇසුරින් තීක්ෂණ සුරවීර ලියූ "දිගු කලක් සිටියා බලා"කෘතියද,
🌸අම්බල්වානර් සිවානන්දන් ලියූ when memory dies, කෘතියේ හෂිත අබේවර්ධන විසින් සිංහලට පරිවර්තිත - "මතක මිය ඇදෙන සඳ"කියවමින් සිටින්නෙමි. 

මේ සියල්ල අවසානයේ අවුරුදු ගණනාවක් වන්නියේ දුක දැරූ අපට කියන්නට කතාවක් තිබෙන බව කියන්නෙමි. ඒකතාව මේ පොත් හරහා ඔබ හමුවට පැමිණ ඇති බව කියන්නෙමි. මා කියන්නට යන දේ මේ උපුටා ගැනීම් අතරින් ඔබ සොයා ගන්න !

මා දැක්කේ සුනු විසුනු වූ වන්නියකි. පුරුද්දා පිළියම් කළ නොහැකි ලෙස කැඩී බිඳී ගිය සිත් ඇත්තන් සිටි වන්නියකි. එනමුත් මා එහෙන් එන කාලයේ මා දුටුවේ, ජීවත් වෙන්න හිත හදා ගත් වන්නියකි.

මම තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. 
පැවතුණු කරුම දේශපාලනයේ ඉත්තන් ව, එකම මිනිස් ජාතියක් බෙදී වෙන් වුන තැන් හිඩැස් හොඳින් දකින්න මේ පොතේ ලියැවිල්ල කදිම ය. තැන් දෙකකට වැටුණු ගිරවුන් දෙන්නා මෙන්, වන්නියේ ඔවුන්ද, දකුණේ අපද ජීවිත වෙනස් කරගෙන තිබුනේ එසේ ය. පවතින තත්වය තුල ඇයට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත. අපිද මේ මිනිස් ඝාතන හමුවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට වෛර කෙරුවෙමු හරි හෝ වැරදි හෝ සියල්ල අද අවසන් ව ඇත.

තමිලිනී වටහා ගත් සත්‍යය මෙසේ අප අතට පත් කළ එක ගැන, මේ තරමින් හෝ ලියා දැක්වීම ගැන මම ඇයට ස්තූති වන්ත වෙමි. ඇය පසු කාලයේ ජීවිතය වෙනස් කරගත් අන්දම ගැන , එය දරාගත් අන්දම, ඒ දිරිය ශක්තිය පුදුමය කි . ඇගේ කතාවෙන් පසුතැවීමක් මම නොදකිමි. හුදෙක් ජීවිත යුද්ධයේ, කරුම දේශපාලනයේ අරුමය පමණක් දකිමි. අප දුටුවේ අපේ පැත්තේ අහිමි වීම් ය. ඇය දුටුවේ ඇගේ පැත්තේ අහිමිවීම් ය.

"සෑම දෙයක්ම වෙනස් කිරීමට කාලය සතු දක්ෂතාව වෙන කිසිවකටත් නොමැත. කාලයේ එම ක්‍රීඩාව දෙස තියුණු ලෙසින් බලද්දී සියල්ලම පෙනෙන්නේ විසුළු සහගත ඒවා ලෙසින් ය. එයිනුත් යුද්ධය සිදුවූ ස්ථානල මෙම ස්වභාවය අධික ලෙසින් දකින්නට ලැබෙයි. යුද්ධය සෑම නිෂ්චිත දෙයක්ම අවිනිශ්චිත තත්ත්වයට පත් කර ඇත. එයද එක් සැණෙකින් සිදු කර ඇත. 
යුද්ධයට පසුවත් යුද්ධයෙහි ඇතුළෙත් පවතින්නේ දේශපාලනයයි. මෙම දේශපාලනය විසින් සියල්ලම වෙනස් කරන ලදී. සියල්ලම විකෘති කරන ලදී . තවමත් විකෘති කරමින් තිබේ. -( අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ කරුණාකරන්ගේ මතක වන්නිය- පිටුව 101)

වන්නියේ සිය දහස් පිරිසක් අවතැන් කළ, ජීවිත සුනු විසුණු කළ , අපායක් කළ ඒ බිහිසුණු කාලයට නැවත කිසිදිනෙක මේ පිරිස ඇද නොදමන්න යැයි මම සියලු නායකයින්ට පවසමි. මන්ද වන්නියේ පුපුරා ගිය ජීවිත අලවන්නට පැලැස්තර හෙවූයේ අප හෙයිනි. මට මුණ ගැසුණු, කතා බස් කළ සියල්ලන්ට ද ඕනෑ නිදහසේ ජීවත්වීමටය.

"යම් කාලයක් ගත වෙනකොට වෙනසක් ඇතිවෙන බවට යහපත් ලකුණු පහළ වෙලා තියනවා. අපි වන්නියේ අවුරුදු උත්සව පැවැත්වීමටයි , යාපනේ අධි සුඛෝපබෝගී මහල් නිවාස ඉදි කිරීමටයි එහා යන ප්‍රගතියක් ලබා ගන්නට ඕනෑ. ඒවා කිසි කලෙක අපෙන් නැතිවී ගිය දේවල් නොවෙයි. සත්‍යය නම්, ජනතාව අතරින් බහුතරයක් තවමත් බලන්නේ ජාතිවාදී නැඹුරුවකින්. ඒ තත්ත්වය වෙනස් වෙන්නට තරමක කාලයක් ගතවෙනවා....."( දිගු කාලයක් සිටියා බලා - අජිත් බෝයගොඩ පිටුව 266) අජිත් බෝයගොඩ මහතා තවදුරටත් පවසන්නේ උතුරේ ත්‍රස්තවාදී හිර කඳවුරේ සිට නිදහස ලැබූව ද සිංහළ දෙමළ මිනිසුන් අතර බෙදීම් වෙන්වීම් ඇති කරන සුළු ප්‍රකාශ ඔහුගෙන් නොකියවෙන හෝ නොලියවෙන බව ය. කිසිදාක නැවත යුද්ධයක් ඇතිවන්නට තුඩුදෙන දෙයකට සම්බන්ධවීමට ඔහුට කිසිඳු උවමනාවක් නොවන බව ය.

තමිලිනී ලියූ පොතේ අවසන් භාගයේ මා ඇගේ දුක්බර මතක කියවමි. බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වීමු. මා උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක ය. මා හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන ය. මා හැදී වැඩුණු පරිසරයේ මා දැක්කේ , ත්‍රස්තයින් විසින් විනාශ කරන ලද ජීවිත පමණි.

"ඊට පසු කාලයන්හි දි මට ලැබුණු අත්දැකීම්, පාඩම්, අරගලය කෙරෙහි අවිශ්වාසය ඇති කළ තත්ත්වයන් , අවිශ්වාසය ඇති කළ තීරණ ජනතාවගේ යහපත පෙරටුකර නොගෙන දියත් කළ ක්‍රියාකාරකම් ආදිය මා තුළ දැඩි හැඟීම් කැකෑරීමක් සහ ස්වයං විවේචනයක් ඇති කළේය. ...." (තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය - 227 පිටුව) 

උතුරු කොනේ දී මා මිනිස් සිතේ අරුමය හා ගනුදෙනු කරමින් පරිණත වීමි. වෙනස් තැන් දෙකකට වැටුණු ගිරවුන් මෙන් අවුරුදු 30ක් අපි උස් මහත් වීමු. එනමුදු අවසන අපි සියල්ලන් එකම දුක්ඛාන්තයක කොටස් කරුවන් වීමු. එනිසා සානුකම්පිතව මම ඔවුන්ගේ දුක දැරීමි. මට උතුරු කොන හර්ද කම්පන දරන්නට පහසු විය. පැරදුන අරගලයක අවසන ඔවුනට සියල්ල අහිමි විය. දකුණේ අපට ද බොහෝ දෑ අහිමි විය. ඇයටට මෙන්ම අපටද වෙනස් වෙන්නට සිදු විය.

අප පා තැබූයේ සියල්ල විසඳුනු වන්නියකට නොවේ. සිංහල වෛද්‍යවරු යන ලේබලය සමග අප වන්නියට පය තබද්දී, අපට සිදුවූ දෑ මම ඔබට ඇති තරම් ලියා ඇත්තෙමි. 

ඉහළ නිළයන් ගේ සිටි මිනිසුන් ඔවුන්ගේ ජාතියේ මළගම ලියා දුන් හැටිත්, ඔවුන් ඉන් පසුව වුව ද "පාවාදී අනෙක් පැත්තට පැන්න"හැටිත් ගැන අත් අඩංගුවේ පසු වූ ත්‍රස්තයින් කියූ කතා අසමින්, අප හමුවේ ඔවුන්ගේ වෛරය සංසිඳෙන හැටි වටහාගනිමින් අප සිටියෙමු. 

වෙනස් විය යුත්තේ දමිළ වැසියන්ගේ අරගලය යැයි කියමින් , බල ලෝභී තමන්ගේ දේශපාලන අරමුණු ජයගන්න වලිකන දෙමළ-සිංහල-මුස්ලිම් දේසපාලුවන් මේරට කරවන තැනට නොයවන්නට වග බලාගත යුතු කාලයක් එළඹ ඇත.

“ඔය ඩොක්ටර්ට බැන්න ගෑණු කෙනයි එයාගේ මිනිහයි කළේම , එල් ටී ටී ඊ එකට, ළමයි අල්ලන් ගිහින් බාර දෙන එක. ඔය කන ඇහෙන්නෙ නැත්තේ...බෝම්බ නිසා නෙමෙයි. එහෙම ළමෙක් අල්ලන් යනකොට, තාත්තා කෙනෙක් පොල්ලකින් ගහලා ඔළුවට , ඒකයි ඔය “ මගේ මතකයට එන්නේ ඔවුන් ය. (අනිත්කොන - 135 පිටුව, මිත්‍රත්වයේ පාළම)

තමන්ගේම මිනිසුන් පලා යද්දී, ඔවුන්ට වෙඩි තියන්න යැයි ඉහළින් දුන් නියෝග හමුවේ. .. අපේම අම්මලා තාත්තලාට වෙඩි තියන්නේ කොහොම දැයි තමිලිනී විස්සෝප වන අයුරු මම ඒ පොතේ තැනක කියැවීමි.

ඒ වෙඩි මතින් කලපුව තරණය කළ පිරිස් රෝහල් වලදී පසුව කියූ කතා මම උතුරු කොන සිට අකුරු කෙරුවෙමි. (අනිත් කොන පොත) 

"දැන් මුළු රටම ගිනි ගන්නයි යන්නේ "ඉතින් මුලු රටම එසේ විය. (මතක මිය ඇදෙන සඳ 394 පිටුව)

83 ඇසළ කළුවරේ අපි බිළිඳුන් වීමු.එකම කාසියක දෙපැත්තක් මෙන්, කිසිදා හමු නොවුන අප දෙපිරිස දෙපසට වෙන්වී අරගල කෙරුවෙමු. ඇය උතුරේ සිට, දකුණේ මිනිසුන් හා තරහෙන් වෛරයෙන් සිටි කණ්ඩායමක අරගල කරද්දී අප දකුණේ සිට, ත්‍රස්තවාදයට වෛර කෙරුවෝය.

මිනිස් ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූ යුද්ධයක් අවුරුදු තිස් ගණනක් පුරා පැවතිනි. ඔබ සිටි කොටුව ඔබට සාධරණ වූ අතර මා සිටි කොටුව මට සාධාරණ විය. කොයි හංදියක කෙසේ පිපිරෙයිදැයි නොදැන , එවකට පාසැල් වියේ සිටි මම, බෝම්බ හඬින් සසලව මැරුණත් මොනා කරන්නදැයි හිත හදා ගත්තෙමි. ඉන්පසු උතුරට ගිය මම ඇල වේලි කැලෑවල රැය පහන් කළ උන්ගේ කතා අසා සිටියෙමි. සියල්ල අවසන්ව පුපුරා ගිය වන්නියක, ජීවිත ජීවත් කරවීමේ යුද්ධයට මා මැදි විය. තමිලිනී වැනි දහස් ගණනකගේ දුක් කඳුළු කෝප වෛරය, අප පිටින් ගලා ගියේ, ඔවුන්ට පෙනෙන්නට හිටි සිංහලයන් අපි වූ හෙයිනි.
එහෙත් ඔවුනට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ.

"සිංහලයාද දෙමළාද යුද සීමාවෙන් වෙන්ව දෙපැත්තට වී එකිනෙකාට වෛරයෙන් මෝරා ගියේය. තමා උපන් භූමි⁣යේ අයිතිය වෙනුවෙන් දෙමළ අම්මාගේ දරුවෝ කොටි සංවිධානයට බැඳුණහ.  සිය මවුබිම කැබලි කර කොටසක් ඉල්ලන කොටින්ට එරෙහිව සිංහල අම්මාගේ දරුවෝ යුද හමුදාවට බැඳුණහ. මේ දරුවන් දෙදෙනාම මේ රටේ බිහිවී එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර, මේ පොළොවේම හැදෙන බත කා ජීවත් වෙන තරුණයෝය. දෙදෙනාම සිය ජාතිය ආගම වෙනුවෙන් ආයුධය අතට ගත්හ. දෙදෙනාටම ඇත්තේ එකම දේශප්‍රේමය ය. වෙනසකට වූයේ දෙන්නා දෙපොළේ වීම පමණි. සිය ජාතියට රටක් ඉල්ලා මියගිය කොටි සමාජික සෙබළාද, සිය රටේ ඒකීය භාවය වෙනුවෙන් මියගිය  හමුදා සෙබළාද මියගියේ ජාත්‍යාලයෙනි; දේශප්‍රේමයෙනි. - (යුද බිමක වෙද මහිම) "

තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ , යළිත් රට බෙදන්නට අර අඳින ඩයස්පෝරාවෙන් සහ දේශපාලුවන්ගෙන් මම යමක් අසමි ! 

ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. අද ද ඔවුන්ගේ දරුවන් යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ය. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.

අපට වෛර කළ, අපට බිය වූ, මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මා උගත් පුහුණු කළ බෞද්ධ දර්ශනය නිසා ය. 

තමිලිනී , අජිත් බෝයගොඩ, කරුණාකරන්, පැතුම් කර්නර්, සහ මම මේ දේ ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ සැනසීම අත් කර ගත් බව නිරහසකි.
මේ ලිවීම් කියැවිය යුතුම පිරිසක් මට මතක් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. ජීවිත වැනසීමෙන් ලබන විමුක්තියක් නොවන බව ද, එක් ජාතියක් උසස් යැයි කියමින් සිදුකරන සංහාරයන්ද ම්ලේච්ජ බව කියමි. උතුරේ කොටි ත්‍රස්තවාදය සහ දකුණේ දේශපාලනය කළේ එය බව කියමි.
සෑම ජාතියකම නිරායුධ වැසියන් ඝාතනය කරමින් රටක් අවුරුදු 30ක් භයංකාර කාලයකට ඇද දැමීමෙන් යුධයට මග පෙන්වූ යුද වැදුණු  සියල්ලෝ ලද විමුක්තියක් නොවන බව අප වටහා ගත යුතු සත්‍යයයි. 

මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් දකිමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.

අද බොහෝ දුක් බර දවසක් වුනේ බෙදී වෙන් කරන්න නොයෙක් වහසි බස් ඇසෙන නිසා ය.
රටක් ලෙස ගොඩ නැගෙන්නට අවැසි චින්තනයක් ඇති පිරිසක් නැති එක ගැන දුක් වෙමි. සිංහලයා දෙමළා කෙරෙහි ත් දෙමළා සිංහලයා කෙරෙහිත් වෛර නොකරන ලෙස ප්‍රකාශනයේදී අප ප්‍රවේසම් විය යුතු බව පමණක් සැමට මතක් කරමි.
(2019 නොවැම්බර් )

හිටගෙන !

$
0
0

කාන්තා සුබසාධනය සඳහා කැපවී වැඩ කරන කතුවරියක වන පුෂ්පා රම්ලනී මහත්මිය ඔවුන් සම්බන්ද කාන්තා සංගමය හරහා මගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් සිටගෙන සිටීම තුළින් ශ්‍රමිකයන්ට විශේෂයෙන් කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ගැන විස්තරයක්. 

එහිදී මා සමග කතා බස් කළ ඇඟළුම් ක්ශේත්‍රයට සම්බන්දව වැඩ කරන දිගු කාලයක් හිටගෙන සිටින කාන්තාවන් පැවසුවේ ඔවුන්ගේ අත් පා සන්දි ආශ්‍රිතව දැඩි වේදනා තත්ත්වයන්ගෙන් පෙළෙන බව යසේවා ස්ථානයේ වැඩි කාලයක් රැඳී සිටින කාන්තා කම්කරුවන්ට මාංශ පේශි ආබාධ, නහර ගැටගැසීමහෘද හා රුධිර සංසරණ ගැටලු සහ ප්‍රසව හා නාරිවේදය සම්බන්ද දුෂ්කරතා වැනි සෞඛ්‍යා තත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. බොහෝ විට හා බහුලවම පැමිණිලි කරන රෝග ලක්ෂණ වන්නේ පහල ගාත්‍රාවල ඇති වන අපහසුතාවතෙහෙට්ටුව සහ ඉදිමීමයි.නිදන්ගත හෘද රෝග සහ රුධිර සංසරණ ආබාධ රැකියාවෙහි දීගු කාලයක් සිටගෙන සිටීම නිසා ඇති විය හැක. වැඩ කරන ස්ථානයේ එල, ඉරියව්වකින් ඉතා දීගු  කාලයක් ගත කිරීම අධි රුධිර පීඩනය ඇතිවීමට ඇති අවදානම අවුරුදු විස්සකින් වයසට යෑම හා සමාන බව එක් පර්යේෂනයකදී සොයාගෙන ඇත.

දේවි එවැනි ඇඟළුම් කම්හලක වැඩකරන තිස්දෙහැවිරිදි තැනැත්තියකි.  

“ලැයිමේ ඉන්න බෑ හිටියොත් දළු කඩන්න ඕනා. මම අවුරුදු විස්සෙන් ගාමන්ට් ආවේ. තැන්කීපෙක වැඩ කළා දැන් අවුරුදු පහක ඉඳන් මේ කකුල් සහ අතේ ඇඟිළි වල හිරි වැටීමයි කැක්කුමයි” ඇය පවසයි.

 රැකියාවෙහි දිගු කාලයක් සිටගෙන සිටීම හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම ඇති කරන බවට ප්‍රබල සාක්ෂි මෑතකදී අනාවරණය විය. පර්යේෂකයන් මෙහිදී කාලයත් සමග කැරොටිඩ් ධමනි සිහින් වීමේ අවදානමක් ඇති බවද එමඟින් හෘදයාබාධ හා අංශභාගය වැඩි වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දේ.

කකුළේ මතුපිට මෙන්ම මාංශපේශීන් අතර දිවයන රුධිර නාලද අවහිර වීමේ තත්ත්වයද දිගු කාලයක් රැඳී සිටීමේ පොදු සංකූලතාවකි.  සිටගෙන සිටීමෙන් ඔබේ ශරීරයේ පහළ හෙවත් පාද ආශ්‍රිත රුධිර නාලවල පීඩනය වැඩි වන අතරමේ නිසා එම රුධිර නාල විශාල වී පුපුරා යයි. Varicose veins හෙවත් නහර ගැටගැසීම නමින් හඳුන්වන තත්ත්වය රුධිර සංසරණ ගැටළු ඇති කරමින් හර්දය සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාද සඳහා වැඩි අවදානමක් එකතු කෙරේ. මෙම නහර ආසාදනය වීමට හෝ බොහෝ කාලයක් පවතින වේදනාකාරී තත්ත්වයක් ඇති කිරීමට ද ඉඩ ඇත. එය හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය විය හැකි බරපතල රෝගාබාධවලට පවා හේතු විය හැක. (thrombophlebitis, deep vein thrombosis, pulmonary embolism) 

මාංශ පේශි වේදනාවඅත් පා හන්දි හිරි වැටීම ඉදිමීම උකුල් හා දණහිසේ සන්ධි ප්‍රදාහයට ලක්වීම නිසා වැඩ කරන ප්‍රමාණය සීමාවීම.  මෙය පසුකාලීනව රූමැටික් රෝගයට පවා හේතු විය හැක.

මෙසේ ශ්‍රමිකයන්ගේ කායික සෞඛ්‍යයේ ගැටළු ඇති කරන සේවාවේ ක්‍රම මගින් ඔවුන්ගේ කායික සෞඛ්‍ය පමණක් නොව මානසික සුවයද නැති කර දමනු ලැබේ.  දිගු කාලීනව වේදනාවෙන් සිටින අයෙකුගේ ජීවිතයට මානසික ආතතියක් මේ නිසා ඇතිවේ. මෙය සේවකයාගේ ජීවිතයේ මනෝ සමාජීය අර්බුදයක් ඇති කරන අතර එය අවසානයේ විශාදිය වැනි මානසික රෝග තත්ත්වයට ලක්වීම දක්වා දරුණු විය හැක. .

මෙම වෛද්‍ය ගැටළු සමහරක් පසුකාලීනව සිදුවනු ඇති නමුත් එයින් සිදුවන්නේ කායික හා මානසික වශයෙන් රෝගී වූ ආබාධිත ජනගහනයක් සමාජයට එකතුවීම් ය්. එමෙන්ම එක තැන සිටගෙන වැඩ කිරීම තුළින් මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමද අහිතකර ආහාර රටාවන්ට යොමු වීමද නිසා මොවුන්ගෙන් වැඩි පිරිසක් ඉක්මනින් බෝ නොවන රෝගයන්ට ලක්වේ. එනම් දිය වැඩියාව අධික රුධිර පීඩනය වැනි සමාජයේ සුලභ රෝග තත්ත්වයන්ට මේ ශ්‍රමිකයන් ඉතා තරුණ අවධියේදීම ලක්වන බව අප හා කතා කළ ශ්‍රමිකයන්ගෙන් දැනගන්නට ලැබුණි. ලිවර්පූල් හි අධ්‍යනයකට අනුව මිනිත්තු 30ක් එක දීගට හිටගෙන ඒ ඉරියව්වෙන් වැඩ කිරීම සෞඛ්‍ය ගැටළු ඇති කරන බව පෙන්වා දී ඇත. 

වැඩකරන ස්ථානය ආශ්‍රිතව තම ශ්‍රමිකයන් මේ ගැන දැනුවත් කර ඔවුන්හට සේවාමුර අතරතුර වෙනත් බාහිර ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් කරන්නට සංඥා කිරීම අද වන විට ප්‍රසිද්ධ ක්‍රියාමාර්ගයකි. එවැනි දෑ සිදු කිරීම තුළින් ශ්‍රමිකයාගේ කාර්‍යක්ෂමතාවයද වැඩි වන බව නොරහසකි. 

දිගු කාලයක් සිටගෙන සිටීමේදී ඇතිවන රෝගාබාද  අවම කිරීම සඳහා කෙටි සහ නිරන්තරයෙන් ලබාගන්න විවේක කාලයන් වැදගත් වේ. සේවකයින් විවේක කාලයේදී වාඩි වී සිටීමට හැකි ලෙස සේවා ස්ථානය සකස් කළ යුතුය. ඉරියව්වල වෙනස්කම් සැපයීම සහ ඇවිදීම දිරිමත් කිරීමද සේවා ස්ථාන ආශ්‍රිතව සිදු කළ හැක.  කිසි විටෙකත් සේවකයාට බාධාකාරී ඉරියව්වකින් නොසිටීමට ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම ලෝකයේ පිළිගත් කම්කරු ප්‍රඥාප්තීන්ට අනුකූලව හැකි සෑම විටම හිඳගෙන වැඩ  කිරීමත්සිටගෙන සිටීමට සිදුවෙනවානම් ඔවුන්ගේ කාලය සීමා කර හිඳ ගැනීමට පහසුකම් සැලැස්වීමත් යන කාරණා ගැන නීති සකස් වී ඇත. 

රටක ශ්‍රම බලකාය ඉතා ඉක්මනින් රෝගීන් වන්නේ නම් එය රටේ ඉදිරි ගමනට විශාල බාදාවකි. එනිසා ඔවුන්ගේ ජීවිත පහසු කිරීම සෞඛ්‍ය ප්‍රශ්න අවම කිරීම මෙන්ම රෝගී වෙන්නට ප්‍රථම එය වලක්වා ගැනීමට හැකි පියවර සකස් කිරීම නිසි බලධාරීන්ගේ වගකීමකි.

වෛද්‍ය බෝධිනී සමරතුංග - සායනික සටහන් නොවේ





අගුළු දැමූ සටහන්....

$
0
0
ඊයා ...

දරුවෝ දරුවෝමය... කුඩා බඩගෙඩි ඔසවාගෙන මාතෘ සායන වෙත ආ දරුවන් මතක්වේ...බෝනික්කන් මෙන් සරසා දරුවන් උස්සාගෙන සායන පැමිණි උන් මතක් වේ. දරුවාගේ අම්මා අක්කා යැයිද මිත්තණිය අම්මා යැයිද සිතමින් හඬ නගා ඇමතූ වේලාවන් මතක් වේ. 
උන් විඳි වේදනා මතක් වේ...

අපි අපේ රටේ පවතින සාමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න ඒවායේ වෙනසක් ඇති කරන්න මේ මොහොත වුවද පාවිච්චි කරමු.

2014 ලියා අගුළු දැමූ සටහනක් ඔබ වෙත ගෙන එමි.
"මගේ රාත්‍රී වැඩමුරය මහා ඛේදවාචකයක්, ටීනේජ් හෙවත් නව යොවුන් වියේ දැරිවියකට සීසේරියන් සැත්කමක් කළ පසු දරුවා පෙන්වූ විට ඊයා යැයි පැවසුවා. ඇයගේ දරුවා හුස්ම ගත්තේ අමාරුවෙන්. කෘතිම ශ්වසන මෙවලමට සම්බන්ද කර දැඩි සත්කාර ඒකකයකට මාරු කළා. ඇයට දරුවාගේ තත්ත්වය පවසන්න මම දරුවා රැගෙන මහ රෝහලට යන බව කියන්න ගියවිට ඇය මට ඇගේ කැනියුලාව රිදෙන බවත් එය බලන ලෙසත් පැවසූවා.දරුවා ගැන මා කියූ කිසිවකට ඇය ප්‍රතිචාරයක් නොදක්වා ඉවත බලා සිටියා. මට දුකයි ඉතා කුඩා කාලයේ අම්මලා වන මේ දැරිවියන් සහ ඔවුනට දාව ඉපදී දුක් විඳින මේ කුඩා ජීවිත ගැන. කිසි ආදරයක් නැතුව හැදෙන්නට වෙන මේ කුඩාබිළිඳුන් ගැන මට කණගාටුයි" 

ඒ මගේ අගුළු දැමූ සටහන ය. මේ දැරිය අපයෝජනයට ලක්වී තිබිණි. පාලමක් යට නිවස්නය කරගත් අනාරක්ෂිත පරිසරයක වැඩෙන ඇය වැනි දරුවන් කොපමණ මේ රටේ සිටිනවා ද ?

"එයාගේ තාත්‍තා මරාගත්තා කියලා අපිට බනිනවා. බලන්න නංගී මේ දරුවාට එයාට වෙච්ච දේ තේරෙන්නෙ නැති හැටියක් !"
අප වෙත රවමින් බණිමින් කඳුළු සලමින් සිටියේ 14 හැවිරිදි දැරිවුයකි. ඇයට දෙමළෙන් ලොකු දේශනාවක්  දී පැමිණි ජ්‍යේෂ්ට වෛද්‍යවරයා එසේ කීවේ, එදින උදෑසන සිදුවූ සංහදිය යලි මතක් කරමිනි. (2010)

අනිත්කොන පොතේ මේවා මුද්‍රණය වුණා ඔබට මතක ඇති. එහෙත් නොකියවූ බොහෝ අය වෙනුවෙන් ලියා තබන්නෙමි. 

නංගීගේ බඩ ලොකු වෙනවා යැයි පැවසමින් අක්කෙක් සමඟ පැමිණි මේ දැරියගේ කුසෙහි සති 20 පමණ  වැඩෙමින් තිබෙන ජීවයකි. මාස ගණනාවක් තිස්සේ පියා අතින් අපයෝජනය වූ බව පවසයි. එය සාමන්‍ය දෙයක් සේ පවසයි. අසා සිටින අපගේ හදවත් කෑලි කැඩී සායනය පුරා විසිරී ලේ ගලමින් තිබුණු බව මේ පොඩි දැරියට නොතේරුණි.
රෝහල්වල අප විනිසුරුවන් නොවන්නෙමු. යුක්තිය අයුක්තිය සෙවීම පොලිසියට බාරවිණි.
සවස ආරංචි වූයේ ඇගේ පියා දිවිනහගෙන තිබුණු බව ය. පියා මරාගත්තේ අප යැයි සියල්ලන් වෙත දොස් පවරමින් සිටී. එහෙත් ඇගේ ජීවිතය තලා පෙලා මරා දැමූයේ පියා බව ඇගේ ළපටි මනසට නොතේරේ. 

ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද 
අනිත් කොන
වෛද්‍ය බෝධිනී සමරතුංග

මා....

$
0
0
සිත් බිඳුණු පණ සිඳුණු යුද්ධයේ ශෝකාලාපය‍

උතුරු කොන කතාවක් කියවද්දී උතුරු කොන ගත කළ අවුරුදු හතරක කාලය මගේ මනසෙහි ඇඳෙන්නේ නිරායාසයෙනි. ඒ සමගම හිතෙන් ඇසෙනා සංගීතවත් ගීතයකි. ඒ බෙනට් රත්නායකයන්ගේ “ඉර හඳ යට” චිත්‍රපටයේ එන, මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ විඳින්න.. ගීතයේ සංගීත කණ්ඩයයි. 
මා නවකථාව කියැවූයේ මේ අපූරු සංගීතය මගේ මනසේ නිරන්තරයෙන් නින්නාද වෙද්දීය. 
උතුර දකුණ බේදබින්න කළ යුද්ධයේ අතුරු ප්‍රතිඵල අපි අදටත් අත් විඳින්නෙමු. ඒ ගැන නිරන්තරයෙන් ලියන්නෙමු. 
මොරටුවේ ග්‍රන්ථ පොත් හල වෙත සැප්තැම්බරයේ ගිය ගමනේදී මා පොත රැගෙන ආවෙමි. “ආ අක්කාට කියවන්න මේක නියමයි.” කීවේ බ්ලොග් ලිවීම නිසාම සහෝදරයන් වූ දසුන් සමීර මල්ලීය.”මා කියලා නවකතාවක් කියෙව්වා...ඩොක්ටර්වමයි මතක් වෙන්නේ...” පවි ජයවර්ධන සොයුරිය මුහුණු පොත මත ලියූ කමෙන්ටුවකින් මගේ කියවීමේ ආශාව තීව්‍ර විය. එතෙක් කියවමින් සිටි පොතට සමුදී මා නමැති පොත එක හුස්මට කියවන්නට වීමි.

සරල බස් වහර සහ කියවන්නා වෙහෙසට පත් නොකරන ලෙස කතාව ගලා යෑම අපූරුවට හසුරුවන කතුවරයෙක් ලෙස මා චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා හඳුනාගෙන සිටියේ සූරිය කුසුම නවකතාවෙනි. පොත අතින් බිම තියන්නට බැරිවෙන්නට එකින් එක වචන පුරුද්දන ආකාර ළගන්නා සුළුය. 

දවස් දෙකෙන් පොත කියවා හමාර කළේ පොත කියවන්නට වූ තැනේ සිට එහි අවසානයක් දකින තෙක් හිතේ ඇතිවූ කුතුහලය හේතුවෙනි. අතීතය තුළ වැලලීගිය මේ වෛද්‍යවරියගේ කතන්දරය මේ සා බැරෑරුම් , ඛේදනීය එකක් වේයැයි කිසිවිටක මම ද නොසිතුවෙමි.

දෙමළාට, දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි අසන මිනිසුන් හට දිය හැකි පිළිතුරක් “මා” යන අපූර්ව කෘතියෙන් පෙන්වා දේ. 83 ජූලි කලබලයේ සිට මේ රටට අනවශ්‍ය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය කරමින් එදා මුළු මහත් දේශයක මලගම ලියා දෙන්නට සමස්ථ දේශපාලන යාන්ත්‍රණයට හැකිවූ අයුරු අපි කොතෙකුත් කතන්දර මගින් දැක බලා කියවා ඇත. “මා” ඒ සිදුවීම ඉතා සියුම් ලෙස ග්‍රහණය කරන ලද කෘතියකි. ත්‍රස්තවාදී යාන්ත්‍රණය අප බැහැර කළ යුත්තේ ඇයි දැයි කියන්නට මට බොහෝ ජීවමාන සාක්ෂි හමුවූයේ උතුරු කොනේදීය. “මා” නවකතාව කියවද්දී මට ඒ කතා චරිත සංසිද්ධීන් මනසෙහි මැවී පෙනේ. පසුබිමින් ඇසෙන්නේ මානව සුවඳේ වෙලෙන්නට අඬ ගසන මේ ඉර හඳ යටදී ආදරේ පමණක්ම විඳිය යුතු බව අපට වඩ වඩාත් පසක් කරවන ඒ චිත්‍රපට ගීතයයි. 

“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුතේ. අපි කොයි තරම් ප්ලෑන් කළත් ජීවිතේට මුහුණ දෙනක්ට ඒ ප්ලෑන් වෙනස් වෙනවා..” කවිතා තමන්ගේ ශෝචනීය අතීතය සිහිපත් කරමින් පවසන්නීය. 
ඒකට තමා ජීවිතේ කියන්නේ… මා සේවය කර සමුදුන් වන්නිය ගැන මතක අවුස්සමින් හිතන්නට මානුෂීය කාරණා රැසක් ඉතිරි කළ “මා” පොත ලීවාට ඔබට බොහෝ ස්තූතිකරමි. එය ප්‍රබන්දයක් වුවද වන්නියේ අමාරුම කාලයක ජීවත් වූ මට එයට සමීප බොහෝ කතන්දර මතක් වූ අතර ඒවා මෙහි එන ඇතැම් සිදුවීම් හා සමපාත වූයේ පුදුමාකාර ලෙස ය.

වෛද්‍ය නේවාසිකාගාරයට බෝම්බයක් අටවන්නට එය ගෙන ආ කොටි ත්‍රස්තවාදියා අතින් එය ගේට්ටුවට මෙපිටින් පුපුරාගොස් තිබුණේ ඔහුගේ අත්වැරැද්දකිනි. ඒ වන විට ඔහුගේ සොයුරිය එහි වෛද්‍යවරියක ලෙස සේවය කළ බවද අක්කා හමුවීමට නිතර පැමිණි බව ද ඇසුණි. මේ යුද්ධයේ එවන් අපහසු සහෝදර බැඳුම් අනන්තවත් හමුවිණි. අත් අඩංගුවේ පසුවන තම සොයුරා හමුවීමට දකුණු කොනේ සිට පැමිණෙන වෛද්‍ය සොයුරාද මට මතක් විණි. එමෙන්ම ත්‍රස්තවාදයට උල්පන්දම් දෙමින් රටබෙදන්නට වුවමනා යුද්ධයේදි එපිට සිටගත් වෛද්‍යවරුන් ද, එපිට රෝහල් පණ ගන්වා එහිම සේවය කළ වෛද්‍යවරුන්ද වෛද්‍යවරියන්ද මට සිහිවේ. අවසාන සටනේදී මුලතීව් කැලයේ, නන්දිකඩාල් කලපුවේ ජීවිත රැකගත් පිරිස පසුව මට හමුවිණි. හිසෙහි යකඩ කැබැලිද හිතෙහි බොහෝ දුක් වැලපිලිද රැගත් ඔවුන් සුවපත් වෙන්නට බොහෝ කල් ගත විය. පාසැලක පරිගණක කාමරය ශල්‍යාගාරයක් බවට පත් කර සිසේරියන් සැත්කම් කළ සහෝදර වෛද්‍යවරයා, ඔවුන්ව බලෙන් රඳවාගෙන මිනිස් පළිහක් ලෙස සිවිල් වැසියන්ද කිලිනොච්චි රෝහලේ සියළුම බඩු බාහිරාදියද සමඟ එහි සේවය කළ සියල්ලන්ද රැගෙන තැනින් තැන යමින් හමුදාව විසින් ඔවුන්ව මුදාගන්නා තෙක් ගත කළ කාලය සිහිපත් කරන්නේය. මුලතිව් කැලයේ වෛද්‍ය සේවා ලබා දෙමින් කවිතා සහ අරුල් ජීවිත බේරාගැනීමේ යුද්ධයේ කොටස් කරුවන් වූ හැටි “මා” පොතෙන් කියවද්දී නැවත නැවතත් මා දෑස් අභියස ඒ අතීත කතා මැවී පෙනේ. යුධ වැදුණු සමාජය තුළ ඇත්තේ මේ කතාවෙහි ලියැවී ඇති දුක කඳුළ සහ අහිමිවීමම ය.

එදා මෙන්ම අදත් අළු යට ඇති ගිනි පුළිඟු මෙන් ඕනෑම මොහොතක බුර බුරා නැගෙන්නට හැකි ජාතිවාදී ගිනි සුලභය. මවකට පුතෙක් වෙන්කරන්නට, දෙහදක බැඳි ආදරයක් සැක කරන්නට ත්‍රස්තවාදය නම් බල ලෝභී මර්දනකාරී ඒ යාන්ත්‍රණයට හැකි වූ අයුරු මේ කතන්දරයෙන් කියැවේ. උතුරේ දෙමළා ද දකුණේ සිංහලයාද මුසල්මානුවාද ත්‍රස්තවාදයෙන් බොහෝ පීඩා වින්දෝය. කුඩා කාලයේදීම මව පියා අහිමි වූ දරු දැරියන්ද, දරුවන් අහිමි වූ මව්පියන්ද, කේඬෑරි අත්වලින් ආයුධ ඔසවාගෙන නොතේරෙන යුද්ධයක කොටස් කරුවන් වූ දරුවන්ද මට හමුවී තිබේ.

“යුද්ධයක් ආයේ එපා පුතේ” යැයි අපේ අනාගත පරම්පරාවට දයාර්දයෙන් ඉල්ලා සිටීමට මේ අවුරුදු තිහකටත් වැඩි යුදයේ ශෝචනීය මතක, අහිමිවීම් සහ ඛේදවාචක ප්‍රමාණවත් යැයි මට සිතේ.මේ කතාව ප්‍රබන්දයක් වුවද මේ හා සමාන කතන්දර අපි දශක ගණනාවක් මුළුල්ලේ ඇසුවෙමු වින්ඳෙමු අත් දුටුවෙමු. “මා “ නවකතාවෙහි කැටි වූ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ අප හදවතට වඩාත් දැනෙන්නේ එහෙයිනි. 
බෝධිනී සමරතුංග- 2019

ත්‍රීපෝෂ පැකට් දෙක

$
0
0

this was written in 2014 ....

රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද කියලා තේරුම් ගියේ මට මෑතකදී. (2014) 

මා වැඩ කරන ළමා සායනයේදී දරුවන්ට පෝෂණ ඌනතා ඇතැයි කියා ත්‍රිපෝෂ ලබා ගැනීමට කොයි තරම් නම් අම්මලා අපට ආයාචනා කරනවාද ? නමුත් නිසි බර උස ඇති දරුවන්ට බොරුවට ලියුම් ලබා දිය නොහැකි බව කියා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නට වුනේ එහෙම ක්‍රමවේදයක් නොමැති නිසාමයි. එනමුත් අඩු ආර්ථික මට්ටමක් සහිත ඔවුන් හට මේ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ඉන්නා කුඩා වුන් රොත්තකගේ බඩගින්න නිවන යාන්ත්‍රනයකි.

මා ගැබිනි අවධියේ රෝහලේ පැවති මාතෘ සායනයේ රෙජිස්ටර් වෙන්නට සිදුවිනි. ඒ නීතිය එහෙමමය. වාට්ටුවේ වැඩ කරන අතර තුර අල්ලපු ගොඩනැගිල්ලේ සායනයට ගිහින් එන්න පුළුවන් වීම එක්තරා විදියක පහසුවකි. 

එහිදී ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ, ෆෝලික් ඇසිඩ් පෙති, යකඩ පෙති විටමින් සී නොමිලේ මසක් ගානේ ලබා දේ

පළමු සායනයේදීම , මා ඔවුන්ට පැවසුවේ… මට එම දීමනාව අනවශ්‍ය බවය. ඒ මට මහා ලොකුවට පෝෂණය සපයාගන්න ධනස්කන්ධයක් හිමි නිසා නම් නොවේ. 

රජයෙන් ලැබෙන වැටුපෙන් ඒ දේවල් ලබා ගන්නට පුළුවන් කමක් මට තියෙන නිසාත් මගේ පුද්ගලික ප්‍රින්සිපල්ස් අනුව මට අවැසි දේ මට සපයා ගන්නට තරම් මුදලක් අතට ලැබෙද්දී ඒ නිකම් ලැබෙන දේ මට වඩා අසරණ කෙනෙක් වෙනුවෙන් වෙන් කිරීම යෙහෙකැයි සිතන්නට පුරුදු වී ඇති නිසාත් ය. මා සායනයෙන් විටමින් පෙත්තක්වත් ලබා ගන්නේ නැත. 

 මා එම දීමනාව අනවශ්‍ය බව කීවාට, ගැබිනි මට වෙන් කර ඇති කොටස කොහොමත් ලැබෙන බවක් ඔවුන් කීවෝය. “ අනේ මිස් මෙතනට එන දරුවෝ ගොඩක් ඉන්න ගැබිනි අම්මෙක්ට ඔය ත්‍රීපෝෂ ටික දෙන්න..” මගේ කටෙන් පිටවෙනවාත් සමගම අසල සිටි දෙදෙනෙක් දිව ආවෝය. “අනේ ඩොක්ටර්ට එපා නම් අපිට ඒක දෙන්න ලැබෙන්න ඉන්න දරුවටත් පින් මගෙ රත්තරන් මැඩම්… ඔය ආදී ලෙස පින්සෙන්ඩු වෙමින් බුදු බව පවා ප්‍රාර්ථනා කරන්නට විය. ඒ ත්‍රීපෝෂ පැකට් දෙකකට ! 

 දැන් ඔවුන් මා  සායනයට යන සෑම මසකම මට ලැබෙන දීමනාව ලබා ගනී.  අසනීප නිසා එහි යන්නට බැරි වුන පසුගිය දිනෙක කෙනෙක් පැමිණ මගේ කාඩ්පත රැගෙන ගොස් ඒවා ලබාගෙන නැවත කාඩ් පත මට ගෙනැවිත් දුන්නේ පින් සිද්ධ වෙනවා යැයි මතක් කරමිනි. දැන් ඒ පැකට් දෙකට බැල්ම දාන පිරිසද වැඩිය. අයියෝ මැඩම් මට දෙන්න තිබුනානේ.. ඇතැමෙක් පවසයි. .  සමහරු අර උන්දැලාගෙන් ඒ ගැන විමසයි. ඔවුන් මට ඇමතුම් දේ “ මැඩම්ට ඕනෙද පැකට් දෙක අහවලා කියනවා මැඩම්ට දෙන්න කියලා”… “නෑ මට ඕනෑ නෑ. මං ඉල්ලුවෙත් නෑ.. ඕනෑ කෙනෙක් ඕනේ දෙයක් කරගන්න”  . 

 මා ඇතැම් විට අපේ paediatric සායන හමාර කොට වාට්ටුවට එන ටිකට පාර දිගේ දිව එන ගැබිනි මව්වරුන් මුණ ගැසේ... ඔවුන් සිතන්නේ මා සායනයට ගොස් පැමිණෙන ගැබිණි මවක් කියාය. "අද ත්‍රීපෝෂ දීලා ඉවරද ?" , "තවම ත්‍රීපෝෂ දෙනවද "ඔවුන් මගෙන් විමසයි. ඒ කිසිඳු අම්මා කෙනෙක් ත්‍රීපෝෂ ගෙනියන්නේ ඔවුන්ගේ පෝෂණය සඳහානම් නොවේ... ගෙදර සිටින අන් දරුවන්ගේ කුස පිරවීමටය.. මොකක්ද මේ රටට උනේ ! 

පළා කෑම

$
0
0

අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.

"නෝනා අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්"  මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිසුන් ආර්ථික වශයෙන් සවි ශක්තිමත් නැත.

 " මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"

අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා"මෙවැනි දෑ ඇසීම අපට අමුතු නැත. විවිධ වූ විශ්වාසයන්ගෙන් ගහන සමාජයක හිතකර මෙන්ම අහිතකර උපදෙස්ද මෙලෙස ඇසේ.

ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දීකිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒකෙන් ඒ අම්මට දියවැඩියාව තියෙනවා කියන්න බෑ"

 " ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"

අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ"  මම පැහැදිලි කළෙමි.

"ඒ අම්මට වයස කීයද ?"

"අවුරුදු 20ක් ඇති"

 " අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවාදියවැඩියාව හැදෙන්න විවිද හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට වෙනම පරීක්ෂණ තියෙනව.  බබා නිතර කක්කා දානවා කියලා අම්මට දියවැඩියාව කියන්න බෑ, එහෙම කියලා අම්මගේ මව්කිරි නවත්වන්න කියලා නිර්නායක කොහේවත් නෑ"මම පැහැදිලි කළෙමි..

ඇරත්මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ."ඇයට පැහැදිලි කළෙමි

ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා"කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.

 ඒ මම ඇසූ බොහොම වෙනස් ජාතියේ කතාගොන්නෙන් එකකි.

කිරි පිටි සම්බන්දයෙන් අමුතු කතා ඇහෙන මේ කාලයේදී වෛද්‍යවරියක් සහ මවක් ලෙස මම ද මෙවැනි උපදෙස් මටද කියන්නට එන සමාජයක ජීවත්වන නිසා මව්වරුන් වෙත ඇති මෙවැනි බලපෑම් ගැන හොඳාකාරවම දනිමි.

අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.

දරුවෙක් වැඩෙද්දී මාස හයක සිට ඝණ ආහාරවලට හුරු පුරුදු කිරීම අදවන විට සියළු දෙනා පුරුද්දක් වශයෙන් කරති. අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි දීම ද අත්‍යාවශ්‍ය නොවන බව ද දරුවාට අවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි.

“බර වැඩි වෙන්න පිටි එකක්වත් ලියලා දෙන්න ඩොක්ටර්” යැයි සායනවලදී අපට අනන්තවත් මව්වරු ආයාචනා කරති. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවේලකින් ලැබෙන පෝෂණයට සම කරන්නට කිරිපිටි වලින් නොහැකි බව අප ඔවුනට වටහා දෙන්නෙමු.

ඇමෙරිකාවේ වෙසෙන ජිම් ක්වික් යනු වේගයෙන් කියවීමමතකය වැඩිදියුණු කිරීම සහ ප්‍රශස්ත මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයෙකි ඔහු රටවල් 150 කට අධික සංඛ්‍යාවක සෑම වයස් කාණ්ඩයකම  සහ සෑම වෘත්තියකම නියැලී සිටින්නන් සඳහා වේගවත් ඉගෙනීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු කිරීම් සිදු කරයි. මෑතක ඔහු සිදු කරන ලද මතක ශක්තිය වැඩි කිරීම පිළිබඳ වැඩමුළුවකදී ඔහු පැවසුවේ, මොළයේ වර්ධනය සිදු කරන මොළයට හිතකර කෑම වර්ග පිළිබඳවය. ගොටු කොළ, අලිගැට පේර, බ්‍රොක්කලි, පොල් තෙල්, බිත්තර, සැමන් මාළු, කහ, වෝල් නට් සහ ඩාක් චොකලට් මේ ලැයිස්තුවේ අන්තර්ගතය. ගොටු කොළ රිසි සේ වැවෙන, පොල් තෙල්ද ඇති මේ රටේ මව්වරුන් මේවා ගැන දැනුවත් නැත. සත්ත්ව හෝ ශාක මේදය අඩංගුමාජරින් හෝ මේද තැවරුම් බටර් යැයි කියා භාවිතා කරති. දරුවන් හට බර වැඩි කර ගන්නයැයි නොයෙක් තැන ඇසෙන දෑ ගෙනැවිත් ගිල්ලති.

දරුවෙකුගේ වර්ධනය සිදුවෙන මූලික වයස්කාණ්ඩ වලදී නිසි පෝෂණයක් සහිත කෑම වර්ග ලබා දිය යුතුය. ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම පළාවර්ගද බොහෝ සෙයින් අප ආහාරවට්ටෝරු වලින් ඇත්වී ඇති බව මට වැටහේ.

ගෙවත්තේ පෝච්චියක ගොටු කොළ හෝ නිවිති වවාගත හැකි බව මා ප්‍රායෝගිකව දනිමි. දිනපතා කොළ දහයක් සෝදා ලියා දරුවාගේ කෑමවේලට එකතුකළ හැක. දරුවන් යනු පුහුණු කරගත හැකි පිරිසකි. දිනපතා මෙවැනි පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට දීමෙන් ඇත්තටම ඔවුන් ඒ දේට හුරුවන බව මම දන්නේ මගේ දරුවා සම්බන්දයෙන් මට ඇති අත්දැකීමෙනි. අමු තක්කාලි, රතු ලූණු සහ කොළ පැහැති පළා වර්ග කොයි තරම් හිතකර දැයි බොහෝ බටහිර රටවල ලිපි මගින් සාකච්ජා කෙරේ. මුරුංගා කොළ මිටක්, කතුරු මුරුංගා කොළ මිටක්, ගොටු කොළ මිටක් එකතුකරගැනීම තුළින් අත්වන වාසි, නොයෙක් පෝෂණ ඇතැයි කියමින් ගිල්ලන පෝෂණ පැකට් හෝ ද්‍රාවණ තුළින් ලබා ගැනීම අපහසුය.

 සායනික සටහන් නොවේ- වෛද්‍ය බෝධිනී සමරතුංග

From newspaper column 

ඔසප් සනීපාරක්ෂාව

$
0
0

 ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි.

- වෛද්ය බෝධිනී සමරතුංග
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම, බදු අඩු කර ඒවායේ මිල අඩු කිරීම සහ නැවත ආනයනිත සනීපාරක්ෂක තුවා සඳහා බදු වැඩි කිරීම විටින් විට කරලියට එමින් කතා බස් කෙරෙන මොහොතක, මැතිවරණ වේදිකාවලදී පවා කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන්නට පොරොන්දු වන රටක, පොදුවේ සියළු කාන්තාවන් ජීවිතේ එක්තරා කාලයකදී අත්විඳින්නාවූ මේ සංසිද්ධිය විවිද ජන කොටස් සහ සමාජ ස්ථරයන්ට දැනෙන විඳින අන්දම වසර ගණනාවක් මුළුල්ලේ අත් දකිමින් සිටින්නේ ප්රසව හා නාරිවේද වාට්ටු තුලදී කාන්තාව සම්බන්ද ගැටළු විසඳමින් සිටින අතරය.
ඔසප් වීම යනු කාන්තාවන් බලෙන් ඉල්ලා ඔවුන් මත පටවාගත් ක්රියාවලියක් නොවේ. ඒනිසා ඒ අතිශය ස්වභාවික සංසිද්ධිය නිසා ඇයට ආර්ථික හෝ සංස්කෘතික බාදාකිරීම් සිදුවිය යුතු නොවේ. එය ශිෂ්ටසම්පන්න මානුෂීය සමාජයක හුරුව විය යුතුය.
කාන්තා ශරීරය තුල සිදුවන අතිශය ස්වභාවික ක්රියාදාමයක් වන නමුදු විවිද සංස්කෘතීන් තුල විවිද රටවල් තුල ඔසප් වීම ගැන ඇති කර තිබෙන සමාජ හැසිරීම වෙනස් ය. ඒ කුමන අදහස් සමාජ ගත වුව ද ශිෂ්ටාචාරගතවූ මානව සමාජයක ආචාර ධර්ම උතුම්කොට සලකන මිනිසුන් වැඩියෙන් සිටිනා මානව සමාජයක කාන්තාවකට සිය භෞතිකමය ශරීරය විසින් උරුම කර දී ඇති තත්ත්වයක් වෙනුවෙන් තමන්ගේ සෞඛ්යට තර්ජනයක් නොවන ලෙස කළමණාකරනය කරගැනීමට අවශ්ය සහන සැලසීම සමාජයක වගකීමක් ලෙස මම දකිමි.
ඔසප් සනීපාරක්ෂක කළමනාකරණයෙහි ( menstrual hygiene management ) වැදගත්කම කාන්තා කායික සෞඛ්යය යටතේ පැහැදිලි කර දෙන්නේ 'ඔසප් කාලයේදි, රුධිරය අවශෝෂණය කළ හැකි පිරිසිඳු, ඔසප් කළමණාකරන ද්රව්යය භාවිතය සහ පිරිසිඳු වීම සඳහා සබන් ජලය යන දෑ භාවිතය පිළිබඳව සමාජීය අවබෝදය පුළුල් කරමිනි.
“මම වැඩි විය පත්වුණු දවසේ ඉඳන් ඇන්දේ රෙදි කෑලි. ඒවා ගෙදර ගැහැණු අය භාවිතා කරන පරණ වුණු චීත්තවලින් කපාගත්තු ඒවා. අනික ළිඳ ළඟ ඒවා හෝදන්න රෑ වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් හැමෝටම පේනවනේ. රෑට වනලා උදේට ඒව ගන්නත් ඕනේ කාටවත් පේන්න කළින්.” මේ අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ ගැහැණුන්ගේ ඔසප් කතන්දරය ය.
අප රටේ රජයේ රෝහල් ප්රසව හා නාරිවේද වාට්ටු තුල අදටත් “සනීපාරක්ෂක තුවා” (sanitary pads) සුළු සේවිකාවන් අතින් නිර්මාණය වී විෂබීජාණුහරණය කර භාවිතා වේ. එසේ සකස් කරන්නේ එහි එන බහුතරයක් සනීපාරක්ෂක තුවා ගෙන එන්නේ නැති, සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳව දැනීමක් නොමැති, වාණිජ සනීපාරක්ෂක තුවා කිසි දිනෙක භාවිතා කර නොමැති කාන්තාවන් නිසා ය. අපට වාට්ටු තුල හමුවන කාන්තාවන්ට අනුව එය මහා මුදල් නාස්තියකි. එකල එනම් 2010 දී රුපියල් 100 හෝ 200ක දෛනික ආදායමක් ලබන ඔවුන්ට රු 80-100 පමණ වූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් යනු මහා නාස්තියකි. “ඕවා ඇඳලා විසිකරන්න ඔච්චර ගෙවන්නේ කොහොමද ?” වන්නියේ හමුවූ ස්ත්රීන් මාගෙන් විමසුවා මතක ය.
අදටත් අප රටේ බහුතරයක් ආර්ථික අපහසුතා ඇති සමාජ ස්ථරයන් හි, මිලදී ගැනීමට ඇති එක් වරක් පමණක් භාවිතා කළ හැකි කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය අවම ය. ඒ වෙනුවට සෝදා පාවිච්චිකරනා රෙදි කැබලි භාවිතා කරයි. මේවා බොහෝ විට වේලාගන්නේ ද කාටවත් නොපෙනෙන තැනක වැනීමෙනි. මාස් ශුද්ධිය ඇති වීම සමාජයේ කාන්තාවන්ට දැරිවියන්ට අතිශය වේදනාකාරී අත්දැකීමක් බවට පත්වෙන්නේ එලෙසය. මෙසේ අපිරිසිඳු රෙදි කැබලි හෝ වැඩි වේලාවක් පැළඳ සිටින සනීපාර්ක්ෂක තුවා මඟින් බැක්ටීරියා දිලීර ආසාදන සම මතුපිට මෙන්ම මෞත්ර ලිංගික පද්ධතිය ආශ්රිතවද ඇතිවීමේ අවධානමක් පවතී. පැය 4 කට වඩා භාවිතා කරන සනීපාරක්ෂක තුවා මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වන බව පර් යේෂණ මගින් පෙන්වා දී ඇත.
ඉන්දියාවේ ඔඩිෂා හි 2018 සිදුකර ඇති එවැනි පර් යේෂණයකදී පෙන්වා දී තිබුනේ මාස් ශුද්ධිය ඇතිවන කාලයේදී ඒ සඳහා භාවිතා කරන අපිරිසිඳු ආකාරයේ ක්රමොපායන් සහ කාන්තා ප්රජනන සෞඛ්යයට හානි ගෙන දෙන ආසාදන අතර සෘජු සම්බන්දයක් ඇති බවය. එහි අතුරු ප්රථිඵල ලෙස, ප්රජනන සෞඛ්යයට බලපාන තත්ත්ව මෙන්ම ජීවිත හානි ගෙන දෙන ආසාදන තත්ත්ව පවා ඇතිවිය හැක.
ඔසප් වීමේ කාලය සෞඛ්ය සම්පන්නව කළමනාකරණය කර ගැනීමට හැකිවීම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමකි. උතුම් මානවීය ගුණදර්ම අගයන, මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව වදවෙන සමාජයක එවන් පහසුකම් වෙනුවෙන් ප්රතිපාදන සකස්විය යුතුයැයි මා උදක්ම විශ්වාසකරමි.
ජෛව හායනයට ලක්විය හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි සනීපාරක්ෂක තුවා, ටැම්පොන් හෝ ඔසප් කෝප්ප භාවිතා කිරීම පුද්ගලික කැමැත්ත අනුව තෝරාගත හැක. එනමුත් ආර්ථිකමය ගැටළු නිසා යම් සමාජයක කාන්තාවන් සහ දැරියන් ඔසප් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් පවත්වා ගැනීමට නොහැකි එම නිසා ඔවුන් සෞඛ්ය අවදානම් තත්ත්වයන් හට නිරාවරණය වේ නම් එය ඛේදවාචකයකි.



Wrote for the Leo club of Sri Jayawardene University

බයෝ ගෑස් බස් සහ අපූරු නත්තල් ගස

$
0
0

( විදුසර පුවත් පත දෙසැම්බර් 8 )

“බයො ගැස් බස් ඒක හරි අපූරු සංකල්පයක් ප්‍රොෆෙසර්, මං හිතන්නේ ආහාර නාස්තියට ඒක හොඳ විසඳුමක්” තිරසාර සංවර්ධන ගෝලීය අරමුණු ගැන ප්‍රථම දේශනය තිබූ වේලාවේ තරුණ ප්‍රජා වෛද්‍ය අංශයෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් එසේ තම අදහස් ප්‍රකාශ කළේය. 

“නෑ ඒක හොඳ විසඳුමක් නෙමේ මම නම් ඒකට කැමති නෑ.” ඒ තමා කතිකාචාර්‍යවරියගෙ පිළිතුර.

 ඉවත දමන ආහාර වලින් වාහන දුවන එක ඇයි හොඳ නොවෙන්නේ ? අප හැමට ඇගේ පිළිතුර ගෙන ආවේ විමතියකි. යුරෝපයේ එවැනි බස් රථ බහුලව දක්නට ලැබේ. එය ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණි අපට පුදුමයක් ගෙන දුන්නේ, අප රටේ ආහාර හිඟය සහ ආහාර නාස්තිය පවතින නමුදු කැළි කසල බැහැර කරන්න නියමිත යාන්ත්‍රණයක් නැතිව,  ඒවා යම් භූමියක ගොඩ ගසනවා මිසක එයින් ඵලදායි යමක් සිදු නොවන නිසා ය. එම බස්‍ රථ වල “bio gas bus” කියා සටහන් කර තිබේ.             

ඇය එසේ කියන්නට හේතුව පැහැදිලි කරගන්නට කලින්  “තිරසාර සංවර්ධනය” කියන දේ නිතර ඇහෙන නිසා ඒ ගැන පැහැදිලි කරගනිමු. කාලයක්‍ තිස්සේම අපි කාලගුණ විපර්යාස ,වසංගත, සම්පත් බෙදී යාමේ විෂමතා වගෙ දෙවල් ගැන දිගින් දිගටම ඇඟිලි දිගු කළේ සංවර්ධනය නාමයෙන් සිදු කරනා සම්පත් විනාශයන්වලට. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය  යම් ක්‍රියාන්විතයක් දියත් කරන්නෙ1983 දී ඒ ගැන ක්‍රියා කරන්නට බ්‍රැන්ඩ්ට්ලන්ඩ් කොමිසම ( Brundtland Commission )පත් කිරීම මගින්. එහි වාර්ථාව එළි දක්වන්නෙ 1987 දී.  ලොකයෙ වර්තමාන පැවැත්ම සහ අනාගතයෙ සැකැස්ම ගැන එහිදී පුළුල් ලෙස සාකච්ජා කර තිබේ. 

තිරසාරත්වය යනු පෘථිවිය සහ එහි සම්පත් මගින් වර්තමාන අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරම්පරාව සඳහා ද ඒවා සුරකින ආකාරය වන අතර මෙහිදී සංවර්ධන ක්‍රියාවලීන් හුදෙක් ආර්ථික ප්‍රතිලාබ ගැන පමණක් අරමුණු නොකර, සාමාජීය සහ පාරිසරික සුරක්ෂිතභාවය සමඟ සිදු කරන ආකාරය පිළිබඳ පුළුල් ලෙස විස්තර කෙරේ.  අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධන ඉලක්ක, Sustainable Development Goals (SDGs) 17 සහ ඒ ඔස්සේ ප්‍රවේශ 169 මගින් සමාජය, පරිසරය සහ ආර්ථිකය එකට යා වුණු සංවර්ධනය පිළිබඳ සහ ඒ ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ඇත.  ස්වභාවික සම්පත්වලින් පරිසරය ආරක්ෂා කර ගනිමින් සමාජ ප්‍රගතිය සහ ආර්ථික සංවර්ධනය ළඟා කර ගත හැකි ආකාරය මේ දක්වා පැවති සම්මේලන සහ සම්මුතීන් පිළිබඳ ලිපි ලේඛණ පෙන්වා දේ.

මේ අරමුණු සියල්ල  2030 දී සාක්ෂාත් කරන්නට ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සකසන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලික වී ඇත .  සමාජ අසමතුලිතතා, කුසගින්න, දරිද්‍රතාවය යන මේවා අද බොහෝ රටවල් බැට කන ගැටළු  වන අතර ඒවා අවසන් කිරීමට ගෝලීය මැදිහත්වීම තුළින් ලබා ගන්නට හැකි බවට විශ්වාසයක් තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, හරිතාගාර වායු විමෝචනය වැනි දේවල් මානව වර්ගයාට වර්තමානයෙදී සහ අනාගතයේදි දැඩිව බලපාන බවද ඒ නිසා සිදුවන කාළගුණ විපර්යාසයන් නිසා අවතැන් වීම්, බව භෝග ගොවි තැන් සහ වගාවන් විනාශ කරන බවද වර්තමානයේ පවා අපට දකින්නට ලැබේ. ඉතින් මේ ගැන වගකීම් සහිතව මැදිහත් වීමක් කරන්නට අවශ්‍ය බව මේ ඉලක්ක ඔස්සේ සාකච්ජා කෙරේ. අප රටේ පවා, සංවර්ධනය යැයි කියමින් සිදු කරනා ලද විවිධ ගොඩ නැගීම් නිසා ජල ගැලුම්, නාය යෑම් වැනි හදිසි ස්වභාවික විපත් සිදුවෙනවා ඔබ පසුගිය කාලයේ අත් දකින්නට ඇති. එපමණක් නොවේ මේ නිසා බෝවන රෝගවල පැතිරීම ද බහුල විය හැක. එවන් ස්වභාවික ව්‍යසන නිසා මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස, පිරිසිඳු ජලය වැනි දෑ සපයා ගැනීමේ ගැටළු පැන නගින අතර එනිසා දේශපාලනික අස්ථාවර භාවයන් සහ ආර්ථික අවපාතයන් ඇතිවේ.  තිරසාර සංවර්ධනය සමඟ බැඳුනු 2030 අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතිය තුලින් නිසි  දේශපාලන නායකත්ව ප්‍රතිපත්ති සඳහා රාමුව සහ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කරන්නට සහ දේශපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික සැලසුම් මඟින් මැදිහත්වී ඇත. 

තිරසාර සංවර්ධන අරමුණු අතර ආහාර හිඟය වැලැක්වීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීම සඳහාද කටයුතු සිදු කෙරේ. ලෝකයේම මිනිසුන්ට සපයන්නට තරම් ආහාර ලෝකය තුල නිපදවෙන නමුත්, ඒවා නිසි ලෙස බෙදා හැරීමක් හෝ භාවිතයක් නැති කම නිසා ආහාර නාස්තියක් සිදුවේ. ඉතින් කතිකාචාර්‍ය තුමිය මුලදී පැවසූ, ඉවත දමන ආහාර වලින් නිපදවන බයෝ මීතේන් වායුව යොදාගෙන ධාවනය වන බස් රථ නිසා ආහාර නාස්තියට හොඳ පිළිතුරක් නොවන බව ය. ඉවත දමන ආහාර මගින් මීතෙන් වායුව නිපදවනවා වෙනුවට ඒ අහාර මිනිසුන්ගේ පරිභෝජනය සඳහා භාවිතා කිරීම මගින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් වන බව ඇය අපට වටහා දෙන්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ආහාර නාස්තිය වළක්වන ව්‍යාපෘතියක් මගිනි. තොග වෙළෙඳ පලෙන් හෝ සුපිරි වෙළඳ සැල් වලින්, ඉවත දමන්නට ආසන්න කල් ඉකුත් වෙන්නට ළඟ ආහාර මළු සාදා (food bag) අඩු මුදලකට අඩු ආදායම් ලාභී පවුල්වලට ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කර තිබේ. එනිසා වෙළඳපලින් කුණු කූඩෙට දමන ආහාර නාස්තිය අඩු වී, ඒ වෙනුවට තව දුරටත් එම ආහාර පරිභෝජනය සඳහා යොදා ගැනීමට හැකි වී තිබේ.  
“බයෝ ගෑස් හදනවා වෙනුවට , ආහාර හිඟය ඇති දැනෙන තැනකට ඒ ආහාර ටික නාස්ති නොවෙන්න පාවිච්චි කරවන එක තමයි වඩා හොඳ තිරසාර අරමුණ” කථිකාචාර්යවරිය පැහැදිලි කළාය.       
ඉතා ඉක්මනින් ආහාර පරිහරණය කළ යුතු වුවත් ඉතා අඩු මුදලකට අවුරුද්ද පුරා මේ ආහාර මළු ලැබෙන එක අඩු ආදායම්ලාභී පවුල්වලට බොහොම සහනයක් ගෙන දී තිබේ. ඇත්තටම මිනිස් අවශ්‍යතාවය සඳහා නිපදවන ආහාර කුණු කූඩයට යන එක වළක්වාලීම තුලින් ආහාර අර්බුදයට යම් සහනයක් ගෙන එනවා නේද ? එය ලංකාව වගේ රටක අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන්න හැකිනම් අප රටේ බහුතරයකට සහනයක් ගෙන දේවි කියා මට සිතේ. එමෙන්ම ඉහත පැවසූ මීතේන් වායුව සකස් කරන්නට ඉවත දමන ආහාර කුණු යොදා ගත්තද ඒ ආහාර වුවද ඉවත නොදමා පාවිච්චි කළ හැකිනම් එය අප වර්ථමාන ආහාර අර්බුදයට යම් තරමක සහනයක් ගෙන එනවා මෙන්ම ඉදිරි පරම්පරාවට ස්වභාවික සම්පත් සංරක්ෂණය කර තැබීමට පවා රුකුලක් වේවි. 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සමග සහ-සම්බන්දව, සියලු සංවර්ධන ක්‍රියාත්මක කිරීම මගින් පාරිසරික, සාමාජීය සහ ආර්ථික යන මේ සියළු ඒකක සහ-සම්බන්ද කර ගැනීමට අවකාශ ලැබේ. සෞඛ්‍ය-අධ්‍යන විශ්ව විද්‍යාල පිවිසුමේ සකස් කර ඇති මේ නත්තල් ගසේ තෑගි පාර්සල්, වර්තමානයට සහ අනාගතයට සුභ දායි පණිවිඩයක් ගෙන එන හොඳම සුභ පැතුම ලෙස මට දැනෙන්නේ එහෙයිනි. 

වැඩි දුර කියවන්න  
එක්සත් ජාතීන්ගේ සංවිධානය – තිර සාර සංවර්ධන ඉලක්ක https://sdgs.un.org/goals                                                  


ඒ ළමයි බලන්න එපා නෝනා !

$
0
0
මේ කථාව මට ලියන්න මතක් වුණේ හසු මල්ලි එක්ක අද උදේ මේ ගැන වෙච්චි කථාවක් නිසා.
ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ ආබාධ සහිත දරුවෝ කීපදෙනෙක්ම හිටියා. මගේ ආලවට්ටම කථාවට ඉතින් සෙරමල්ලා හරිම යාලුයි මා එක්ක. කාරුණික වෙන ඒක  ඇත්තට ම මිනිස්සු න් ට උගන්වන්න ඕනේ කියා හිතෙන්නේ රෝහල් වලදී 
ඉස්සර ප්‍රසව හා නාරි ඒකකයේ වැඩ කරද්දී උතුරු කොනේ ලොකු මිස් කියන්නෙත්... "ඩොක්ටර් ඉතින් අම්මලා ටික නලවාලා බබාල කරලා සූප්පු ගහලා යනවා අම්මලා බබාල වුණාම අපිට තමා කරදරේ ඉන්පස්සේ"කියලා. 
වෝඩ් රවුන්ඩ් ඉවර කරලා එද්දී අහනවා "ඔයාගේ බබලා ටික නැලෙව්වද ?"කියලා.
"අනේ ඒ අය පව් මිස්"  කියා ගත්තු ගමන්නේ අපි ඉන්නේ.

එහෙම කියලා ඒ විදිහ වෙනස් වුණේ නෑ කොළඹට ආවමත්. ඉතින් කලින් මම කලින් ලීව කතාවල හිටිය ලාවන්යා වගේම තමා අනිත් ළමයිනුත් හරි යාලුයි.

එහෙම එන ඩවුන්ස් සින්ඩ්‍රෝමය තිබ්බ එක පුතෙක් මම එයාගේ හර්දය පෙනහළු සේරටම නලාව තිබ්බ ට පස්සේ එයා ම නලාවේ බෙල් කොටස අරන් ඔළුවට තියලා කියනවා එයාගේ ඔලුව බලන්න එතනයි ප්‍රශ්නෙ කියලා. බොහෝවිට මෙයාලා අභිනයෙන් පෙන්වන්නේ දේවල්.

ඒ තමා ඒ දරුවාට එයා ගැන තියෙන වැටහීම. මේවා එක්ක බොහෝවිට හිත ඇතුලෙන් අඬමින් කඳුළු උනන ඇස් දෙක හංගාගෙන වැඩ කරන්නේ.

දවසක් මම බලද්දී ක්ලිනික් එකේ කාලගොට්ටියක්... ඒ දරුවෙක්ට මා ළඟට යන්න එපා අනික් වෛද්‍ය වරිය ළඟට යන්න කියලා. මාවම හොයාගෙන ඇවිත් මම නැත්නම් බෑ කියලා ළමයා අම්මගේ අතින් ඇදගෙන යන්න හදනවා. 
"ඩොක්ටර් ඉන්න තත්ත්වේ අනුව ඔහොම ළමයි බලන්න හොඳ නෑ"වැඩිහිටි සේවිකාව එහෙම කරුණු දක්වනවා. මම ගර්බණි එතකොට.

"අනේ මොනවටද එහෙම කරන්නේ. ඔය වගේ ළමයි බල බල තමා කාලේ ගෙවෙන්නේ. කිසි ප්‍රශ්ණයක් නෑ. බඩේ ඉන්න කෙනා හැදෙන විදිහකට හැදෙයි. ඇරත් ජාන සහ කර්ම සැකැස්ම අපට වෙනස් කරන්න බෑනේ "වගේ අදහස් ගොඩක් කීවා මම.

මගේ යෙහෙළිය රන්දිකාගේ පුතා අසනීප වුණාම එයා එක්කම ඇඩ්මි වුණේ මගේ වාට්ටුවෙ.
රන්දිගේ දරුවා හිටපු ඇඳට එහා ඇඳේ හිටියේ cerebral palsy නිසා ආබාධිත තත්තවය ට පත්වූන බබෙක්. ඒ අම්මත් රන්දිකට කියලා තිබ්බා මේ දරුවා දිහා බලන්න එපා ඔයාට හොඳ නෑ කියලා ... මොකද රන්දිකාත් ගර්බණි තත්ත්ව යෙන් හිටියේ එවෙද්දි.

අන්න එහෙමයි හැටි මේ සමාජයේ... ඇයි අපි ඒ දරුවොන්ට වෙනම සලකන්නේ ? ඇයි අපි සුබ දේ අසුබ දේ කියා ඒ දරුවන් බලන්නවත් හොඳ නැති අය ලෙස වර්ගීකරණය කරන්නේ. එහෙම දරුවෝ බැලුවා කියා කුසේ ඉන්න දරුවා එහෙම වෙනවා කියා බොරු ආකල්ප වැරදි අදහස් සමාජය තුළ ස්ථාපිත වුණේ කොහොමද ?

මට මතකයි තව අපේ වෛද්‍යවරයෙක් වුණ උදිත අයියා කියන කථාවක්. "එහෙම බබලා හරිම වාසනාවන්තයෝ. පවුලටම වාසනාව ගෙනාවා. මෙයාලව හොදින් බලාගන්න . ඔයාලා බලන්න ඔයාලගේ පවුලම දියුණු වෙනවා"කියලා එයා ඒ අලුත් අම්මලාට තාත්තලාට කියනවා. 





බයිසිකල් පැදීම....ලෝකයේ කතා

$
0
0
බයිසිකල් පැදීම..
(විදුසර ලිපි අංක 3, 2022 ජනවාරි පස් වැනි දා)
වෛද්‍ය බෝදිනි සමරතුංග

යුද්ධය අවසාන වූ සමයේ උතුරු ප්‍රදේශයේ මහ රෝහලක සේවය කරන කාලයේ අප නගරයෙන් ඔබ්බෙහි වූ ගම්මානවල පැවැති ජංගම වෛද්‍ය කඳවුරුවලට සහභාගි වුණා. විශාල වූ උදර සහිත, මන්ද පෝෂණයෙන් පෙළුණු දරුවන් දැකීම එකල සුලබ දසුනක්. එහෙත් ඉන් වසර ගණනාවකට පසු අග නගරය ආශ්‍රිත රෝහල්වල දී අප කෙමෙන් කෙමෙන් දුටුවේ අධි ස්ථුලතාවය සහිත නමුදු පෝෂණ ඌනතා තිබූ දරුවනුයි.         

“කොහොම ද මම බර අඩු කරගන්නෙ?” එසේ අසමින් සිටි මා ඉදිරියෙ සිටිය යෟවනයා අධික ලෙස ස්ථුලතාවයට පත් වී, ඒ නිසා ම බෝ නො වන රෝග ගණයට වැටෙන දියවැඩියාව වැළඳීමේ අවදානමක් පෙන්නුම් කළා. උසට සරිලන බර (BMI) හෝ නියමිත ඉන වට ප්‍රමාණය (waist circumference) යන මේවා මඟින් මැන බලා රෝගී තත්ත්වයන්ට ලක් වීමේ අවදානම සොයා බලන්නට හැකියාව තිබෙනවා. ළමා වාට්ටු සායනවල දී උස සහ බර සලකුණු කරද්දී එහි වෙනසක් පෙන්නුම් කරන දරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ විට පෙනී යන්නේ, අහිතකර ආහාර රටා සහ ශරීර ක්‍රියාකාරකම් නොමැති වීම මෙම තත්ත්වයන්ට හේතු වන බවයි.     

දිගු කාලයක් හිඳගෙන සිටීම නිසා දරුවන් පමණක් නො වේ වැඩිහිටියන් ද බොහෝ සෙයින් අචල ජීවිතයක් ගත කරනු අද දක්නට හැකියි. මේ අචල ජීවන රටාව එහෙමත් නැත්නම් එක තැනකට වෙලා දිගු කාලයක් සිටීමේ ආදීනව දැඩි ලෙස ලෝකය ගිල ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නේ ඒ හා බැඳුණු රෝග ගණනාවක් ලොව පුරා මරණවලට වගකියන නිසයි. වර්තමානයේ ශාරීරික ක්‍රියා කාරකම්වල යෙදීම සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලෙස හැඳින්වෙනවා. එමෙන් ම මා මීට පෙර සුව මඟ මතක ලිපිවල සඳහන් කළ පරිදි තිරසාර සංවර්ධන අරමුණු සඳහා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම සහ එක තැන රැඳී ඉන්නා කාලය අඩු කිරීම ඇතුළත් වෙන්නේ එ තුළින් සෞඛ්‍ය අංශයේ මෙන් ම එසේ නො වන අරමුණු බොහොමයක් සාක්ෂාත් කරගැනීමට මඟ පාදමින්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සතියකට මිනිත්තු 150ක පමණ ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම් අකාලයේ ඇති වන මරණ අනුපාතය 10%කින් අඩු කළ හැකි බවයි. නවීන ලෝකයේ තාක්ෂණික දියුණුව සහ තොරතුරු හුවමාරුව කොයි තරම් වැඩි අගයක පැවතිය ද භෞතිකමය වශයෙන් අක්‍රිය නිසා එය සෞඛ්‍යය කෙරෙහි අනිටු විපාක ඇති කරනවා. 
දරුවන් බොහෝ දෙනෙක් පාසල් තුළ වැඩි කාලයක් ගත කරන්නේ හිඳගෙන. ඉන් පසු අමතර පන්ති හෙවත් ටියුෂන් ගන්නේ ද හිඳගෙනයි. දවසෙන් වැඩි කාලයක් පාඩම් සඳහා ගත කරනා ඔවුන් හට ව්‍යායාම සඳහා කාලයක් ඉතිරි වන්නේ නැහැ. සමහර දරුවන් ශරීර සුවතා ව්‍යායාම සඳහා ජිම් එකකට වැනි විශේෂිත තැනකට යන නමුත් නිසි ව්‍යායාම පිළිබඳව හැදෑරීමක් හෝ මඟ පෙන්වීමක් නැති තරම්. ආහාර රටාව වුවත් සුවදායී නැහැ. ක්ෂණික ආහාර සහ පිෂ්ටය අධික තෙල් සහිත ආහාර දරුවන් අතර ප්‍රචලිතයි.  තිරසාර සංවර්ධනය ඇති කරන ශාරීරික ව්‍යායාම් ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කරන ඊවදරබ්ර් ඇතුළු පිරිස පවසන්නේ නිසි ශාරීරික ක්‍රියාකාරකම් කළමනාකරණය තුළින් බලශක්ති අර්බුදයට පවා විසඳුමක් ලැබෙන බවයි. ඒ තමන්ගේ දිනපතා ගමනාගමනය සඳහා පා පැදි භාවිතය හෝ පා ගමන් තුළින් ඉන්ධන දහනය නිසා ඇති වන හරිතාගාර 
වායු දූෂණය අවම වන නිසා. එනමුදු ලෝකයේ සෑම රටක් ම පා පැදි හෝ පා ගමන් සඳහා සුරක්ෂිත භාවයක් ඇති තැන් නො වෙයි. මෙහි දී, අනාරක්ෂිත මං තීරු, දවසේ සෑම කාලයක ම ආරක්ෂිතව ඇවිදිය නො හැකි සමාජ තත්ත්වයන් ඇති නගර නිසා, හෝ ආබාධිත තත්ත්වයන් නිසා මිනිසුන් පාගමන් හෝ පා පැදි භාවිතයෙන් වැළකී සිටිනවා. තවත් සමාජයන්හි සංස්කෘතික ජීවන ක්‍රම, ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති කරනා බෙදීම් නිසා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සීමා වී තිබෙනවා.      
මා වෛද්‍යවරියක ලෙස උතුරු කොන රෝහලේ සේවය කරන කාලයේ භාවිත කළේ පා පැදියක්. එය මගේ ප්‍රථම සහ එක ම වාහනය වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ පිරිසකගේ ප්‍රවාහන මෙවලම පා පැදිය වූ නිසා එය අපහසුවකින් තොර ව පරිහරණය කළ හැකි වූවා.  
“වෛද්‍යවරියක වී බයිසිකලයක් පදින්න ලැජ්ජා නැද්ද?” එසේ විමසුවේ ඇතැම් දකුණු කොන මිතුරන්.
එවන් වූ සමාජ ආකල්ප නිසා හිරු එළිය අවුරුද්ද පුරා ම ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටවල වුව ද ශරීරයට සුවය ගෙන දෙන පා පැදි භාවිතයෙන් සමාජය ඈත් වී සිටිනවා. පා පැදි භාවිතය තුළින් ඇති වන ප්‍රතිලාභ රැස දන්නේ නම් අප සමාජය වැඩි වැඩියෙන් පා පැදිය වෙත යොමු වනු ඇතැයි මට සිතෙනවා. මා දකින යුරෝපීය රටවල බයිසිකලයක් පැදගෙන රෝහලට හෝ වැඩපළට යෑම හරි ම සුලබ දසුනක්. වසරෙන් බාගයක් ම හිමෙන් වැසී යන මේ රටවල වුව ද බයිසිකල් මං තීරු පැය විසි හතර පුරා එළිය කරන අතර ඒවායේ හිම දිය වෙන්නට විදුලියෙන් උණුසුම් කරන බව ද දැකිය හැකියි. ඉතින් දැඩි හිම පතනයක් තිබිය දී වුව ද නගරය ආශ්‍රිත පා පැදි සහ ඇවිදින මං තීරු ඉතා පහසුවෙන් ආරක්ෂිත ව ගමන් කළ හැකි ලෙස පවතිනවා. දියුණු සමාජයන්හි එසේ වැඩි වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරද්දී දියුණු වෙමින් පවතින රටවල වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ රෝද හතරේ වාහනයක් ගැනීමටයි. ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල ආයතන ශරීර සුවතා ව්‍යායාම මධ්‍යස්ථාන (ජිම්) සඳහා අවුරුද්ද පුරා නොමිලේ භාවිත කිරීමට පහසුකම් සපයන අතර එවන් ආයතන සඳහා බදු සහන පවා ලබා දෙන බව සඳහන් වෙනවා. අධි රුධිර පීඩනය, හෘද රෝග මෙන් ම දියවැඩියාව වැනි බෝ නො වන රෝගවලින් වැළකීම සඳහා ද ශරීර සුවතා ක්‍රියාකාරකම්වල යෙදීම උපයෝගී වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශාරීරික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් සඳහා ලෝකයේ රටවල ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම උදෙසා ඔවුන් ක්‍රමවේද සකස් කර මූලිකත්වය ගෙන ඇති බවයි. ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිත ස්ථාන නිර්මාණය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාශීලී පුද්ගලයන් නිර්මාණය කිරීම උදෙසා මහජනතාව දැනුවත් කිරීම මඟින් වත්මන් සහ අනාගත පරම්පරාවන් හට බෝ නො වන රෝගවලින් ඇති අනිටු ප්‍රතිඵල මැඬපැවැත්වීමට හැකි වනු ඇති. එමඟින් බොහෝ  තිරසාර සංවර්ධන අරමුණු  සාක්ෂාත් කරගැනීමට හැකියි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට බයිසිකල් පැදීම දිරිමත් කිරීම සහ ආරක්ෂිත පාපැදි මාර්ග හඳුන්වා දීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකි අතර බලශක්ති පරිභෝජනය, අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, ඛනිජ ඉන්ධන පරිභෝජනය සහ මාර්ග තදබදයට ද එය විසඳුමක්. කොතෙක් මේ ගැන ලීව ද පා පැදි සඳහා වෙන් වූ මංතීරු නොමැති විට නගර තුළ පා පැදි ගමන භයංකර යැයි මට සිතෙනවා. බොහෝ දියුණු රටවල පවා පා පැදි සඳහා වෙන ම මං තීරු සකස් වී තිබෙනු දක්නට හැකියි. 

Ride For Life Sri Lanka වැනි සමාජ මාධ්‍ය සමූහ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් අප රට පා පැදි ගමනාගමනය ස්ථාපිත කිරීම උදෙසා සාමූහික ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරනා බව පෙනෙනවා. මේ සටහන් කියවන දුවා දරුවන් වෙත කෙරෙන ආයාචනය නම් ශරීර ක්‍රියාකාරකම් හෙවත් ව්‍යායාම්වල යෙදීම අනිවාර්යයෙන් සිදු කිරීමට කුඩා කල සිට ම පුරුදු විය යුතු ය කියායි. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථානයකට හෙවත් ජිම් එකකට යෑම අත්‍යවශ්‍ය වන්නේ නැති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. බයිසිකල් පැදීම, යෝගා ව්‍යායාම, සුම්බා වැනි නර්තන ව්‍යායාම ක්‍රම හෝ අධික වේගයෙන් ඇවිදීම, දුරකථන සංවාදවල නිරත වන අතරෙහි ඇවිදීම, ගෙදර දොර පිරිසිදු කිරීම් වුව ද අධි බලයක් යොදා කිරීම තුළින් නිසි ශාරීරික ව්‍යායාම පරාසයක් කරගත හැකියි. දිනකට එවැනි අධි ක්‍රියාශීලී මිනිත්තු 30ක් ඔබට ශරීර සුවතාවය ඇති කරන බව පර්යේෂකයන්ගේ මතයයි.

පසුව ලියමි... දැඩි රස්නය හෝ වැහි ඇති දිනවල පවා බයිසිකල් ධාවනය කරගෙන වැඩට හෝ ඉස්කෝලෙ පැමිණෙන අය සඳහා වැහි කබා හෝ ඇඳුම් මාරු කර ගන්නට ස්ථාන සකස් විය යුතු ය. ඒ සඳහා ප්‍රමාණවත් සංවිධාන හෝ ආයතන සවියක් ලැබීය යුතුය. 

වැඩි දුර කියවීම සඳහා

Bjornara et al., (2016) Is there such a thing as sustainable physical activity? DOI:10.1111/sms.12669 

WHO Report (2017)  towards more physical activity, https://www.euro.who.int/data/assets/pdf_file/0018/353043/2017_WHO_Report_FINAL_WEB.pdf
            
Ride for life සමූහයේ ලින්ක් එක-  https://www.facebook.com/groups/1004298936724795/?ref=share

පසුගිය විදුසර පුවත් පත් කලාප සඳහා http://www.vidusara.com/

කළු පෙනහළු පෙන්වූ මහාචාර්යවරිය

$
0
0

විදුසර පුවත් පතේ පලවු ලිපියකි


මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල ව්‍යූහය, මිනිස් සිරුරේ සෛල වෙනස් වෙන හැටි සහ වෙනස්වන විට දකින දේ වටහාගන්නා ව්‍යාධිවේදය කියන විෂය උගන්වන මහාචාර්යවරිය පළමු පාඩමට පර්යේෂණාගාරයට ආපු ගමන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

"කියන්න බලන්න ඔයාලා අතරේ සිගරට් බොන අය කවුද?” කියන ඒ තමා ඇය ඇසූ ප්‍රශ්නය.

අපි නම් ඒ වන විටත් දැනගෙන හිටියා අප අතර දුම් බොන්නේ කවුද කියලා. ඇත්තටම අපේ යාලුවන්ගේ සිගරට් බීම අපට වදයක් වෙලා තිබුණේ. ඒ අතරත් බෙහෙවින්ම දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය යහලුවා ඒ බව දන්න නිසා අපි අසල කවදාවත් සිගරට් බීවේ නෑ. එයා සිගරට් බොන්න පටන් අරන් තිබුනේ තරුණ කාලෙදී, ඒක ඒ රටේ හැටි. අපේ රටේ ඒ තරම් වයසකදී සිගරට් බොන අය අපි දැකලා තිබුනේ නැති තරම්. ඒ අපේ රටේ දුම් බීමට එරෙහිව ගෙන ගිය සෞඛ්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය නිසා. 

දුම් බීම ලොව පුරා මරණ මිලියන අටකට වගකියන බවත් සිගරට් බොන අයගෙන් අඩක්වත් ඒ නිසා ඇතිවන අතුරු ආබාධ නිසා මියයන බවත් ලෝක සෞක්‍ය සංවිධානයේ දත්ත වාර්ථා කරනවා. සෞඛ්‍ය අංශ නොයෙක් ආකාරයෙන් අනතුරු ඇඟෙව්වත්, දුම් කොළ ආශ්‍රිත ඇබ්බැහිවීම් අඩු කරගන්න අපහසු මිනිසුන් එයට ඇබ්බැහි වීමේ තත්ත්වයක් ඇති නිසා. දුම් පානය සහ දුම් කොළ ආශ්‍රිත විවිද නිශ්පාදන භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු අතර, පිළිකා, හෘද රෝග, දියවැඩියා, අධික රුධිර පීඩනය වගේ බොහෝ රෝග දක්නට ලැබෙනවා. ඒවගේම තමා දුම් රහිතව භාවිතා කරන දුම්කොළ නිශ්පාදන නිසා පිළිකා තත්ත්ව බොහෝමයක් ඇතිවෙනවා. එයින් සිදුවන ආර්ථික හානිය ගැන කියන සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ 80% වඩා දුම් කොළ භාවිතා කරන්නන් සිටින්නේ මධ්‍යම සහ අඩු ආදායම් ලබන පිරිස අතර බව.
දැන් අපේ යහළුවාගෙ කතාව දිහා බලමු. අපි කොච්චරවත් සිගරට් බොන්න එපා කිව්වට එයා කීවෙම, ඒක පුරුද්දක් සහ ඇබ්බැහියක් වෙලා කියලා. මේ අවුරුදු හයක විතර පුරුද්ද, අපි කිව්වා කියලා නවත්වන්න බෑ කියලාත් කියනවා. වැඩිහිටි අයෙක්ට යමක් පැහැදිලි කිරීම අපහසු නිසාත් යුරෝපා සමාජයේ තමාගේ හෝ අනෙකාගේ විදිහ වෙනස් කරන්න යන්නේ නැති නිසාත් අප ඒ හැටි එයාට කියන්න ගියෙත් නෑ. දේශන හෝ වැඩමුළු ඉවර වුණු ගමන් අතර මැද පොඩි විවේකයෙත් ඔහු එළියට දුවලා සිගරට් බොනවා.දුම්කොළ පිළිකා කාරකයක් වන අතර පිළිකා වර්ග බොහෝමයක් ඒ සමඟ ඈඳී තිබෙනවා.
පෙනහළු, ස්වරාලය, මුඛය , අන්නස්‍රෝතය, මුත්‍රාශය, වෘක්ක, බඩවැල්, ගුදමාර්ගය, ගැබ් ගෙල සහ ලියුකේමියා තත්ත්වය දුම්කොළ නිසා පිළිකා තත්ත්වයන් ඇතිවන ඉන්ද්‍රිය ලෙසට ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතන පෙන්වා දෙනවා. දුම් රහිත හෝ දුම් සහිත යන මේ ක්‍රමවලින්, දුම් කොළ වලින් මිනිස් සිරුරට සිදුවන හානිය බොහොම වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉතින් උදෙන්ම අපේ මහාචාර්යවරිය ඇවිත් "සිගරට් බොන්නේ කවුද?"ඇහුවම ඒ වෙද්දි එහෙම බොන එකම කෙනාව, එයාටත් කලින් අපි පෙන්නුවා. 

"ආ මට ඔබට තෑග්ගක් තියෙනවා"කියූ ඇය වීදුරු පෙට්ටිවල ද්‍රාවණ පුරවා ගිල්වා තිබ්බ මිනිස්

අවයව අතරින් පෙනහළු දෙකක් තෝරාගෙන ඇවිත් ඔහුගේ මේසය උඩ තැබුවා.

"මෙන්න ඔයාගේ පෙනහළු දෙක.. දැම්ම තියා බලාගන්න"කියල ඇය පාඩම පටන් ගන්න

එයාගේ මේසෙට ගියා. කළු ගැහිච්ච පෙනහළු දෙකක් මේසය මත තිබුණා.

අපේ යාලුවා සෑහෙන වේලාවක් කල්පනා කරමින් හිටියා.

"ඇයි ප්‍රොෆ් මෙහෙම කරන්නේ"කියලත් ඇහුවා.

"යථාර්තයෙන් පැනලා යන්න බෑනේ දරුවා. කොහොමත් ඕටොප්සි කරද්දී ඔයාට මේවා හොඳටම පෙනෙයි. ආතෙරෝස්කෙලෝසිස් තත්ත්වය ඇති ධමනි මං පෙන්වන්නම්කෝ, යුරෝපේ, අපිට smokers lungs (දුම් බොන අයගේ පෙනහළු) සහ , Artherosclerosis (ධමනි බිත්ති ඝණ වීම්) අඩු නෑ"මහාචාර්‍යවරිය පැහැදිලි කරා. ඕටොප්සි කියන්නෙ ප්‍රාණය නිරුද්ධ සිරුරු විච්ජේදනය කර මරණයට හේතු සොයා බලන එකට. දෙවෙනි දවසෙත් මහාචාර්‍යවරිය පන්තියට ආ සැනින් බැලුවේ ඔහු ඉන්නවද කියලා.

"ආ කොහොමද දරුවා... ඉන්න ඉන්න.. මෙන්න ඔයාගේ පෙනහලු"අර වීදුරු පෙට්ටිය ඔහුගේ මේසය මත තියලා ඇය පාඩම පටන් ගන්නේ.

මේ පිටුවේ ඇති පින්තූරේ දැක්වෙන්නෙ smokers lungs, හෙවත් සිගරට් බොන කෙනෙක්ගේ පෙනහළු දෙකක්. ඔබ සිගරට් බොනවානම් මේ පින්තූරේ බිත්තියේ ගහගන්න. ඉන්පස්සේ දිනෙන් දින ඔබේ පෙනහළුවලට වෙන දේ ඔබේ හුස්ම ටිකට වෙන දේ වටහාගන්න. සිගරට් කියන්නේ ශරීර සෞඛ්‍යට අහිතකර දේවල් ගොන්නකින් එකක් තමා. ඒත ඒක අපට
ලේසියෙන් වලක්වාගත හැකි හානියක් ලෙස හඳුනාගෙන ඇත්තේ.

අපේ යාලුවා කීවේ එයා බීපු සිගරට් ප්‍රමාණයේ තරමට පෙනහළුවලට සිරුරට සිදුවුණු ඒ හානියෙන් මිදෙන්න අවුරුදු දහයක්වත් ගතවෙයි කියලා. ඒවගේම තමා දුම්කොළ ඇබ්බැහිය සහ දුම්පානයට වැට බඳින්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා (WHO FCTC). එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ සාකච්ඡා කරන ලද පළමු ගිවිසුම යි. එය, උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍යයක් සඳහා මිනිසාට ඇති අයිතිය යළි තහවුරු කරන, සාක්ෂි මත පදනම් වූ ගිවිසුමක්. වෙළඳපල ඇති ඉල්ලුම, රටවල්වල ඇති විවිධ වෙළඳ සම්බාධක ලිහිල් වීම, වෙළඳපොළේ නිදහස වැනි කාරණා නිසා දුම්කොළ වසංගතය පැතිරීම පහසු කරයි. අප රට ද මේ ගිවිසුම හා එකඟතාවය පළකර එයට එකතු වූණේ 2016 දී ය. දුම්කොළ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සඳහා මිල සහ බදු වැඩි කිරීම , ප්‍රචාරණය වැලැක්වීම, ප්‍රජාව, දුම්කොළ දුමාරය ට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම. දුම්කොළ නිෂ්පාදනවල අන්තර්ගතය නියාමන ය කිරීම වැනි දෑ මෙන්ම අප රටේ පවා ක්‍රියාත්මකවන බාල වයස්වල අයට දුම්වැටි විකිණීම තහනම් කිරීම, සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහිත දවටන, පොදු ස්ථානවල දුම්පානය වැලැක්වීම වැනි බොහොම සාර්ථක දුම්කොළ දුම්වැටි ප්‍රචාරණය වළක්වන ක්‍රමවේද මේ හරහා දියත් වෙනවා.

ඒත් තවමත් දුම් රහිත දුම්කොළ භාවිතය අතින් අප රට වගේම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් ඉන්නවා. බුලත් විට වැනි දේ ඔස්සේ දුම් රහිත දුම්කොළ භාවිතය හරහා කලින් පැහැදිලි කළ පිළිකා, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම තිබෙනවා. දුම්කොළ වවන තැන්වල වැඩකරන සේවකයින්ට පවා සෞඛ්‍ය හානි ඇතිවෙනවා. ආර්ථිකයට ඒ තුලින් මූල්‍යමය ශක්තියක් සැපයෙන නිසා දුම්කොළ වගාවට වැට බඳින්නට තවම අපහසු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අදවන විට මේ දුම් රහිත දුම්කොළ භාවිතය අවම කරන්නටත් විවිධ විදි විධාන ක්‍රියාත්මක වෙනවා. කළු පෙනහළු බැලූ යහළුවා තුළ හරි අපූරු වෙනසක් සිදුවෙනවා. තවත් දවස් දෙක තුනකට පස්සේ ඔහු මුළු පන්තියටම කියනවා,

"අවුරුදු 16 සිට නොකඩවා දුම් බීව මම මෙතැන් පටන් දුම් බොන්නේ නෑ. ඒක එහෙම තමා..ඔයාලා පිළිගන්නවානම් පිළිගන්න. ප්‍රොෆ් ඔයාට තමා මේකේ ප්‍රණාමය. මම බීපු දුම් තොගේට මගේ පෙනහළු දෙක දැනටමත් මෙහෙම වෙලා ඇති ඒත් තව අවුරුදු හතක් අටක් යද්දී මේ සියල්ල ඉවත්වෙලා යතා තත්ත්වයට පත් වෙයි."එහෙම කියලා එයා ආයෙම ඒ කළු පෙනහළු සහිත වීදුරු පෙට්ටිය ගිහින් රාක්කයෙන් තියනවා.අපි හැමෝටම එතැන් පටන් තිබ්බ ප්‍රශ්නේ යාලුවා අපට බොරුවක් කරනවාද කියලා බලන එක. සතියක් තිස්සේ අපි එක්කම රෝහල් සායන සියල්ලට යනවා. කිසිම ආකාරයකින් සිගරට් එකක් ගැන කතාවක් නෑ.

"ඔයාට නිකොටින් පැච් එකක්වත් එපාද ?” බැරිම තැන කෙනෙක් අහනවා. සිගරට් බීම නවත්වන්න අවශ්‍ය අය සමහර විට විකල්ප ක්‍රම භාවිතා කරනවා. ඒවා නිකොටින් පැච් හෙවත් දුම්කොළවල අඩංගු නිකොටින් නම් රසායනය කෘතිමව හම හරහා නිකුත් කරන ඇලවුම්, ඊළඟට වෙනත් රසායන අඩංගු දුම් පයිප්ප වැනි දෑ තිබෙනවා. ඒත් පර්යේශන පෙන්වා දෙන්නේ ඒවා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන්නෙ නම් ඒවා අඩු කාලයකින් භාවිතය නවත්වන්න කියලයි. යහළුවා ඒ විකල්ප ප්‍රතික්ෂේප කරනවා.

"නෑ එපා. හිතට කීවා මේක නවත්වමු කියලා. දැන් ඇති කියලා හිතුවා ! එච්චරයි"එයාගේ කතාවෙන් අපි පුදුම වෙනවා.

"හිතට පුළුවන් නවත්වන්න. ඇඟේ ප්‍රශ්න ඉවසන්න ඕනෙ"අවුරුදු දෙකක හමුදා සේවය එහෙම නිමකරලා වෛද්‍යවරයෙක් වෙලා දැන් විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න පූහුණුව ලබන මිතුරා කීවා.

එයා ආය කවදාවත් සිගරට් බිව්වේ නෑ.


වැඩිදුරකියවන්න, මෙහි කරුණු උපුටා ගත් තැන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ පිටුව https://www.who.int/news-room/fact-sheets/detail/tobacco
FCTC ගැන - https://www.who.int/fctc/text_download/en/

Tobacco growing and sustainable development goals, Kulik, M.C. (2017) doi: 10.2471/BLT.16.175596

ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය, දුම්කොළ සම්බන්ද විස්තර - https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/tobacco 




කඩල ඇට නාහේ දමාගත් අයියා සහ නංගි

$
0
0
නංගිගෙ නාහෙටත් කඩල් ඇට රිංගවා තමන්ගේ නාහෙටත් දමාගෙන උතුරු කොන රෝහලට ආ පැංචියි එයාගේ අයියයි මට තවමත් මතක, එදා හදිසි ඒකකය වෙත කතා කළ අප කාටත් උගුර කන නාසය සම්බන්ද අත්දැකීම් නොතිබුණු නිසා ය. උතුරු කොන රෝහලේ අප වැඩ කළ එකක වලට අමතරව අපට තිබෙන දැනුම සහ අත්දැකීම් මත හදිසි අවස්ථා වලදී උදව් කරන්නට ද සිදු වේ. හොඳ වෙලාවට "කෝකටත් තෛලය"බවට පත්වන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් සිටින නිසා ඔහුගෙන් ඇසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් අත් දැකීම් ඇති බව කියා විගහින් එහි ඇවිත් උපකරණ කට්ටලය රැගෙන කඩලා ඇට පෝලිම නාහයෙන් සහ කන් වලින් එළියට ගත්තේ අපි හැම ගේම හිනා සහ ඒ දරුවන් වෙත එල්ලවූ අම්මගේ බැනුම්  මධ්‍යයේය. ඒ නිසාම මම ද සෑහෙන්න ඒ ගැන විමසිල්ලෙන් සිටියෙමි. 

දීපවාලී දිනයක මගේ දුව ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ටීචර් නළලත මොට්ටුවක් ඇලවූයෙන්
"මේක කටේ දමා ගනීවි"කියා මම ඊට විරුද්ධ වුවද ඇය කීවේ ඔවුන් එසේ නොවන්නට හොඳින් බලා ගන්නා බව ය.

හවස මොට්ටුව පෙනෙන්න නොතිබුණත් ගෙදර ඇවිත් මළ පහ දැමූ විට ඒ මොට්ටුව පැම්පර් එකේ මළ පහ සමග  ලස්සනට බැබලෙමින් තිබුණේ මට ටීචර්ව මතක් කරමිනි. ඒවගේම එක්වරක් රතු කහ වර්ණ චෝක් කැබලි මළපහ සමග දිදුලමින් තිබුණි. 

තව දිනයක මගේ රාත්‍රී වැඩ කාලයේ පැමිණියේ කුඩා පැංචන් දෙදෙනෙකි. කන් වල වැලි පුරවන් තිබුණේ මුහුදු වෙරළේ නාන්න ගිහින් සිටියදී ය. එසැනින් ඔවුන් උගුර කණ නාසය ඒ කකය වෙත යොමු කලේ කනෙන් එකක් පිරවුණු මුහුදු වැලි සමග ය. තවත් දරුවෙක් ප්ලාස්ටික් බට කැබැල්ලක් කටේ දමා පිඹිමින් සිටියදී හුස්ම සමග එයා ස්වරාලයේ ඔස්සේ පෙනහල්ල දක්වා ගොස් තැන්පත් විය. එය ගැනීමට කඩිනමින් ළමා රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ගෙන ගියා මතක ය. 

එසේ යම් හානි අවම දෑ ගිල දමා පැමිණ  පසු ඒ දරුවන්ට මළපහ යන තුරු... "ගියාද ගියාද "කියා අසමින් සිට එම ද්‍රව්‍ය මළපහ ඔස්සේ පිට වූ විට මව්වරුන් සමග අපි ද ජය ගෝෂා නගමින් සැනසුම සුසුම් හෙලුවෙමු. 

ළමයි එසේමය. පරිස්සමින් බලා ගත යුතුය. පොඩි පමාවඇති ලොකු ලොකු අවුල් වෙන්නට. 

කුඩා දරුවන් මෙලෙස අහුවෙන සියල්ල කටේ දැමීම සාමාන්‍ය වර්ධනයේ කොටසක් වුණා ට 1995/ සිට  2015 දක්වා රෝහල්ගත වීම් ගණනය කළ පර්යේෂකයන් ඔහායෝ රෝහලේ සංගණනය කදි සොයා ගෙන තිබෙනවා ඒ රෝහල්ගත වීම් 2015 වන විට දෙගුණයක් වි තිබෙන බව. එමෙන්ම 75%කම අවුරුදු 5 ට අඩු දරුවන් බව. ගිල දැමූ දෑ අතර... කාසි , සෙල්ලම් බඩු කෑලි, ස්වර්ණාභරණ , බොත්තම් බැටරි ලෙස හදුන්වන පැතලි බැටරි සහ බෝල්ට් ඇන ස්කුරුප්පු ඇන සඳහන් කර තිබෙනවා. ආභාරණ ගිල දැමීමට ගැහැණු දරුවන් අතර බහුල බවක් සඳහන් කරනවා. 

ඇපල් කෑල්ල හිරවෙලා රෝහලට ගෙන එද්දිත්  මිය ගොස් සිටි දරුවෙක් ගැන මට මේ ලියන අවස්ථාවේ දී මතක් වේ. එමෙන්ම කටින් කැඩූ පොලිතීන් කෑල්ල,  ස්වරාලය අසල හිරවි හුස්ම ගැනීමට අපහසුවෙන් ඇඩමිට් කළ දරුවා ගේ කැස්ස සමග එය යන්තම් එළියට ආ හැටි මතක් වේ. 

බොහෝ විට ඔවුන් ගිල දමන කෑලි බෑලි මළපහ සමඟ පිටවෙන නමුදු අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති spincters හෙවත් වැහුම් ස්ථාන වලින් පිටවෙන්න ට නොහැකි වීම. චලනයේ අවුල් නිසා සිර වීම  සිදුවුවහොත් බඩවැල් තුළ යම් බාධකයක් හිර වීමක් ගොඩ නැගේ. එවිට දිරවු ආහාර ගුද මාර්ගය දෙසට තල්ලු වීම නැවතී බඩ ඇතුලේ obstruction හෙවත් සිර වීමක් දක්නට ලැබේ.
උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම නෙරා එම, උදරයේ දැඩි කැක්කුම ඇති වීම,  වමනය යෑම වැනි දෑ ලක්ෂණ ලෙස පෙනේ. 
කාසි ගිල , විවිධ ඇටවර්ග ගල්කැට ගිල පැමිණෙන ළමයි ඕනෑ තරම්.
බඩවැල් සිරවීමක් දක්නට ලැබෙන්නේ නැත්නම්, දරුවා සාමාන්‍ය ලෙස සිටිනවානම් අප  කරන්නේ මළපහ දමන තුරු දරුවා දැඩි නිරික්ෂණය යටතේ තබා ගැනීමයි. ගිල දැමූ දෙය අනුව එක්ස්රේ ගෙන බැලීම ultra sound මගින් පරීක්ෂ කර බඩවැල් සිරාවීමක් දක්නට ලැබේ දැයි පරීක්ෂා කරන හැක. එනමුදු බොහෝ දෑ ඉබේම මළ පහ සමග පිටවෙන් නමුදු දරුවාගේ වයස සහ ගිල් දැමූ එම දෙයෙහි ස්වභාවය මත මෙය තීරණය කරන්නේ වෛද්‍යවරුන් ය. එනිසා එවන් යමක් සිදුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

බොත්තම් බැටරි හෝ කුඩා බැටරි හරිම භයානකයි.
ඒවා දරුවන්ට හවුවෙන්න තියන්නම් එපා. මේ බැටරි ආම්ලික යුෂ සමඟ ප්‍රතික්‍රියා කර බඩ තුළ පුපුරා යා හැකියි. එසේ වූ දරුවන් ගැන කථා අනන්තවත් දකින්න ලැබෙනවා. එනිසා හැමදේම කටේ දමා ගන්නා වයසේ දරුවන් ඉන්නා  දෙමාපියන් මේ ගැන බොහෝ කල්පනා වෙන් ඉන්නා ලෙස මම නැවත වරක් ඉල්ලමි.
විශේෂයෙන් දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල බැටරි කොටස ආරක්ෂිතව ඇනයකින් සම්බන්ද කර වසා ඇති බව දකින්න ලැබුණත් එසේ නොමැති සෙල්ලම් බඩූ ගැන විමසිලිමත් වෙන්න. එවන් අනාරක්ෂිත බැටරි උපකරණ  දෙන්න එපා.
ඔබේ දරුවාට අහු වෙන්න ඉයර් බඩ්ස් ලෙස හඳුන්වන දුරකථන මෙවලම අහුවෙන්න තියන්න එපා. ඒවායේ කානට සම්බන්ද කරන රබර් කෑලි...ඇතැම් දරුවන් හරි ආසාවෙන් කටේ දමන බව දැන් දැන් ඇසේ. 
මගේ වෛද්‍ය මිතුරියක පැවසූවේ පුටුවේ දමා ඇති කුෂන් කෑලි කෑ දරුවෙක් අධික බඩ බුරුල් වී යෑ මක් සහිතව රෝහල් ගත කළ අයුරුය. 

කපුරු බෝල හරිම විෂ සහිතය.
කපුරු බෝල ඔබ නිවසේ තිබෙනවා නම් වහා ඉවත් කරන්න. මුත්‍රා සමග ලේ පිටවීම එක්ක එසේ රෝහල් ගත කළ දරුවා දැඩි සත්කාර ඒකකයේ දී අවසන් ගමන් ගිය හැටි මතක් වේ. 

මේ විවිධ මෙවලම් ඇසුරුම් සියල්ල හදන්නේ රසායනික අමුද්‍රව්‍ය යොදාගෙන ය ඒවා දරුවන්ට විෂ සහිත විය හැක. 

එනිසා වැඩියෙන් ප්‍රවේශම් වෙන්න. ශ්වසනාලයට ඇතුල් වුවහොත් පෙනහළු වලට හුස්ම ගන්නා වාතය ගෙන යන් කුඩා නාලයක් පහසුවෙන් මේ නිසා වැසී යා හැකියි. එවිට කින්නින් ඒ දේවල් එළියට නොගතහොත් පෙනහළුවලට හානි පැමිනේ. ඔක්සිජන් නිසි ලෙස නොලැබීමත් සමග ජීවිත හානි පාවා ඇතිවිය හැක. 

මෙන්න ඔබට කළ හැකි දේ 

මෙසේ ගිල ගන්නා බොහෝ දේ කරදරයක් නොමැතිව ශරීරය හරහා ගමන් කරයි, නමුත් සමහරක්  ගැටළු ඇති කළ හැකිය.  නියපොතු සහ ඇණ යන විට ඒවා නිසා ආහාර මාර්ගයේ බිත්ති සීරීමට ලක් විය හැක, නමුත් වඩාත් ගැටළු මතුකරන  වස්තූන් වන්නේ බැටරි සහ චුම්බක ය.  බැටරි මගින් ආමාශ බඩවැල් පුළුස්සා දැමිය හැකි අම්ලයක් නිකුත් කරයි.  චුම්බක හෙවත් කාන්දම් නම් ඊටත් වඩා භයානක යි. හදිසියේ වත් දරුවා ඔය පොඩි පෙති ලෙස ඇති කාන්දම් එකකට වඩා,ගිලලා නම් ඒවා එකිනෙක ආමාශය හෝ බඩවැල් තුළ ඇලෙනවිට බඩවැල් එකිනෙකඅතර සිරවිය හැක. මා ඉහත සඳහන් කළ අධ්‍යයනයේදී එම රෝහලට කාන්දම් ගිල ආ ලමුන්ගෙන් 13.3%කම එක්කට වඩා ගිල දමා තිබුණා.  ඒ එක්කම එහෙම ගිලපු ළමයින්ගෙන් 71%ක් ම රෝහල්ගත කරන්නත් වෙලා . 

අපි කියන්නේ prevention is better than cure කියලානේ . හොඳම ප්‍රතිකාරය වන්නේ වැළැක්වීමයි.  

ඉතින් වැඩිහිටියන්ට දරුවන්ට සෙල්ලම් බදු දීමේදී ඒවායේ ගහලා තියෙන 2+, 3+ කියා සඳහන් වයස් නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.  එහෙම සඳහන් වෙන්නේ හේතුවක් ඇතුවයි. 

ළමයාට අත් පෙවිය හැකි මානෙන් කටේ දමා ගිලිය හැකි අනතුරු සහිත කුඩා දේවල් කිසිවක් තියන්න එපා.  මෙය පැවසීමට හරි පහසු බව මම දන්නවා , මටත් එහෙම කාලයක් ගත වුණු නිසා ඒත් ළමයා වෙනුවෙන් ඒ දේ කළ යුතුයි. 

  කාසි, බෙහෙත් වර්ග , බැටරි, ආභරණ ආරක්ෂිතව ගබඩා කිරීමට පුරුදු වෙන්න.  ආ ඒ එක්කම ම මතක තියා ගන්න  ඖෂධ වර්ග සහ රසායනික පිරිසිදු කිරීමේ ද්‍රාවණ හෝ ද්‍රව්‍ය ළමයින්ට අල්ලන්න බැරි තැන්වල තියන්න.

ඒ වගේම තේරෙන වයසක නම් හුස්ම හිරවෙන්න හැකි ද්‍රව්‍ය අපට අහිතකර ද්‍රව්‍ය කටේ දමන එකේ අහිතකර බව සහ හානිය දරුවාට වටහා දෙන්න. 
ඔබේ දරුවා යමක් ගිල දමා ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යයවරයා අමතන්න.  ඔවුන්, කපුරු බෝල,  බැටරියක් හෝ චුම්බකයක් වැනි හානි දායක රසායන අඩංගු දෑ ගිල දැමූ බව ඔබ සිතන්නේ නම්, වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන යන්න. 
හැම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 
කුඩා දරුවන් මොකක් හෝ කටේ දමා ගන්න ඇහැ පිය හෙලන ප්‍රමාදය ඇති ! 
- වෛද්‍ය බෝධිනි සමරතුංග 

පින්තූර අන්තර්ජාලයෙනි. රවුම් කාසි හැඩය පෙන්වන එකස් රේ සටහන් ද ඇත. උපුටා පල කරන්නේ නම් පිටුව සබැඳිය share කරන මෙන් ඉල්ලා සිටිමි. 
 වැඩිදුර මා සඳහන් කළ අධ්‍යන කියවන්නට 

https://publications.aap.org/pediatrics/article/143/5/e20181988/77066/Foreign-Body-Ingestions-of-Young-Children-Treated


පහන් තරුව අද්දර සිට ලියමි

$
0
0

 ඉතින් සමාවෙන්න නිතර නොලිව්වාට බ්ලොග් එක....

මීට මාස දෙකකට කලින් ලංකාවේ අඩු ආදායම් පවුල්වලට සෝලා පැනල හරි ගහලා දෙමුද කියලා පෝස්ට් එකක් මම ලිව්වා මතක ඇති....
අපිට තනිව බොහෝ දේ කරන්න නොහැකි වුණත් කණ්ඩායම් වශයෙන් බොහෝ දේවල් කළ හැකියි
ඒක මම වැඩ කළ හැම තැනකදීම අත් දුටු සත්යය.
මේක ඔයාගෙ රාජකාරිය නොවෙයි ! ඒවා ගොඩ නංවන්න රජය දැනගන්න ඕනේ !
තමන්ගේ ඩියුටිය විතරක් බලාගන්න
ඔයා ඔහොම කරනකොට මිනිස්සු අපෙනුත් ඒවා බලාපොරොත්තු වෙනවා.
විහින් මැරුම් කන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න...
මේ මම සැරෙන් සැරේ අහගත්තු දේවල්.
මේ සියලු අවවාද ඇත්ත තමා. ඒත් මට මතක් වෙන්නේ ම හෝ ගානා පොකුණ චිත්රපටියේ ටීචර් ගේ දෙබසක් "මට බෑ ඒත් අපිට පුලුවන්!"
ලංකාව වගේ රටක මේ තරම් කඩා වැටීම් බහුල රටක මේ තරම් හරි ජීවිත බේරෙන්නේ වැඩ කටයුතු ඇදගෙන යන්නේ අන්න ඒ අපේ හිත්වල හයිය නිසා. මේ අපි නොකළ යුතු දේවල් වෙන්න හැකියි මේ අපේ රාජකාරිය නෙමේ වෙන්නත් පුළුවන්. ඒත් එහෙම කියලා බලන් ඉන්නත් බෑ.
ඉතින් ලංකා පොළොවෙන් සමුගනිද්දි තිබුණු රට පසුගිය මාස දෙක තුනේ ආර්ථික අහේනිය එක්ක අන්තයටම කඩා කෑලි විසිරී යනකොට මෙහෙ ඉඳන් අපි බොහෝ දෙනා හූල්ලමින් හිටියේ...
සෝලා පැනල හරි මිනිස්සුන්ට සවිකරලා දෙමුද කියලා ඒ ගැන වුණු කතාවේදී... මට පුද්ගලික පණිවිඩයක් එවලා තිබුණා විදේශ පුහුණුව ලබන තවත් වෛද්යවරියක වන චාපා අක්කා.
"නංගි මොනවා හරි කරනවානම් මාවත් එකතු කරගන්න... අපි මොනවා හරි කරමු නංගි. මම සතියකට දෙකකට සැරයක් ලංකාවේ රාජය බැංකු වලට විදේශ මුදල් දානවා මේ දකින දේවල් දරාගන්න බැරි නිසා."
අක්කා සහ මම නිතර කතා නොකළාට අපි හමුවුනේම ව්යසන වලදී වෛද්ය උදව් උපකාර දෙන්න... ගංවතුර කාලේ ස්වේජ්ජා වෛද්ය කඳවුරු ගණනාවක් කළ අපි ආයේ එකතුවුනා. ඒ කාලේ දීම ගංවතුර කඳවුරු නිසා එංගලන්තයේ ඉන්න ගත් කතුවර චන්දන අයියා අඳුන්වා දුන්න කමනිකා නංගිත් එකතුවුනා , සෝලා වැඩේ ගැන සංවාදයෙන් "මොනවා හරි කරමු"කියපු ළමා රෝහලේ අප්රමාණ ස්වේච්ඡා ආධාර වැඩ සටහන් කළ මනිල්කා අක්කත් එකතු වුනා.
අපේම මිනිසුන් ලංකා පොළොවේ ජීවත් වීම උදෙසා අරගලය දියත් කරද්දී.... ඒ මිනිසුන්ගේ හයියට මොකක් හරි කරන්න චාපා අක්කා දන්න යාළුවෝ අනුපමා අක්කා තනුෂා , මම දන්න යාළුවෝ සහ අපි එකිනෙකාගේ තවත් යාළුවෝ ලෙස එකතුවුන Heal Sri Lanka 2022 කණ්ඩායම වටේ දන්න හඳුනන නොදන්නා ගොඩක් දෙනෙක් එකතු වුණා.
අපිත් සසල වෙන ලංකා පොළොවේ ප්රවෘත්ති හමුවේ නොසැලී මොන ප්රශ්නෙ ආවත් අපි මේක කරමු කීවේ...වෛද්ය දම්මිනි.
අපි ඉතින් මූලික සාකච්ජාවලට එහෙම එක් රැස් වුණේ මිරිහානේ අරගලය පටන් ගන්න කලින් ....ලෝකය තනි යායක් කියලා මහගම සේකර ලීවා දේ සනාථ කරමින් zoom තාක්ෂණය ඔස්සේ දවසක් ඇර දවසක් මූණ ගැහෙමින් අපේ what's app සාමූහිකය තුළ නිරතුරුව පණිවිඩ හුවමාරු කරගනිමින් අපි ලැහැස්ති වුනා. මුලින්ම සෞඛ්ය අමාත්යාංශයේ පරිත්යාග අංශය බාර වෛද්යවරයා සමග සාකච්ජා කරලා අපි කවුද මොනවද කරන්නේ කියන එක ලිඛිතව දැනුම් දීලා ඒ ගැන අවශ්ය තොරතුරු දැනගෙන ඉන් පස්සේ අපි හෙව්වේ ඖෂධ රෝහල්වලටම ලබා දීමේ පිළිවෙල. ඒකත් යම් තරමකට නිරාවරණය කරගන්න හැකි වුණේ අපි සියල්ලෝම රජයේ රෝහල්වල වැඩ කර අත්දැකීම් සහ පිරිස් බලය ඒ කියන්නේ දැන හැඳුනුම් කම් වැඩි වැඩියෙන් තිබුණු නිසා.
ඖෂධ නැත කියා ඇහෙද්දි ඖෂධ ඇත කියා ප්රවෘත්ති මැවූ අය නිසාත් අවුලක් නැත නෑ ඒක වැරදියි අවුලක් ඇත කියමින් එක එක ප්රවෘත්ති නිවේදන ආ නිසා අපි අඩියක් පස්සට හෝ ඉස්සරහට ගන්න බැරුව හිටිය වෙලාවල් තිබුණා. අවශ්ය ලිපි ලේඛන ගැන උපදෙස් මීට කලින් මෙහෙම දේවල් කළ අය සහ විශේෂඥ වෛද්යවරුන්ගෙන් ලැබුණා. ඖෂධ ආයතන ගැන තොරතුරු හොයන්න bio medical engineer කෙනෙක් වන සජිත් නීලංජන මල්ලි උදව් කළා.
පවුම් තිස්දහසකට එහා මූල්ය ආධාර ගිණුම එක්ක ඒ හා සමාන අමතර කණ්ඩායම්වල පුද්ගලික දායකත්වය එක්ක heal Sri Lanka 2022 නොනැවතී ගමනේ.....
අප කෙරෙහි විශ්වාසය තැබූ සියල්ලන් මෙන්ම අප ට මේ දේවල් ලංකා පොළොවේ අවශ්යම තැන් හොයා ලබා දෙන්නටත්, ප්රමිතිය හා ගුණාත්මකභාවය ගැන එතන ඉඳන් අපේ නිරීක්ෂකයෝ වෙන්නටත් ස්වෙච්ඡාවෙන් මේ හැම රෝහලකම වෛද්යවරු, හෙදියන්, ඖෂධවේදීන් සහ රසායනාගාර තාක්ෂණික නිලධාරීන් උපකාර වුණා.
මෙතෙක් කළ පරිත්යාග සියල්ල සහ ඒ සඳහා දායක වූ ඔබ ගැන heal Sri Lanka 2022 පිටුවේ සඳහන් වෙනවා. ( https://www.facebook.com/Heal-Sri-Lanka-2022-103177539042249 ).
මට එදා ඉඳන් තිස්සෙම මතක් වෙන්නේ මම කාලයකට කලින් ලියූ මෙන්න මේ කවි පද පේලිය...
ලොකු වෙලා අපි මෙහෙම කරමුද
කතා කරගත් කාල මතකද
මහ පොළොව උඩ කරපු අරගල
අදත් හීනෙන් හිනාවෙනවද
අපිට කරගත් මොකුත් නැතුවට
අනුන් වෙනුවෙන් හුඟක් නැහුනට
හෙලූ දහඩිය මතක කඳුළක
නාඳුනන නම් ලියැවිලා ඇත
හිතන්නෙත් නැති වෙලාවක් අග
දරාගත් හොඳ දෝත බැඳගෙන
හදිසියේ ගත් හුස්ම නතරව
ජීවිතේ මඟ අතැර ගියොතින්
ඉහළ අහසේ වළාවක් උඩ
නතර වෙන්නට ඉසිඹුවක් ලැබ
පාත පෙනෙනා බොහෝ දේ ගැන
කතා වෙමු අපි වෙලා අරගෙන
ලංකා පොළොවේ වැඩ කළ අපිට මේ වචන ටික හරිම ළඟයි නේද ?
©බෝධිනී සමරතුංග

Heal Sri Lanka එකේ gofundme link එක තමා මේ

https://www.gofundme.com/f/7rr463-heal-sri-lanka?fbclid=IwAR1BTNbyjbshZ4_bUWlYX_WQYqAwh_9pmuRpTpIxJvGbiHCfJ45z2UVb-aI

මුලින් 20 000 අරමුණු කළ ද එය සති දෙකෙන් එකතු වූ නිසා අපි එය 40 000 දක්වා පරිත්‍යාග එකතු කරන්නට තබා තිබුනා.
එයත් මේ මාසයෙන් හමාර කරන්නටයි සූදානම. ‍‍පැවති අවදානම් තත්ත්වයට මදක් හෝ අස්වැසිල්ලක් සපයන්න මේ කරගෙන ගිය ක්‍රියාන්විතයෙන් යම් තරමකට උදව්වක් වුනා කියලා හිතනවා. ඒත් අපි මූලිකවම හිතන්න ඕනෙ මේ සමස්ථ රටක් දුර්වල වුණු... රටක් අකර්මණ්‍ය වුණු අදූරදර්ෂී ඛේදාන්තයක් වූ සිස්ටම් එක වෙනස් කරන්න. එතෙක් මේ ලෝකෙම එකතුවෙලා පරිත්‍යාග දුන්නත් රටට පැවැත්මක් හෝ හෙටක් නෑ.




Viewing all 239 articles
Browse latest View live