එහෙම කළාම මෙහෙම වෙනවද ?
සමීපවෙන්න !
මොනවද මෙහෙ තියන අඩුපාඩු ?
“කොහොමද මම ඔබට උදව් කරන්නේ ?”
කිසිඳු පිළිතුරක් නොවන තැන ඔහු තව දුරටත් පැහැදිලි කරන්නේ ” මම ඔබට උදව් කළොත් ඔබේ සේවය පහසු කළොත් ඔබට ඔබේ රෝගීන්ට පිහිට විය හැකියි “ කියාය.
නව අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත් පළමුදවසේම “රෝගී සත්කාරයට වඩා අය කරන මුදල් ප්‍රමාණය වැඩි” ඒකකයක වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් කළ හැටි පුදුමාකාරය…ඇත්තටම හිතා බැලුවොත් පුදුමවෙන්නට දෙයක් නැත. මේ නාටකයක් ය. ඉතින් සැබෑ ලෝකයේ වෙන, නොවෙන දේ සියල්ල මෙහි පෙන්වන නමුත් ඒවා හිතට බොහෝ කිට්ටු ය. මෙහි සිදුවීම් ඇතැම්විට අතිශ්‍යෝක්තීන් යැයි හිතෙන තරම් ය.
වෛද්‍යවරයා මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු බව පෙන්වා දෙමින් පවතින යාන්ත්‍රණයේ අවුල ගැන කතා කරන මෙවන් නාටකයක් දුටුවේ කාලයකින් ය. මෙහි වෛද්‍ය අධ්‍යක්ෂ , සෞඛ්‍ය සේවයේම යාන්ත්‍රණයේ ( සිස්ටම් එකේ) අවුල වෙනස් කරන්නට වෙහෙසෙයි.
මනුෂ්‍යත්වය ඇති වෛද්‍යවරුන් වෙන්නට අනෙකා දිරිගන්වන වෛද්‍ය හේ, හොඳ වෙනුවෙන් වැඩ කරනා වෛද්‍යවරුන් දිරිගන්වනු දකින්නට ලැබෙයි.
මේ වෘතාන්තයකි… රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවකි.
එහෙව් නාටක නොයෙක් තැන්වල නොයෙක් අයුරින් තත්‍ය ලෝකයේද අඩුවක් නැතිව පෙනෙන තැන් අපමණ ය. එවන් නාටකයක කොටසක් ලියා තබන්නට සිත් විය. මේ වෛද්‍යවරියක විසින් දුෂ්කර රෝහලක සේවය කරන අතර ලියූ සටහනකින් එකකි.
දිනය කිව නොහැකි එක්තරා දිනයකි –
වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්වීය. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කර ඇතුල තිබූ ස්ටෙචරය සමග රෝගියා රැගෙන හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.
දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාද කෑමට නිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.
රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ, බයිසිකලයේ ගමන් ගත් ඔහුව, ටිපර් රථයක් හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන සිටියදී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. කෙනෙක් කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. අපද හැකි අයුරින් උදව් කළෙමු. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර දීම මගින් හෘදය ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි අපේක්ෂාභංගව පිටතට පැමිණියෙමු.
එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.
තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ තිස් හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !
මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතන මෙවැනි මාර්ග අනතුරු ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.
විශේෂ අමුත්තන් කිහිප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක් නිලදරුවෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, හවස වැඩ ඇරී නිල නිවාසයට යමින් සිටින අපට මුණ ගැසිණි.
“මම අහවලා , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.
“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.
“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”
“ඒ කිව්වේ”
“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.” මම පැහැදිලි කළෙමි.
“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”
“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක් ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”
“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.
“නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුතාවයක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. ආර්ථික ප්‍රශ්න දැන් තමා දැනෙන්නේ. කඳවුරුවලින් පිටවෙලානේ ඒ අය.
දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවන බව හිතෙන් මතක් කළ නිසා, කතාව දිග්ගස්සන්නේ නැතුව හමාර කළෙමි.
ඉන් මාස ගණනාවකට පසු බොහෝ මැදිහත් වීම් නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. ලිෆ්ට් දෙක වැඩ කරවාගන්න නම් සෑහෙන කලක් ගියා.
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… “අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලව සිදුකරන්න පියවර ගන්නවා නේ. ” කියලා. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත.
Im doing what ever I can to change the unwanted into something productive and healthy.
එහෙම කතාවක් ඇය දිනපොතක ලියා තැබුවා මතක ය.
රෝහලක තතු රැගත් ගැන “new amsterdam” නාටකය ගැන කියන්නට ගිය කතාව දෙසට ආයෙම හැරෙන්නම්.
නමින් නිව් ඇම්ස්ටර්ඩෑම් ය , රෝහලක සිදුවීම් වටා ගෙතුනු මනුෂ්‍යත්වයේ කතාවකි.
ඇතැම් දෙබස් සහ සංසිද්ධි හිතේ මල් පුබුදනසුළුය. නෙත අග කඳුළු රඳවන සුළුය. අනුන් වෙනුවෙන් වෙහෙසී තබනා පියවර මතක් කරනා සුළු ය. එසේ දුවන අතර ඇසූ ඇනුම්පද , අපහාස උපහාස මතක් කරවනා සුළු ය.
“විහින් මැරුම් කන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න” කියා අසාගත් හැටිද මතක් විය.
මේ ලෝකයේ හොඳ සහ නරක දෙකක් ඇත්නම් ඔබට ඉන් මධ්‍යස්තව දෙකම තෝරාගත නොහැක.
බොහෝ ආයතනවල සේවය කරන හොඳ මිනිසුන් කළකිරීම් මැද සේවය කරති. හොඳ වෙනුවෙන් අරගල කරති. පැරදුම හමුවේ සේවය අත් හැර යති. සෞඛ්‍යායතන පාලන ඒකක මගින් සමස්ථ සමාජයේ සුභසිද්ධිය වෙනුවෙබ් වැඩ කළ යුතුය. දූෂණය වංචාව දුටු තැන එය මර්ධනය කළ යුතුය. අවැඩ දැක දැක නිද්‍රාශීලීව සිටින්නේ නම්, අවැඩ වෙන්නේ සමස්ථ මානව සමාජයටම ය.
“People dont leave bad jobs, they leave bad bosses, poor management who dont appreciate their value”
“මිනිසුන් රැකියා අත හැර යන්නේ නැත. ඔවුන් අත හරින්නේ නරක ප්‍රධානීන්, දුර්වල පාලන ඒකක , ඔවුන්ගේ අගයට වෑයමට වටිනාකමක් නොදෙනා තැන් ”
මට ලියන්නට හැකි සීමාවේ සිට මේ වචන කැටි කළේ මෙය හුදෙක් ටෙලිවෘතාන්තයක් පමණක් නොව එදිනෙදා රෝහල් ජීවිත ගත කරන බොහෝ සෞඛ්‍ය සේවකයන්ගේ චිත්ත සන්ථානයේම පරිමාවක් ඇතුලත්කර ලියූ ජීවී සටහන් ගොන්නක් නිසා ය
ඉන් උපුටා ගත් වෛද්‍ය අධ්‍යක්ෂ විසින් කියනා දෙබස් කොටසක් ඔබ වෙනුවෙන් ලියා තබමි.
“Isn’t our job to provide our patients with the best possible care…?
But isnt it also to help people out in the world, not to become patients ?
Even if the system is broken we can offer them a path because if we dont we are just gonna see each generation back here again and again !
Babies returning with obesity before the age of six
Foster kids coming back as psych patients before they can even vote
So we need to break the chain
We can only help people if we our selves are willing to take risks
Cause change is always possible.”
“අපේ රැකියාව රෝගියා වෙනුවෙන් හොඳම සත්කාරය ලබා දීම නොවේද ?
ඒවගේම අපේ කාර් යය විය යුත්තේ ලෝකයම ලෙඩුන් වෙන එක වැලැක්වීම නොවේද ? එහෙම නොකළොත් අපිට හැම පරම්පරාවම රෝහල වෙත පැමිණීම වලක්වාගත හැකි නොවේ.
බිළිඳුන් අවුරුදු හය වෙනකොට අධි ස්ථූලතාවය සමග රෝගී වෙලා මෙහි ඒවි. කැපකරු ක්‍රමයේ සිටින දරුවන් ජන්දය හිමි වයසට එන්නට කලින් මානසික රෝගීන් වෙලා මෙහි ඒවි
එනිසා අපි මේ ක්‍රියාදාමය කඩා බිඳ දමමු.
නිසි ක්‍රමවේදයක් නොමැති වුවද යාන්ත්‍රණය ක්‍රියාවිරහිත වුවද අපට හරි මාර්ගය පෙන්වා දිය හැකි නොවේ ද?
මේ යාන්ත්‍රණයේ දම්වැල් පුරුක් අපි බිඳ දමමු. ඔව් මිනිසුන් වෙනුවෙන් මේ යාන්ත්‍රණය වෙනස් කිරීමට අපට අවදානමක් තිබුනද අපි ඒ අවදානම දරා ගනිමු…
මොකද වෙනසක් කිරීමට අපට හැකිය !
නිව් ඇම්ස්ටර්ඩෑම් ටෙලි වෘතාන්තය. අප වෘත්තිය ජීවිතයේ වෙනස්ම පැතිකඩක් ඔබට විවර කරනවා ඇත. එමෙන්ම රෝගියා මූලික කරගෙන ඒ වෙනුවෙන් යා හැකි උපරිම දුර ඇවිදින වෛද්‍යවරුන්ට මෙය උපහාරයක්ම වනු ඇත.
(හැකිනම් නරඹන්න. මම Netflix තුලින් නැරඹුවෙමි.)
Break the rules – Heal the system
පිපිරුණු හිත
හිර ගෙදර කලබලේ
රෝහල්වල කෝකටත් තෛලය rho ලා ය. Rho යනු සීමාවාසියකය අහවර කළ වෛද්‍යවරුන් ය. මමත් මගේ කාමර සගයාත් opd හෙවත් භාහිර රෝගී අංශයේ වැඩ කළ ඉරිදා දිනයක හවස අප වෙත ආවේ අමුතු ඉල්ලීමකි.
"ප්‍රිසන් එකේ කිහිපදෙනෙක් උපවාසයක් කරනවා දවස් ගානක ඉඳන් එයාලට අමාරුයි එනිසා බලලා එන්න යන්න වෙනවා"
"අමාරුනම් කොහොමද බලලා එන්නේ. මෙහෙ ගේන්න එපැයි. ඇරත් ප්‍රිසන් එකේ ? ඇම්බියුලන්ස්වලින් මෙහෙට ගෙන්වමු"අපි කීවද ඔවුන් එකඟ වුණේ නැත.
"ඔගොල්ලො ගිහින්ම බලලා නිර්දේශ ලියලා එන්න, එතන ඉන්න ප්‍රිස්නර්ස්ලා වෙන කාවවත් විශ්වාස කරන්නේ නෑ ඩොක්ටර් කෙනෙක් එතනට ඇවිත් කිව්වොත් උපවාසේ නතර කරලා රෝහල්ගත වෙනවා කියා කියනවා. හරිම අසාධ්‍ය තත්‍ත්වයෙන් ඉන්නේ...එනිසා ඔය දෙන්නා යන්න"කාර් යය භාර වෛද්‍යවරයා අප වෙත දැනුම් දුන්නේය. ඔහු සිටියේ නිවාඩුවේ ගෙදර ගොසින් ය.
"අනේ ඔව් ඩොක්ටර් අපිව පේන්න බෑ , ඒ ගොල්ලොඅපි එක්ක සාකච්ජා කරන්නෙත් නෑ ඩොක්ටර් කෙනෙක් බලනකම් ඒක නවත්වන්නෙත් නෑ. අපි හරි අමාරු අඩියක ඉන්නේ"බන්ධනාගාර නිලධාරියා පැවසුවේය.
රෝහල් ඇම්බියුලන්ස් එකකින් එහි ගිය විට බන්ධනාගාර නිළදාරීන් පැවසුවේ, සිරකරුවන් පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්ඩංගුවට ගත් බවත් ඔවුන් ඉන්නා සිර මැදිරි තුලින් එළියට ඒම ප්‍රතික්ෂේප කරන බවත් අපට එහි ගොස් ඔවුන් බලන්නට සිදුවන බවත් ය.
සිර මැදිරි තියා පොලීසියකට අඩිය නොගැසූ ළාමක , සමාජ අත්දැකීම් අඩු ගැහැණු වෛද්‍යවරියන් දෙදෙනෙකුට මේ වෙලාවේ හිතෙන්න ඇත්තේ මොනවාද ඔබට තේරෙනවා ඇති. ඇත්තටම අපට තීරණයක් ගන්නට නොහැකිය.
අප බාහිර රෝගී අංශය භාර වෛද්‍යවරයාට කතා කර කීවේ කිසිඳු ආරක්ෂාවකින් තොරව සිර මැදිරි අස්සටයාමට අපට නොහැකි බවය.
උපවාස කරමින් බොහෝ අසාධ්‍යව සිටි සිර කරුවන් සමග පණිවිඩකරුවන් යවා සාකච්ජා කළ අතර ඔවුන් පැවසුවේ රෝහල්ගත කරන්නේ නම් අප ඇවිත් ඔවුන් පරීක්ෂාකර බලා නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවය. එතෙක් කිසිසේත් ඉන්නා තැනින් හොලවන්නට බැරි ය. ඔවුන් සිතන්නේ බන්ධනාගාර නිලධාරීන් බොරු කියා ඔවුන් එතැනින් ඉවත්කරන්නට තැත්කරන බව ය.
මේ තත්ත්වය සමඟ නිලධාරීන් බොහෝ සෙයින් කලබල වී ඇත.
"දැන් මේ අය අහන්නේ ඩොක්‍ටර්ස්ලා කියන දේ විතරයි. මේ අයගේ තත්වය එන්න එන්න බරපතල වෙලා. අපි ආරක්ෂාව ගැන ඇප වෙනවා. බය නැතුව යමු ඩොක්ටර්"ඔවුන් පවසයි
වෛද්‍ය අධිකාරිවෙත සහ බාහිර රෝගී අංශයේ කාර් යය භාර වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දුන් පසු බාහිර රෝගී අංශ බාර වෛද්‍යවරයා කීවේ සති අන්තයේ බාහිරරෝගී අංශයේ සියල්ලෝ නිවාඩු නිසා ඉන්නේ අප දෙදෙනා පමණක් බවය. "දැන් ඔය ගිය එකේ බලලාම එන්න"ඉල්ලීම් කෙරුණි. සමාජ අත්දැකීම් අඩු නමුදු රෝගීසත්කාරයට ඕනෑම දුරක් දුවන අප දෙදෙනා පින්සෙන්ඩුවන සිරකරුවන් සහ ජේලර්වරු සමග ඔවුන්ගේ සිර මැදිරියට ගියෙමු. යන මඟ දෙපස සිරකරුවන් පිරී ඉතිරී අප දෙස දෑස් යොමුකරගෙන සිටී...අපට හැකි තරම් ඉඩදී ඈත්වෙවී නමුත් පොදි කමින් බලා සිටී. ජේලර්වරු කිහිපදෙනෙක් අප වටේ ගමන් කරමින් සිටියෝය.
එකම කාමරයක එම උපවාස කළ සිර කරුවන් පිරිස සිටි අතර ඔවුන් බිම වැතිර සිටියෝය. අප ඇතුල් වූ පසු කාමරයේ අගුළු දැමීය...බිමට නැවී හිඳගෙන හර්ද රිද්මය සහ රුධිර පීඩනය මැන බැලූ අපට තරු පෙනුණි. විජලනය සහ ආහාර නොමැති වීම නිසා මොවුන් අසාද්‍ය වී සිටියහ. මැදිරියෙන් එළියේ සිරකරුවන් පොදි කමින් සිටිනු අපට පෙනුනි.
"ඔබ හැමෝගෙම ප්‍රෙෂර් අඩුවෙලා සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා දැන්ම රෝහල්ගත නොකෙරුවොත්"අපි ඔවුන්ට කී බව මතකය.
ඔවුන් පරීක්ෂා කර බලා සිර මැදිරියෙන් එළියට එද්දී අතුරු සිදුරු නැතුව පිරී සිටි සිරකරුවන් අපට යන්නට ගෞරවයෙන් ඉඩ සකස් කර දෑත් බැඳ ස්තූති කරමින් සිටියෝය. තවමත් ඒ අවස්ථා මතකයේ රැඳී ඇත්තේ බොඳ වූ ජායාවක් මෙනි. කළු දුඹුරු නාවර පෙරුණු බිත්තිද බිම වැතිර සිටි සිරකරුවන්ද පමණක් මතක ය.
වහාම රෝහල්ගත කරන්න ! අපේ නිර්දේශ ලියා අප දෙදෙනා නැවත රෝහලට පැමිණියෙමු.
ඉන්පසු යම් කාලයක බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමකින් බන්ධනාගාරයේ prison break නාටකයක් ආරම්භවී තිබුණි. එය දුටු අප, එදා අපව යැවූ අනාරක්ෂිත ගමන ගැන අංශභාර වෛද්‍යවරයා වෙතින් විමසූ විට හේ බොහෝ කණගාටු වී සමාව අයැද සිටියේය. හදිසියේවත් ඔවැනි කලබලයක් අප එහි සිටියදී සිදුවුනානම් ? එහෙනම් අපේ ජීවිත පවා අවදානමේ නොවෙද කියා බොහෝ වෛද්‍යවරු දොස් කීවෝය.
වෛද්‍ය සේවා කාලයේදී... අපට හිතන්නට බැරි තැන්වල සේවය කරන්නද හිතාගන්නට බැරි ස්ථානවලට ගොස් සේවය සපයන්නද සිදුවේ. ඒවා අප ජීවිතය සෞඛ්‍යය පවා අනතුරේ හෙලනසුළුය.
බෝවන රෝග බොහෝ විට අපටද වැළඳේ. නිරන්තරයෙන් රෝගකාරකවලට නිරාවරණය වන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් බොහෝ රෝග කාරක යටපත් කරනවා ඇතියැයි සිතේ.
මනෝවෛද්‍ය වාට්ටුවේ වැඩ කරද්දී සායන එන්නේ නැති හෝ අසාධ්‍ය තත්ත්වයන්ට ලක්වූ රෝගීන් සොයා ඔවුන්ගේ නිවෙස් වෙත පවා යාමට සිදුවූ විට, ඇතැම් රෝගීන් කැති පොලු අමෝරා අප පසුපස දිව ඒ.
බොහෝ විට මෙලෙස යන්නේ පොලිස් නිලධාරියෙක් සමඟය. වේගයෙන් දුවන්නට බැරි මට ඈතින්ම නවතින්න යැයි කියූ හැටිත් මතක් විය. සියල්ල සන්සුන් වූ පසු එහි එන්න යැයි අනෙක් සහෝදර වෛද්‍යවරයා පැවසූ පසු යන්නටත් පුරුදු වූයෙමි.
එහෙත් අදටත් බොහෝ අවදානම් තිබුනද සේවය නොපිරිහෙලා ඉටුකරන්නට අපි උපරිම උත්සහය ගන්නෙමු.
අවුරුදු ගණනාවක් මේ භූමියේ බොහෝ දුෂ්කර පරිසරවල දුක්විඳින මිනිසුන්ගේ දුක ඇසුවෙමි. පිළිසරණ වීමි. හොඳයි, නරකයි කියා බෙදෙන මිනිසුන්ගේ පවා ලෙඩ දුක් කරදර මගේ කරගෙන උදව් කළෙමි. මගේ ජීවිතේ පවා අඳුරේ හෙලමින් ඔවුන්ගෙන් කරදර වන අතර වුවද උදව් කළෙමි.
ඔබට සිතාගැන්මටවත් නොහැකි කාලයක උතුරේ සේවය කළ අතර ඒ කතා පොත් පත් පුවත්පත්වල ලීවා නොව ලියැවුණාය. තවත් මතකයේ රැඳි කතන්දර බොහෝ ය හැකි විටක ලියන්නම්.
ප්‍රේමණීය මිනිසුන්
තෙවන මුද්‍රණය
Jesus knew... but Judas ate too...
පපුව හිරවෙන ස්මාරක
දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?
මේ දොස්තරලට විතරක් නෙමේ WHO එකටත් කුමන අමාරුවක්ද ?
Blook බවට පත් වූ බ්ලොග් එක.
Poetic expressions on Anithkona book by Anura Gunathilaka
ළමයින්ටයි පාට පාට
දරුවන්ට හොඳම නෑ !
පෑන් ඉස්සීම
හරිනම් එයා එන්ඩ ඕනේ අපිව බලන්න !
අන්නාසි සහ කඩලාගොටු මතක....
මං තමා ලොකුම හොල්මන !
මම නම් කනත්තක් පහු කරගෙන ගෙදර යන කෙනෙක් සහ කනත්ත පේන දුරක ගෙදර තියන කෙනෙක් නිසාත් පොඩ් කාලේ ඉඳන් නෑදෑ අයියලා අක්කලා එක්ක ඔය කනත්ත සහ සියලුම යක්කු පෙරේතයෝ ගැන කතායි අහලා, බය වෙලා බය කරලා, යක්කු බලන්න රෑ දොලහ වෙනකම් ඇහැරගෙන ඉඳලා, හොඳට පදම් වෙලා නිසා කළුවරට සහ අමනුස්ස කතා කෙරෙහි කිසිම බයක් නැතුව හිටිය කෙනෙක්.
මහ රෑත් පාන්දරත් රෝහලම කිසි හැල හොල්මනක් නැති වෙලාවෙත් ඇවිදගෙන යන්න වෙනවා වාට්ටුවට හදිසියක් වෙලා කතා කරාම. යුද්ධේ ඉවර වුණු මුල නම් මහ රැයෙත් රෝහල පුරා සොල්දාදුවෝ හිටියා නිදිවරමින් ආයුධ අත දරාගෙන. රෝහලම මහ දවල් වගේ එළියයි ලයිට් නිසා. රෝහලක් නිදියන්නේ නෑනේ රැයක් දවාලක් නෑනේ. ඉ
මෝචරිය පහුකරලා යන්න තියෙන මනෝවෛද්‍ය වාට්ටුවට ඒ කාලේ රෑටත් තනියම යනවා. ආයේ ක්වාටර්ස් යද්දී බලෙන්ම ඇටෙන්ඩන්ලා පස්සෙන් දුවන් එනවා ආරක්ෂාවට.
ඔන්න කොහොම හරි අපිට තිබ්බා ප්‍රසව වාට්ටු දෙකක්. මේ දෙකෙන් වැඩි පුරම අපි රැඳෙන්නේ පරණ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ.
අලුත් වාට්ටුවේ ලේබර් රූම් එක හෙවත් ප්‍රසූතිකාගාරය සහ කාමරය මහා විශාලයි ඒවගේම ඒක වාට්ටුවෙන් පිට කොරිඩෝවක එහායින් තමා තිබ්බේ...අලුතෙන් හදපු එක.
එක දවසක් හවස, දරුවෝ ලැබෙන්න හිටිය අම්මලත් ඔක්කොමලා ඒ වෙනකොට "ඩිලිවර් කරලා"සියල් වැඩ සපුරල,මම එපිස් ටිකත් පට් පට් ගාලා මහලා ඒ වෙනකොට. 7 ට ඕෆ් වෙන්න මිස්ලා යන්න සැරසෙනවා. පසු ප්‍රසව කාලය ඉතින් සෙල්ලම් නෙමේ. රුධිර වහනය ගැන බලාගෙන ඉන්න ඕනේ. බැරි වෙලාවත් මිස් වුණොත් අම්මලාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ලෝකේ , දරු ප්‍රසූතියෙන් පසු අම්මල වැඩියෙන්ම මිය යන හේතුව පසු ප්‍රසව රුධිර වහනය. මගේ පොඩි අක්කා (කසින්) මියගියෙත් පළමු දරුවා ලැබිලා ඒ එක්කම ආපු මේ තත්ත්වය නිසා. ඉපදුණු සැනින් දරුවෙක්ට අම්මා අහිමි වෙනවා කියන එක ඛේදවාචකයක් !
ඉතින් අම්මලා සියල්ල මොනිටර් කරලා පිට කරනකම් ඒ කොටසේ තිබ්බ මේසය මත ලැප්ටොප් එකත් දිග ඇරගෙන පෙරි නේටල් මෝටැලිටි මීටිමේ ( peri natal mortality meeting) ප්‍රසන්ටේශන් එක හදනවා.
ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්‍යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න ඒ ඇඟිලි ගැසීම් උදව් වෙනවා.
ඉතින් එදා....
අන්තිමට දරුවා ප්‍රසූත කරපු අම්මත් දරුවා තුරුල් කරගෙන ස්ට්‍රෙචර් එකේ හිනාවක් එක්ක "නන්ඩ්‍රි අම්මා"කියලා ලේබර් රූම් එකෙන් පිට වුනා, එතකොට හතට විතර ඇති. ඉන්පස්සේ මිස්ලා ඇටෙන්ඩන් ලා ලේබර් රූම් එක පිරිසිඳු කරලා යන්න ගියා. මම තවම වැඩ...
කොහොම හරි ඔන් කෝල් හිටියේ වෙන කෙනෙක් නිසා මට කරදර බාදා ආවෙත් නෑ. රෝහලේ අපේ ඒකකය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එක හදලා ඉවර වෙද්දි රෑ නමය විතර වුණා. ලැප්ටොප් එකේ ප්ලග් ගලවලා පැක් කරගෙන එළියට එන්න දොර එහෙ මෙහෙ කරද්දී එතන තිබුණු කාමරේක පුළුන් ඔතමින් ගෝස් පැක් හදමින් හිටිපු පිරිස කෑ ගහගෙන වාට්ටුව පැත්තට දිව්වා.
මාත් බයවෙලා දොර ඇරගන්න බැරුව තව ලතවෙලා....පැටලිලා ...ලැප්ටොප් එකත් බී එච් ටී ටිකත් උස්සන් මාත් අරයලා පස්සේ දුවනවා. වාට්ටුවම කළුවරයි ලයිට් නිමලා... කට්ටිය ආත භූත නැතිව දුවනවා.
"අයියෝ ඩොකටර් ද ලේබර් රූම් එකේ හිටියේ..."හති දම දම හිටිය මිඩ්වයිෆ් මිස් කෙනෙක් අහපි.
ඩියුටි මාරුවුණ නිසා මේ රෑ වැඩ ආපු අය දන්නෙ නෑ මං ඇතුලේ කීයලා . වැඩ අහවර කළ අයට කියන්න අමතක වෙලා මං හිටියා කියලා. ඇතුලෙන් සද්ද එද්දී... මේ කට්ටිය පණ එපා කියලා දුවලා.
හේතුව අහගත්තෙත් එතකොට. ඒ වෙනකොටත් ලේබර් රූම් එකේ කාලෙකට කලින් සිදුවෙච්ච මාතෘ මරණයක් නිසා ඒ මැරුණු අම්මා හොල්මන් කරන බවට කතාවක් තියෙනවාලු . කිහිප දෙනෙක් දැකලත් තිබුණා. දැක්ක අය හැඩ රුව පවා කීවා. ඒක ඒ කට්ටිය සීරියස්ලි ගත්තු කතාවක් !
ඉතින් එයාලා හිතලා ඇතුලේ සද්ද ඒ නිසා කියලා... දොරත් අරිද්දි තව බය වෙලා
මම කිව්වා
පස්සේ ඉතිං මෙයාලව සනසන්න "අපෝ ඕවා බොරු කතා..හොල්මන් කොහෙද දොරවල් අරින්නේ"කියලා දාර්ශනික කතා කීවට පිලිගන්න කෙනෙක් හිටියේ නෑ.
මං බය වුනෙත් නෑ.
ආ අර මෝචරිය පහු කරලා ඒක වටේ දිග කොරිඩෝවකින් යන්න ඕනේ මනෝවෛද්‍ය වාට්ටුවට... යද්දි අතරමැද කටස් ඩාං කියලා සද්ද ඇහෙනවාමයි. මාත් මුලින් ගැස්සුණා හයියෙන් අඩිය ඉක්මන් කරා. ඕකටත් බය වෙච්ච අය ඉන්නවා.
ඔව් මං ඩ්‍රැකියුලාගේ නංගි !
ලේ බැංකුවේ රස කතා....